July 27, 2024
කොමර්ෂල් බැංකුව ජාතික රෝහලට ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කරයි
පුවත්

කොමර්ෂල් බැංකුව ජාතික රෝහලට ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

Jan 9, 2024

කොමර්ෂල් බැංකුව විසින් කොළඹ ජාතික රෝහලේ කාර්යබහුල ම වෛද්‍ය ඒකකයක් වන විශ්ව විද්‍යාලයීය වෛද්‍ය ඒකකය වෙත අතිධ්වනි ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.

විශාල රෝගීන් සංඛ්‍යාවක් දිනපතා ප්‍රතිකාර ලබා ගන්නා බැවින් මෙම ස්කෑනර් යන්ත්‍රය මගින් ඒකකයේ අතිධ්වනිරේඛණ පරීක්ෂණ පහසුකම් වැඩිදියුණු කරනු ඇත.

ජාතික රෝහලේ විශ්ව විද්‍යාල වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද පවසන ආකාරයට ප්‍රධාන වශයෙන් ඩෙංගු උණ, ලේ විශ වීම, වකුගඩු අකර්මණ්‍ය වීම, කම්පනය වැනි බරපතල රෝගී තත්ත්වයන් කළමණාකරණය කිරීමේ දී අතිධ්වනිරේඛණ පරීක්ෂණ මූලික අවශ්‍යතාවයකි.

“ඕනෑම වේලාවකදී සෑම වෛද්‍ය වාට්ටුවකම ඩෙංගු උණ රෝගීන් 12 දෙනෙක් පමණ සිටින අතර පශ්චාත් මෝසම් වසංගත කාලවලදී එම සංඛ්‍යාව ඉහළ යයි. ඩෙංගු රක්තපාත උණ ඇති අය හඳුනා ගැනීමට හා එමගින් රෝගීන්ගේ ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිකාර කිරීමේ එක් ප්‍රමිතියක් ලෙස මෙම සියළුම රෝගීන් සඳහා දිනකට දෙවරක් අතිධ්වනි රේඛණ පරීක්ෂණය සිදු කරනවා,” යනුවෙන් මහාචාර්ය කටුලන්ද පැවසීය. තවදුරටත් එතුමා මෙසේ පැවසීය:“නවතම ඩෙංගු රෝගීන් කළමණාකරණායේදී අතිධ්වනිරේඛණ පරීක්ෂණය සහ කාලෝචිත තීරණ ගැනීම නිසා ඩෙංගු මරණ සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා. රෝගී ප්‍රතිකාර වල ගුණාත්මක බව ඉහළ නංවන අතිධ්වනි ස්කෑනර් යන්ත්‍ර පරිත්‍යාගය පිළිබඳව කොමර්ෂල් බැංකුවට අපි බෙහෙවින් කෘතඥ වෙනවා.” 

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතාද මෙසේ පැවසීය: “අත්‍යවශ්‍ය උපකරණ ලබා දීම මඟින් රාජ්‍ය සෞඛ්‍ය සේවය සඳහා සහය වීම කොමර්ෂල් බැංකුවේ ආයතනික හා සමාජයීය වගකීම් ක්‍රියාකාරකම්වල එකකි. වසර ගණනාවක් පුරා රාජ්‍ය රෝහල් රැසකට බැංකුව විසින් ලබාදුන් පරිත්‍යාග මඟින් එම ආයතන වල විවිධ හදිසි අවශ්‍යතා ඉටුකළ අතර රෝගීන් සඳහා ලබා දෙන පහසුකම් වැඩිදියුණු කිරීමට ද දායක වී ඇත. ජාතික රෝහලට නවීනතම උපකරණ පරිත්‍යාග කර සංකූලතා කල්තියා හඳුනාගැනීම සඳහා පහසුකම් සැළසීම, ජීවිත රැසක් බේරා ගැනීමට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *