July 27, 2024
Allianz සිය පාරිභෝගිකයන්ගේ හදිසි අනතුරු අලුත්වැඩියා කටයුතු විධිමත් කිරීම සඳහා  Auto Miraj සමඟ අත්වැල් බැඳගනී
පුවත්

Allianz සිය පාරිභෝගිකයන්ගේ හදිසි අනතුරු අලුත්වැඩියා කටයුතු විධිමත් කිරීම සඳහා  Auto Miraj සමඟ අත්වැල් බැඳගනී

Nov 7, 2023

Allianz Lanka සිය පාරිභෝගිකයින් වෙත අසමසම සේවාවක් ලබා දීමේ අරමුණින්, මෙරට මෝටර් රථ අලුත්වැඩියා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Auto Miraj සමඟ අත්වැල් බැඳ ගැනීම පසුගිය දා සිදු කෙරිණි. 2023 ජූලි මාසයේ දී ඇරඹුණු මෙම සහයෝගීතාව මගින්, Allianz Lanka රක්ෂණ ඔප්පු හිමියන්ගේ  හදිසි අනතුරු අලුත්වැඩියා කටයුතු ආශ්‍රිත ව ගුණාත්මක බවින් ඉහළ සේවාවක් තහවුරු කිරීමට අරමුණු කරයි.

මෙම සහයෝගීතාව මගින්  Allianz Lanka පාරිභෝගිකයින්ට කිසිඳු අපහසුතාවකින් තොර ව සියලු ම  ලියකියවිලි කටයුතු සහ රක්ෂණ අවශ්‍යතා ඉටු කර ගනිමින් හදිසි අනතුරු අලුත්වැඩියා කටයුතු ඉතා පහසුවෙන් කර ගැනීමේ අවස්ථාව ලබා දෙන අතර,  එහි දී පාරිභෝගිකයින් තුළ ආරක්ෂාව, සුවපහසුව සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරමින්, අලුත්වැඩියා කිරීමේ ක්‍රියාවලියේ සංකීර්ණ අවස්ථා කාර්යක්ෂමව කළමනාකරණය කිරීම  Allianz පාරිභෝගිකයන් වෙත ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයකි. එමෙන් ම මෙම සහයෝගීතාව මඟින් ලැබෙන තවත් ප්‍රධාන වාසියක් වන්නේ, අනතුරු සම්බන්ධ අලුත්වැඩියා කටයුතු සඳහා මාස 6ක වගකීමක් ඇතුළු ව, Allianz පාරිභෝගිකයින් සඳහා ප්‍රමුඛත්වය ලබා දීමයි.

මෙම සහයෝගීතාව පිළිබඳ ව අදහස් දක්වමින් Allianz Insurance Lanka සමාගමේ ප්‍රධාන බෙදාහැරීමේ නිලධාරී රංග ඩයස් මහතා පැවසුවේ, “Allianz Lanka සහ Auto Miraj අතර ගොඩනඟා ගත් මෙම සහයෝගීතාව, පාරිභෝගිකයින් වෙත ගුණාත්මක සේවාවක් ලබා දීම පිළිබඳ  අපගේ කැප වීමට හොඳ ම උදාහරණයක්. මෝටර් රථ අළුත්වැඩියා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Auto Miraj සමඟ අත්වැල් බැඳ ගනිමින් අපගේ පාරිභෝගිකයින්ට ම වෙන් වූ  සුවිශේෂී වරප්‍රසාද රැසක් ලබා දීමට වගේ ම,  අනතුරු සම්බන්ධ අලුත්වැඩියා කිරීමේ ක්‍රියාවලිය සරල මෙන් ම පහසු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

මෙම සහයෝගීතාවට අනුකූල ව  Allianz Lanka රක්ෂණ ඔප්පු හිමියන්ට, හදිසි අනතුරු සම්බන්ධ අලුත්වැඩියාවකින් පසු එළඹෙන පළමු පූර්ණ සේවාව (Full Service) සඳහා ශ්‍රම ඇතුළු සේවාවන් රැසක් 100% නොමිලේ ලබා දෙන නිසා එමගින් සැලකිය යුතු ඉතිරියක් ලබා දෙයි. එමෙන් ම Allianz රක්ෂණ ඔප්පු හිමියන්ට යාන්ත්‍රික අලුත්වැඩියා කටයුතු සඳහා  20%ක ශ්‍රම ගාස්තු වට්ටමක් ලබා දීම නිසා  වාහනයේ නඩත්තු කටයුතු වඩාත් ලාභදායී වේ. ඊට අමතර ව මෙහි දී සේවා පැකේජයේ කොටසක් ලෙස, හදිසි අනතුරු සම්බන්ධ සෑම අලුත්වැඩියාවක් සඳහා ම  පූර්ණ සේදීමක් (Full Body Wash) ලබා දීම ද විශේෂිත ය.

Allianz Lanka රක්ෂණ ඔප්පු හිමියන්ට දිවයින පුරා  පිහිටා ඇති Auto Miraj සේවා මධ්‍යස්ථාන 20ක් මගින් මෙම  සුවිශේෂී සේවාව ලබා ගත හැකි නිසා පාරිභෝගිකයා ශ්‍රී ලංකාවේ කොතැනක සිටියත්, බාධාවකින් තොර ව මෙම පහසුව අත් විඳිය හැකි ය.

Allianz Insurance Lanka Ltd සහ Allianz Life Insurance Lanka Ltd යන සමාගම් ද්විත්වයේ එකතුව Allianz Lanka නමින් හැඳින්වෙන අතර, එය ජර්මනියේ Munich  මූලස්ථානය කරගනිමින්, රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ව්‍යාපාර සඳහා ප්‍රධාන වශයෙන් සේවා සපයන Allianz SE හි පූර්ණ අනුබද්ධිත සමාගම් සමූහයකි. Allianz සමූහය සතු ප්‍රාග්ධන ශක්තිය සහ ව්‍යාපාරික විශේෂඥතාව එහි සාර්ථකත්වයට ප්‍රබල ලෙස හේතු වී ඇති අතර, සිය ගුණාත්මක සේවා සහ  නවෝත්පාදන හරහා පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන විසඳුම් ලබා දීමට Allianz Lanka සමාගම කැප වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *