July 27, 2024
සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Signfluencer’ බලගන්වයි
පුවත්

සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Signfluencer’ බලගන්වයි

Dec 22, 2023

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ට අත්වැලක් වීම සඳහා සහ සංඥා භාෂාවට පිළිගැනීමක් ලබාදීම සඳහා සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Signfluencer’ සවිබල ගැන්වීමට පියවර ගෙන තිබේ. මේ සඳහා වූ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා දියත් කරන ලදී.

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට නිසි පිළිගැනීමක් ලබාදෙමින්, ඔවුන්ගේ අවශ්‍යතා අවබෝධ කරගනිමින් සහ එම අවශ්‍යතා සමාජය වෙත ගෙනයමින් ඒවා ඉටුකර දීම මෙම ප්‍රවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වී ඇත. එමෙන්ම මෙම පුද්ගලයන්ට බැංකු සේවාවන් ලබාගැනීමට ඇති බාධාවන් අවම කරමින්, ඔවුන්ගේ ජීවිතවල යහපත් වෙනසක් සඳහා මුලපිරීමටද සෙලාන් බැංකුව බලාපොරොත්තු වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ලද අධ්‍යයනයකට අනුව, ශ්‍රී ලාංකිකයන් අතරින් 9% ක් (මිලියන 1.9 ක් හෝ සෑම පුද්ගලයන් 55 දෙනෙකුට එක් අයෙක්) කිසියම් ආකාරයක ශ්‍රවණාබාධ තත්ත්වයකින් පෙළෙන බව හඳුනාගෙන ඇත. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ට සන්නිවේදනයේ යෙදීම සඳහා සංඥා භාෂාව අත්‍යවශ්‍ය වන නමුත්, ඒ හරහා පොදු සමාජය සමග ගනුදෙනු කිරීමේදී ඔවුන්ට විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. මෙම ගැටලු අවම කරමින් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ට තම අවශ්‍යතා වඩාත් පහසුවෙන් ඉටුකරගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමට නම් අප ඒ සම්බන්ධයෙන් පොදු සමාජය දැනුවත් කිරීමට කටයුතු කළ යුතු ය.

බොහෝ දෙනෙකු නොදන්නා නමුත්, ශ්‍රී ලංකාවට ආවේණික වූ සුවිශේෂී සංඥා භාෂාවක් ඇත. මෙරට ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ගේ මූලිකම සන්නිවේදන ක්‍රමවේදය වන එය ඔවුන්ගේ ජීවිත තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරයි. එහෙත් වර්තමාන සමාජයේ ප්‍රමුඛත්වය හිමිවන්නේ සාම්ප්‍රදායික ලේඛන හා කථන සන්නිවේදන මාධ්‍යයන්ට පමණි. එම නිසා ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ට තම අවශ්‍යතා ඉටුකර ගැනීම බෙහෙවින් දුෂ්කර වේ.

“අපගේ ගනුදෙනුකරුවන්ටත් ප්‍රජාවන්ටත් යහපත උදාකර ගැනීමට අත්වැලක් වීම සඳහා අප සෑම විටම උත්සාහ දරනවා. පුද්ගලයන් හා ප්‍රජාවන් සවිබල ගැන්වීම ඉලක්ක කරගත් ආයතනයක් වශයෙන් සෙලාන් බැංකුව විශ්වාස කරන්නේ, සියලුම තරාතිරම්වලට අයත් පුද්ගලයන්ට සාමූහිකව දියුණුව කරා ගමන් කළ හැකි පසුබිමක් නිර්මාණය කළ යුතු බවයි. මේ ආකල්ප වර්ධනය කිරීමට නම්, එකිනෙකාට සුවිශේෂී වූ තත්ත්වයන් හඳුනා ගනිමින්, ඒවාට නිසි වටිනාකමක් ලබාදීමට අප කටයුතු කළ යුතු වනවා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Signfluencer’ වන නිකිටා, සෙලාන් බැංකුවේ මෙම නව ප්‍රවර්ධන වැඩසටහනේ කේන්ද්‍රය ලෙස කටයුතු කරයි. නිල භාෂාවක් ලෙස සංඥා භාෂාවට නිසි පිළිගැනීමක් ලබාදීමේ වැදගත්කම අවධාරණය කරන ඇය, ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් සහ සමාජය අතර පවතින දුරස්ථභාවයන් අවම කරමින් අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටී.

