July 27, 2024
BYD සමාගම මිලියන 3ක වාර්තාගත වාර්ෂික අලෙවියක් සමඟින් 2023 වසර සාර්ථකව අවසන් කරයි
පුවත්

BYD සමාගම මිලියන 3ක වාර්තාගත වාර්ෂික අලෙවියක් සමඟින් 2023 වසර සාර්ථකව අවසන් කරයි

Jan 9, 2024

BYD සමාගම මිලියන 3ක් වන සිය වාර්ෂික NEV අලෙවි ඉලක්කයද අභිබවා අඛණ්ඩව දෙවන වසරටත් ගෝලීය නව බලශක්ති මෝටර් රථ (NEV) අලෙවියේ ප‍්‍රමුඛයා බවට පත් වෙමින් 2023 වසර අති සාර්ථකව අවසන් කළේය. මෙම වසරේදී BYD ප‍්‍රථම වරට ගෝලීය මෝටර් රථ අලෙවියේ ඉහළම සන්නාම 10 අතරට ද ලැයිස්තුගත වීම විශේෂත්වයකි. චීන වෙළඳපොලේ, BYD ඉහළම අලෙවියක් සහිත මෝටර් රථ සන්නාමය සහ නිෂ්පාදකයා ලෙස සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත්ව ඇත.

දෙසැම්බර් මාසයේදී පමණක්, BYD ඒකක 341,043ක් අලෙවි කර ඇති අතර එය විකුණුම්වල 45% ක වර්ධනයක් පෙන්නුම් කරයි. 2023 වසරේදී BYD සමාගම විසින් අලෙවි කරන ලද සමස්ත NEV නිෂ්පාදන සංඛ්‍යාව 3,024,417 ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 61.9% ක කැපී පෙනෙන වැඩි වීමකි.

ඉහළ අපනයන වර්ධනයක් සමඟින් සිය ගෝලීය පැවැත්ම තවදුරටත් පුළුල් කර ගනී

2023 වසරේදී BYD සමාගම මෝටර් රථ 242,765 ක් අපනයනය කිරීමෙන් 334.2% ක කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගනිමින් ජාත්‍යන්තර වෙළඳපලතුළ සිය පැවැත්ම තහවුරු කර ගැනීමට සමත් විය. BYD හි නව බලශක්ති වාහන (NEV) මහාද්වීප 6 ක, රටවල් 70 කට වැඩි සංඛ්‍යාවක ක‍්‍රියාත්මක වේ. ඔවුන් මෑතකදී ශ‍්‍රී ලංකාව තුළ පුළුල් පරාසයක උසස්, පරිසර හිතකාමී NEV මාදිලි හඳුන්වා දීමට මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සමඟ හවුල්කාරීත්වයක් ඇති කර ගනිමින් දකුණු ආසියානු කලාපය තුළ සිය පැවැත්ම තවදුරටත් තහවුරු කරගැනීමට සමත් විය.

BYD සමාගමේ තාක්‍ෂණික ප‍්‍රවීණත්වය සහ ලොව පුරා සිටින පාරිභෝගික ජනතාවට උසස්, පරිසර හිතකාමී මෝටර් රථ හඳුන්වා දීමට ඇති කැපවීම සහ ලොව ප‍්‍රමුඛ පෙළේ හවුල්කරුවන්ගේ සහායද ඇතිව ඔවුන්ගේ තාක්‍ෂණය මෙන්ම නිෂ්පාදනද ලොව පුරා ජනතාව අතර ජනප‍්‍රියත්වයට පත්ව ඇති අතර ඔවුන්ගේ නිෂ්පාදන බොහෝ පිළිගැනීම්වලට ද ලක්ව ඇත.

පුළුල් පරාසයක විසිරුණු සන්නාම පෙළ සහ ශක්තිමත් වෙළෙඳපොල ප‍්‍රතිචාරය

2023 වසරේදී BYD විසින් Dynasty series, Ocean series, DENZA, FANGCHENGBAO, සහ YANGWANG හඳුන්වා දෙමින් සිය නිෂ්පාදන පෙළ පුළුල් කරන ලදී. මෙම පියවර ගෝලීය නව බලශක්ති අංශයේ පුළුල්ම නිෂ්පාදන පෙළක් සහිත සමාගමක් ලෙස BYD හි තත්වය තවත් ශක්තිමත් කරයි.

Dynasty සහ Ocean කාණ්ඩයේ NEV නිෂ්පාදන 2,877,353 ක් අලෙවි වූ අතර එය 2022 වසරට වඩා 55.3% ක කැපී පෙනෙන වර්ධනයකි. 2023 වසරේදී DENZA කාණ්ඩයේ NEV නිෂ්පාදන 127,840ක් අලෙවි වූ අතර DENZA D9 වසරේ වැඩිම අලෙවියක් ලැබූ මෝටර් රථය බවට පත් විය. මීට අමතරව ඉදිරියේදී එළිදැක්වීමට නියමිත DENZA N7 සඳහා වන නවතම OTA මගින් උසස් තාක්ෂණයෙන් යුතු මෝටර් රථ නිෂ්පාදනය කිරීම සඳහා BYD සමාගමේ පුරෝගාමීත්වය අවධාරණය කරයි.

2023 වසරේදී හඳුන්වා දුන් YANGWANG සහ FANGCHENGBAO යන සුපිරි මෝටර් රථ ඉකුත් නොවැම්බර් මාසයේදී වෙළෙඳපොළට නිකුත් කරන ලද අතර ඒවාට ඉහළ පාරිභෝගික ප‍්‍රතිචාරයක් හිමි විය. YANGWANG U8 NEV නිෂ්පාදන මාදිලිය ඉහළම අලෙවියක් සහිත මෝටර් රථය බවට පත් වූ අතර BAO 5 සුපිරි SUV මෝටර් රථය off-road වෙළෙඳපොල කාණ්ඩයේ ඉහළ ජනප‍්‍රියත්වයක් ලබා ගැනීමට සමත්ව ඇත.

BYD සමාගම චීනයේ ප‍්‍රමුඛතම නව බලශක්ති මෝටර් රථ (NEV) වෙළඳපොලේ සිට ලෝකයේ ඉහළ පෙළේ NEV විකුණුම්කරු බවට පත් වූ අතර, මේ වන විට ගෝලීය මෝටර් රථ කර්මාන්තයේ හොඳම මෝටර් රථ සමාගම් දහය අතරටද ශ්‍රේණිගත වීම විශේෂයෙන් කැපී පෙනේ. මෙමගින් නව බලශක්ති අංශයේ සමාගම සතු ශක්තයි මැනවින් පෙන්නුම් කරයි. වඩාත් යහපත් ලෝකයක් සඳහා තාක්ෂණික නවෝත්පාදන උපරිම ලෙස භාවිත කිරීමට කැපවී සිටින සමාගම හරිත අනාගතයක් කරා පියමං කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *