July 27, 2024
සඳමිණි පෙරේරා මහත්මිය Prime Lands Residencies PLC හි නව විධායක සභාපතිනි ධූරයට
පුවත්

සඳමිණි පෙරේරා මහත්මිය Prime Lands Residencies PLC හි නව විධායක සභාපතිනි ධූරයට

Jan 9, 2024

මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන Prime Lands Residencies PLC හි නව විධායක සභාපතිනිය ලෙස සඳමිණි පෙරේරා මහත්මිය පත්කර තිබේ. මෙම පත්වීම 2024 ජනවාරි මස 01 වන දින සිට වලංගු වෙයි. 2021 වසරේ සමාගමේ ප්‍රථම මහජන කොටස් නිකුතුව සිදුකිරීමෙන් අනතුරුව, වසර 03 ක කාලයක් සම- සභාපති ලෙස කටයුතුකරන ලද ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා එම තනතුරෙන් ඉවත් වී සඳමිණි පෙරේරා මහත්මිය විසින් නව විධායක සභාපතිනිය ලෙස වැඩ භාරගන්නා ලදී.

Prime සමූහ ව්‍යාපාරයේ සම-නිර්මාතෘවරියකවන සඳමිණි පෙරේරා මහත්මිය 2005 වසරේ Prime Lands Residencies PLC හි ආරම්භයත් සමග එහි විධායක අධ්‍යක්ෂ සහ සම-සභාපති තනතුරු දරා තිබේ. මීට අමතරව එතුමිය තවත් සමාගම් කිහිපයක අධ්‍යක්ෂ තනතුරු දරයි. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 27 කට අධික පළපුරුද්දක් හිමි ඇය සිය නව භූමිකාවට පිවිසෙන්නේ සිය විශිෂ්ට නායකත්ව කුසලතාවයද සමගිනි. පසුගිය දශක දෙකක කාලය තුළ දැවැන්ත වර්ධනයක් අත්කරගනිමින් මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් බවට පත්වීමට Prime Lands Residencies PLC සමත් වූ අතර, එම සාර්ථකත්වය උදෙසා සඳමිණි පෙරේරා මහත්මිය විසින් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරන ලදී.

ව්‍යවසායිකාවක මෙන්ම වෘත්තියෙන් ව්‍යාපාර ක්‍රමෝපායවේදිනියකවන සඳමිණි පෙරේරා මහත්මිය ක්‍රමෝපායික අලෙවිකරණය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් හිමිකරගෙන ඇති අතර, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සාමාජිකත්වයද ලබා තිබේ. 2013 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම බලවත් ව්‍යාපාරික කාන්තාවන් අතරට නම්කරනු ලැබීම සහ 2014/2015 කාලසීමාවේ විශිෂ්ටතම ව්‍යවසායිකාව ලෙස නම්කරනු ලැබීම ඇතුළු ඇගයුම් රැසකින්ද ඇය පිදුම් ලබා ඇත. එමෙන්ම නව දිල්ලියේ World Consulting and Research Corporation මගින් කාන්තාවන් සවිබලගැන්වීමේ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇයට ‘Honoured Leaders Excellence’ සම්මානය පිරිනමන ලදී.

නව තනතුර සම්බන්ධයෙන් සඳමිණි පෙරේරා මහත්මිය මෙසේ සිය අදහස් පළකළා ය. “ලොව දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා අනුව යමින්, සෑම කෙනෙකුට තමන් කැමති ආකාරයේ නිවසක් හෝ ඉඩමක් හිමිකර ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා අප පෙරළිකාරී ‘Prime 1% Plan’ හඳුන්වා දුන්නා. සාර්ථකත්වය හඹායන මේ නොනවතින ගමන තුළ, අපගේ පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කිරීමට අප කැප වී සිටිනවා. මේ පෙරළිකාරී හඳුන්වාදීම්වලට දායක වීමට ලැබීම පිළිබඳව මා බෙහෙවින් සතුටුවන අතර, ඉදිරියටත් මෙවැනි දේවල් හඳුන්වා දීම අපගේ බලාපොරොත්තුවයි.” එසේම ඇය “මෙතෙක් ලබාදුන් දූරදර්ශී නායකත්වය වෙනුවෙන් මා ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතාට ස්තූතිවන්ත වනවා. මේ ශක්තිමත් පදනම ඔස්සේ සමාගම අඛණ්ඩව දියුණුව කරා රැගෙන යාම මගේ බලාපොරොත්තුවයි. මා කෙරෙහි විශ්වාසය රැඳවීම සම්බන්ධයෙන් මා බෙහෙවින් ස්තූතිවන්තවන අතර, අපගේ ගමන්මගේ මීළඟ පියවර දෙස මා බලා සිටින්නේ ඉමහත් උනන්දුවකින්.” යනුවෙන් ද   ප්‍රකාශ කර සිටියා ය.

ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා සම-සභාපති වශයෙන් දශක දෙකක් පුරා ඉටුකළ මෙහෙවර සමාගමේ සාර්ථකත්වයට මහෝපකාරී වූ අතර, ඔහුගේ නායකත්වය යටතේ දැවැන්ත වර්ධනයක් අත්කර ගනිමින් මෙරට ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක්  බවට පත්වීමට Prime Lands Residencies PLC සමත් විය.

සම-සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූ බ්‍රාහ්මණගේ මහතා ඉදිරියටත් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනු ඇත. මෙතෙක් ලබාදුන් සේවය වෙනුවෙන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතාට සිය ස්තූතිය පළකර සිටින අතර, විධායක අධ්‍යක්ෂ ධූරයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය සුභපැතුම් එක්කරයි. එමෙන්ම සමාගම දියුණුවෙන් දියුණුව කරා රැගෙන යාමේ මෙහෙවරට සාර්ථක ලෙස නායකත්වය දීමට සඳමිණි පෙරේරා මහත්මිය සමත් වනු ඇතැයි යන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ විශ්වාසය වේ. මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වශයෙන් Prime Lands Residencies PLC සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කිරීමට මෙම නව පත්වීම හේතුවනු නො-අනුමාන ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *