July 27, 2024
ඒෂියන් බෑන්කර් විසින් ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කරයි
පුවත්

ඒෂියන් බෑන්කර් විසින් ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කරයි

Nov 7, 2023

ඒෂියන් බෑන්කර් සඟරාවේ මව් සමාගම වන ටැබ් ග්ලෝබල් හි ගෝලීය පර්යේෂණ සහ උපදේශන සඳහා අනුබද්ධිත ආයතනය වන ටැබ් ඉන්සයිට්ස් විසින් 2023 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර ඇත.

ටැබ් ග්ලෝබල් 1000 ශ්‍රේණිගත කිරීම් වල දෙවන ප්‍රබලතම ශ්‍රී ලාංකේය බැංකුවට වඩා ස්ථාන 265ක් ඉහළින් කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර තිබීම විශේෂත්වයකි.  

කොමර්ෂල් බැංකුව තැන්පතු, ලාභය, පිරිවැය, ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය, ද්‍රවශීලතා ආවරණ අනුපාතය, ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය, ගාස්තු, සංචිත, ණය සහ වත්කම් මගින් ලැබුණු ප්‍රතිලාභ සඳහා ඉහළ ලකුණු ලබා ගැනීම නිසාවෙන් බැංකුවට 5.53ක සමස්ත ශක්ති අගයක් ලබා දී ඇත.

ඩොංයිං බැංකුව (චීනය), ෆෙඩරල් බැංකුව (ඉන්දියාව), ඉන්වෙස්ටෙක් බැංකුව (දකුණු අප්‍රිකාව), අල්ෆලා බැංකුව (පකිස්ථානය), RCBC බැංකුව (පිලිපීනය), හා BNP පරිබා බැංකුව (පෝලන්තය), කොමර්ෂල් බැංකුව සමඟ ශක්ති දර්ශකයේ එම අගයම සහිතව ශ්‍රේණිගත කර ඇත.

මෙම ශ්‍රේණිගත කරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය. “ඔරොත්තු දීමේ හැකියාව නිරූපණය කරන ‘ශක්තිය’ මූල්‍ය ආයතනයක් සඳහා වඩාත්ම වැදගත් දර්ශකයක් වන අතර එය අද ශ්‍රී ලාංකේය සන්දර්භය තුළදී වඩාත් අනුකූල වේ. ටැබ් ග්ලෝබල් 1000 ශ්‍රේණිගත කිරීම මුළුමනින්ම පදනම් වී ඇත්තේ, මූල්‍ය ශක්තිය ගණනය කිරීම සඳහා බහුවිධ කාර්ය සාධන සංඛ්‍යා භාවිතා කරන විෂයානුබද්ධ තක්සේරුවක් මත වන අතර, එමගින් එය ආඥාත්මක මිණුම් ලකුණක් බවට පත් කරයි.”

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *