TikTok සිය 2026 දෙවැනි කාර්තුවට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි
TikTok සිය 2026 දෙවැනි කාර්තුවට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිල වශයෙන් නිකුත් කරන ලදී. මෙම කාර්තුව තුළ නීති රීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් ඉවත් කරන ලද වීඩියෝ ප්‍රමාණය, තහනම් කරන ලද ගිණුම් සහ ව්‍යාජ තොරතුරු මර්දනය කිරීම සඳහා භාවිත කළ ස්වයංක්‍රීය තාක්ෂණික පද්ධතිවල ප්‍රගතිය මෙහි අන්තර්ගත වේ.
2026 වසරේ දෙවැනි කාර්තුවේදී TikTok සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ තම ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කළ වීඩියෝ 430,357ක් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. මෙය එම කාලසීමාව තුළ මෙරටින් TikTok වෙත මුදාහළ සමස්ත වීඩියෝ ප්‍රමාණයෙන් 0.5%ක් පමණ වේ. වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ, කිසිදු පරිශීලකයෙකු විසින් මෙම වීඩියෝ පිළිබඳව පැමිණිලි කිරීමට පෙරම, TikTok හි ස්වයංක්‍රීය පද්ධති මගින් එයින් 99.4%ක්ම හඳුනාගෙන ඉවත් කිරීමට සමත් වීමයි.
මෙසේ ස්වයංක්‍රීයව ඉවත් කරන ලද වීඩියෝ අතරින් 93.9%ක්ම අන්තර්ජාලයට මුදාහැර පැය 24ක් ඇතුළත ඉවත් කර ඇති අතර, පසුව සිදුකරන ලද විධිමත් අභියාචනා පරීක්ෂාවලින් අනතුරුව වීඩියෝ 12,960ක් නැවතත් ඔසනඔදන පද්ධතිය වෙත ලබා දීමටද කටයුතු කර ඇත.
ගෝලීය වශයෙන් ගත් කල, මෙම කාර්තුව තුළදී TikTok සමාගම විසින් වීඩියෝ මිලියන 188කට වඩා (188,298,141) ප්‍රමාණයක් ඉවත් කර ඇත. මෙය එම කාලය තුළ ලොව පුරා TikTok වෙත මුදාහළ සමස්ත වීඩියෝ ප්‍රමාණයෙන් 0.5%ක් පමණ වේ. මෙසේ ඉවත් කරන ලද සමස්ත වීඩියෝ අතරින් 183,344,707ක්ම හඳුනාගෙන ඉවත් කර ඇත්තේ ස්වයංක්‍රීය හඳුනාගැනීමේ තාක්ෂණයන් භාවිත කිරීමෙනි. කෙසේ වුවද, පසුව සිදුකරන ලද සමාලෝචනය කිරීම්වලින් අනතුරුව වීඩියෝ 6,262,383ක් නැවතත් TikTok වේදිකාව වෙත ලබා දීමට පියවර ගෙන ඇත.
මීට අමතරව, ව්‍යාජ ගිණුම් මිලියන 146කට වඩා (146,807,400) ප්‍රමාණයක් මෙම කාර්තුවේදී පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. කුඩා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, වයස අවුරුදු 13ට අඩු පරිශීලකයන්ට අයත් යැයි සැක කෙරුණු තවත් ගිණුම් 26,840,767ක්ද TikTok වෙතින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
ඉවත් කළ වීඩියෝවලින් 13.5%ක් අනතුරුදායක ක්‍රියාකාරකම් සහ අභියෝග අඩංගු ඒවා ලෙස හඳුනාගත් අතර, 13.8%ක් නොගැලපෙන සහ ලිංගික හැසිරීම් සම්බන්ධ ඒවා විය.
ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව වරින් වර ප්‍රකාශයට පත් කිරීම මගින්, ඉවත් කරන ලද අන්තර්ගතයන් සහ ගිණුම්වල ස්වභාවය පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙන අතර, එමගින් පූර්ණ විනිවිදභාවය වෙනුවෙන් TikTok සමාගම සතු කැපවීම මැනවින් තහවුරු කරයි.