මෙම ප්‍රයත්නයේ ආරම්භක පියවරක් වශයෙන්, නිකිටාගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් හෝ පොදු සමාජ මාධ්‍ය ගිණුම් හරහා පෞද්ගලික පණිවිඩයක් යොමුකරමින්, තම නම සංඥා භාෂාවෙන් පවසන ආකාරය ඉගෙනගන්නා ලෙසත්, ඉන් පසුව තම නම සංඥා භාෂාවෙන් පවසන ආකාරය දැක්වෙන වීඩියෝවක් පළකරන ලෙසත්, සෙලාන් බැංකුව සියලුම දෙනාගෙන් ඉල්ලා සිටී. මෙවැනි සරල දේ මගින් සුවිශාල වෙනසක් සිදුකළ හැකි බව සෙලාන් බැංකුවේ විශ්වාසය වේ.

මෙම මෙහෙවර මෙබඳු ක්‍රියාකාරකම්වලට සීමා නොකර, ඉදිරියේදී මූල්‍ය සාක්ෂරතාව නැංවීමේ වැඩසටහන් සහ තම සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් සංඥා භාෂාවෙන් පැවැත්වීමටද සෙලාන් බැංකුව සැලසුම් කර ඇත. මෙය සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන් සෙලාන් බැංකුව සිදුකරන අන්තර්කරණ මෙහෙවර තවදුරටත් පුළුල් කරන උත්සාහයක් වනු නිසැක ය.

මේ ආකාරයට සමාජය තුළ යහපත් වෙනස්කම් ඇතිකිරීම සඳහා සෙලාන් බැංකුව බොහෝ අවස්ථාවලදී පෙරමුණ ගෙන තිබේ. මීට පෙර නිදහස් දිනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ, ජාතික ගීය ඔස්සේ ජාතීන් එකමුතු කරවීම අරමුණු කරගත් වැඩසටහන වැනි විවිධ වැඩසටහන් ඔස්සේ, දැනුම හා අධ්‍යාපනය තුළින් ප්‍රජාවන් සවිබල ගැන්වීමට සෙලාන් බැංකුව කැප වී සිටී.

මීට අමතරව, සෙලාන් ටිකිරි  ගිණුම හරහා දරුවන්ගේ යහපත අරමුණු කරගත් ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීම, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විවිධ සේවාවන් හඳුන්වා දීම, කුඩා පරිමාණ තේ වතු හිමියන්ට අත්වැලක් වීම සහ අපනයනකරුවන් වෙනුවෙන් ‘Export Expert’ සේවාව හඳුන්වා දීම වැනි විවිධ ක්‍රම ඔස්සේ සමාජයේ යහපත වෙනුවෙන් සුවිශේෂී මැදිහත්වීම් සිදුකිරීමට සෙලාන් බැංකුව සමත් වී තිබේ. මෙම සේවාවන් හා වැඩසටහන් සියල්ල සැලසුම් කර ඇත්තේ, විවිධාකාර වූ ප්‍රජා කණ්ඩායම්වලට සවිමත් අත්වැලක් හිමිවන පරිද්දෙනි. මෙම කණ්ඩායම්වලට අනන්‍ය වූ අවශ්‍යතාවන් හා අභියෝගවලට විසඳුම් ලබාදෙමින්, පුද්ගලයන්, ව්‍යාපාර හා ප්‍රජාවන් සවිබල ගන්වමින්, සමස්තයක් ලෙස රටේ සංවර්ධනය හා සෞභාග්‍යය වෙනුවෙන් දායක වීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *