July 27, 2024
Sun Match සභාපති ‘Champion of Diversity’ සම්මාන උළෙලේ දී ඇගයුමට පාත්‍ර වෙයි
පුවත්

Sun Match සභාපති ‘Champion of Diversity’ සම්මාන උළෙලේ දී ඇගයුමට පාත්‍ර වෙයි

Dec 21, 2023

ප්‍රථම වරට පැවැත්වුණු ‘Champion of Diversity’ සම්මාන උළෙලේදී, අන්තර්කරණය උදෙසා පෙන්නුම් කළ කැපවීම වෙනුවෙන් Sun Match සමාගමේ සහ අශෝකා සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය සූරි රාජන් මහතා විශේෂ ඇගයීමකට ලක් විය. Women in Management (WIM) සහ International Finance Corporation (IFC) මගින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර පිරිමි දිනයට සමගාමීව මෙම සම්මාන උළෙල සංවිධානයකරන ලද අතර, එහිදී රටේ රැකියා සංස්කෘතිය පරිවර්තනයකට ලක්කිරීම සඳහා ආදර්ශමත් මෙහෙවරක් ඉටුකළ පුරෝගාමීහු පිරිසක් ඇගයීමට ලක්වූහ. මෙහිදී වඩාත් සාමකාමී සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව, විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය වෙනුවෙන් කැපවූ, රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි  පුද්ගලයන් 10 දෙනෙකුට ‘Champions of Diversity’ උපහාර පුදන ලද අතර, දේශමාන්‍ය සූරී රාජන් මහතාද එම පිරිසට ඇතුළත් විය.

විවිධ වයස් කාණ්ඩ, හැකියා, ජාතිකත්වය සහ ආදායම් සහිත පුද්ගලයන් වෙනුවෙන් ආයතනික නායකත්වය, සමාජ සාධාරණත්වය සහ බිම් මට්ටමේ සවිබල ගැන්වීමේ ප්‍රයත්නයන් තුළින් ඉටුකරන ලද මෙහෙවර වෙනුවෙන් දේශමාන්‍ය සූරි රාජන් මහතා මෙලෙස ඇගයීමට ලක් විය. මෙම 10 දෙනාගේ ලැයිස්තුවට Dialog Axiata PLC, Standard Chartered Sri Lanka, John Keells Holdings PLC සහ සර්වෝදය වැනි ප්‍රධාන පෙළේ සමාගම් හා ආයතන කිහිපයක ප්‍රධානීහු ඇතුළත් වූහ.

මෙම ඇගයීම සම්බන්ධයෙන් දේශමාන්‍ය සූරි රාජන් මහතා මෙසේ අදහස් දැක්වී ය. “Top 10 Champions of Diversity ඇගයීම හිමි වීම හුදෙක් මගේ ප්‍රයත්නයන් ඇගයීමට ලක්වීමක් පමණක් නොවෙයි. එය මෙම මෙහෙවර වෙනුවෙන් දායක වූ සියලුම දෙනා වෙත පුදන ලද උපහාරයක්. විශේෂයෙන්ම වර්තමානයේ රට මුහුණ දී තිබෙන අභියෝග හමුවේ, විවිධත්වය හා අන්තර්කරණය සහිත රැකියා සංස්කෘතියක් පවත්වාගැනීම අතිශයින් වැදගත්. කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට නිසි වටිනාකමක් හිමිවන බවත්, ඔවුන්ට පෞද්ගලික හා වෘත්තීය වශයෙන් තම දියුණුව ළඟා කරගැනීමට පූර්ණ වශයෙන් අවස්ථා හිමිවන බවත් අප තහවුරු කරගත යුතුයි. Sun Match සමාගම තුළ මෙන්ම මා සම්බන්ධ වී සිටින අනෙකුත් සමාගම් හා ආයතන තුළත්, විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන් එකමුතු කරමින්, නව හා නිර්මාණශීලී අදහස්වලට අවස්ථාව ලබාදෙමින්, සමානත්වය හා එකමුතු බව ප්‍රවර්ධනය කිරීමට මා කටයුතු කරනවා. අප පවත්වාගත යුතු වන්නේ එවැනි රැකියා සංස්කෘතියක් බවයි මගේ විශ්වාසයයි. යහපත් වෙනස්කම් සම්බන්ධයෙන් අප දරන අදහස් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු වනවා. එමෙන්ම මෙම ජයග්‍රහණය, විවිධත්වය වෙනුවෙන් අඛණ්ඩව කැපවීමට අප දිරිගන්වනු ලබයි.”

Sun Match සමාගමේ සභාපතිවරයා ලෙස දේශමාන්‍ය සූරි රාජන් මහතා පුද්ගලයන් 1,000 කට වැඩි පිරිසකට රැකියා අවස්ථා ලබා දී තිබේ. මේ අතරින් 66% ක් කාන්තාවන්වන අතර, 7% ක් වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයන් ය. මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත කළ Greenhill International පාසල ආරම්භ කිරීම සඳහා ඒ මහතා පුරෝගාමී විය. වර්තමානයේ එම පාසැල තුළ දරුවෝ 700 කට අධික පිරිසක් දේශීය විෂය මාලාව ඉංග්‍රීසි භාෂාවෙන් හදාරති. එමෙන්ම වතුකරයේ පදිංචි දරුවන් වෙනුවෙන් සිය පියා විසින් ආරම්භ කරන ලද අශෝකා නේවාසිකාගාරය සහ අශෝකා විද්‍යාලය පවත්වාගෙන යාම සඳහාද සූරි රාජන් මහතා දායක වෙයි.  දීර්ඝ කාලයක් පුරා, ස්ත්‍රී පුරුෂ භාවය, වයස හෝ අනන්‍යතාව සම්බන්ධ භේදවලින් තොරව ගෞරවය, නියෝජනය සහ සමාන අවස්ථා පදනම් කරගත් සවිබලගැන්වීමේ සංස්කෘතියක් ස්ථාපිත කිරීමට සූරි රාජන් මහතා විශාල කාර්යභාරයක් ඉටුකර තිබේ.

එමෙන්ම ඒ මහතාගේ නායකත්වය යටතේ Sun Match සමාගම විසින් 2008 වර්ෂයේදී එතුමන්ගේ අභාවප්‍රාප්ත සහෝදරයාගේ නාමය සහිතව අනුස්මරණ අරමුදලක් ස්ථාපිත කරන ලදී. මෙම අරමුදල Sun Match සමාගමේ සේවක සේවිකාවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අත්වැලක් වෙයි. මීට අමතරව කුණ්ඩසාලේ ආබාධිතයන් සඳහාවන මධ්‍යස්ථානයේ සභාපති සහ පාලන මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ දේශමාන්‍ය සූරී රාජන් මහතා, විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන් 2,000 කට අධික පිරිසකට නැවත රැකියාවන්හි නිරත වීමට අත්වැලක් වීම සඳහා කෘත්‍රිම පාද පරිත්‍යාග කිරීමට දායක වී තිබේ.

එපමණක් නොව, මානුෂීය ක්‍රියාකාරකම් සම්බන්ධ නායකයෙකු ලෙස ඔහු ඉටුකළ මෙහෙවර මෙන්ම, ව්‍යාපාරික සීමාවන්ගෙන් ඔබ්බට යමින් විවිධත්වය හා අන්තර්කරණය වෙනුවෙන් ඔහු පෙන්නුම් කර ඇති කැපවීමද මෙම ඇගයුම ඔහු වෙත හිමි වීමට හේතු විය. මීට පෙර ශ්‍රී ලංකා රොටරි සමාජයේ අධිපති ලෙස කටයුතු කළ දේශමාන්‍ය සූරි රාජන් මහතා, ජාතික මට්ටමේ ප්‍රජා සත්කාරයන් සඳහා පරිත්‍යාග රාශියක් සිදුකළ අතර, ගෝලීය මට්ටමින් අඩු පහසුකම්ලාභී ජනතාවගේ යහපත උදෙසා ඉටුකරන ලද මෙහෙවර වෙනුවෙන්ද ඇගයීමට ලක්වී තිබේ.  

Top 10 Champions of Diversity සම්මාන උළෙලේදී එම සම්මානලාභීන් සම්බන්ධ කරගනිමින් විශේෂ සංවාදයක්ද පැවැත්වුණු අතර, එහිදී ඔවුහු විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූහ. එමෙන්ම IFC නියෝජිතයෙකු සහ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙකු විසින් විමසන ලද ප්‍රශ්නවලටද ඔවුහු පිළිතුරු ලබාදුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *