July 27, 2024
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉන්දියානු රුපියල් මෙරට තුළ නම්කළ විදේශ මුදල් වර්ගයක් ලෙස හඳුන්වාදෙයි
පුවත්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉන්දියානු රුපියල් මෙරට තුළ නම්කළ විදේශ මුදල් වර්ගයක් ලෙස හඳුන්වාදෙයි

Nov 7, 2023

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට මට්ටමේ සේවාවක් ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී නිකුත් කළ මාර්ගෝපදේශයන්ට අනුව, ඉන්දියානු රුපියල් මෙරට නම්කළ විදේශ මුදල් වර්ගයක් ලෙස හඳුන්වා දී ඇත.

මෙම පියවර මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවටත් එහි ගනුදෙනුකරුවන්ටත් ප්‍රතිලාභ රැසක් හිමි වේ. මේ වනවිට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉන්දියානු රුපියල්වලින් පෞද්ගලික විදේශ මුදල් ගිණුම් සහ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම් පවත්වාගෙන යාමේ අවස්ථාව සලසා දී ඇති අතර, එය ඉන්දියාව සමග ගනුදෙනු කරන පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ඉමහත් පහසුවකි. මෙමගින් විනිමය හුවමාරු ක්‍රියාවලිය පහසු වන අතර, ගනුදෙනුවලදී වැයවන වියදම්ද අවම වේ.

ජාත්‍යන්තර වෙළඳ කටයුතු සඳහා ඉන්දියානු රුපියල් භාවිතා කිරීම යනු වෙළඳ සම්බන්ධතා වර්ධනය වී ආර්ථිකය දියුණු වීමට බලපාන සාධකයක් වන අතර, එමගින් බැංකුවට හා එහි ගනුදෙනුකරුවන්ට පමණක් නොව පොදුවේ මුළුමහත් රටටම ප්‍රතිලාභ රැසක් සැලසෙනු ඇත. මෙම පියවරත් සමග ක්ෂේත්‍රය තුළ සිය තරගකාරී තත්ත්වය තවදුරටත් තහවුරු කරගන්නා අතරම විදේශ විනිමය සේවා හරහා ආදායම ඉහළ නංවාගනිමින්, ඒ ඔස්සේ රටේ විදේශ සංචිතවල වර්ධනයට සහ තිරසාරභාවයට වඩාත් පුළුල් දායකත්වයක් දැක්වීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට හැකියාව ලැබේ.

ඉන්දියානු රුපියල් ගිණුම් හිමියන්ට මුදල් නෝට්ටු/චෙක්පත් මාරුකරගැනීම සහ මුදල් නිකුත් කිරීම මෙන්ම, (ප්‍රාග්ධන ගනුදෙනු සිදුකිරීම සහ ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජනය කිරීම හැර) ආනයන, අපනයන, ණයවර ලිපි සහ බැංකු ඇපකර වැනි ජාත්‍යන්තර වෙළඳ කටයුතු සම්බන්ධ තවත් සේවාවන් රාශියක්ද ලබාගැනීමට හැකි වනු ඇත.

ශ්‍රී ලංකාව තුළදී ඉන්දියානු රුපියල් පිළිගැනීම, නිකුත් කිරීම සහ විදේශ මුදල් හුවමාරු කිරීම සඳහා ඉන්දියානු රුපියල් ගිණුම් භාවිතා කළ හැකි වේ. හෝටල්වලට නිශ්චිත කොන්දේසි හා රෙගුලාසි යටතේ ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් නොවන අමුත්තන් ඉන්දියානු රුපියල්වලින් කරන ගෙවීම් තම ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම් වෙත බැර කළ හැක. සංචාරයක් අවසන් කර ආපසු පැමිණීමෙන් අනතුරුව දින 90 ක් ඇතුළත පුද්ගලයෙකුට අවශ්‍ය නම්, නිශ්චිත සීමාවන්ට යටත්ව, පෞද්ගලික විදේශ මුදල් ගිණුමක් ආරම්භ කළ හැකි වේ.

දිවයින පුරා ශාඛා 96 ක් ස්ථාපිත කර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික, වාණිජ හා ආයතනික ගනුදෙනුකරුවන් රාශියකට සේවාවන් සලසයි. එමෙන්ම නවීන ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi ද හඳුන්වා දෙන ලදි. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලයද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *