July 27, 2024
බිටුමික්ස් සමාගම සිය ශිෂ්‍යාධාර වැඩසටහන්වල නවතම අදියර ක්‍රියාත්මක කරයි
පුවත්

බිටුමික්ස් සමාගම සිය ශිෂ්‍යාධාර වැඩසටහන්වල නවතම අදියර ක්‍රියාත්මක කරයි

Feb 13, 2024

ශ්‍රී ලංකාවේ තාර හා ඒ ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛතම සමාගම වන බිටුමික්ස් පෞද්ගලික සමාගම සිය ආයතනික සමාජ මෙහෙවර ඉදිරියට රැගෙන යමින් අඩු ආදායම් ලාභී සිසුන් වෙනුවෙන් මූල්‍යාධාර පිරිනමන බිටුමික්ස් සිසු සෙනෙහස සහ බිටුමික්ස් ශිෂ්‍යාධාර අත්වැල වැඩසටහන්වල නවතම අදියර ක්‍රියාත්මක කරයි. උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඉගෙනීමට දක්ෂතාව ඇති සිසුන්ව තෝරා ගෙන ඔවුන් පාසල් අධ්‍යාපනය හදාරන කාලයේදී මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවොත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන තුරුද මෙම ශිෂ්‍යාධාර පිරිනමයි.

බිටුමික්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක සිරිවර්ධන මහතාගේ සංකල්පයක් අනුව 2014දී බිටුමික්ස් සමාගම සිසුන් හය දෙනෙකුගෙන් ඇරඹූ මෙම ශිෂ්‍යාධාර වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබා සිය පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සාර්ථක කර ගත් පිරිස ඉතා විශාලය. මාසිකව ශිෂ්‍යාධාර පිරිනැමීමට අමතරව  සිසුන්ට අවශ්‍ය පාසල් පොත් සහ උපකරණ වාර්ෂිකව පිරිනැමීමටද බිටුමික්ස් සමාගම කටයුතු කරයි. ශිෂ්‍යාධාර ලබන සිසුන්ව දුරකතනයෙන් අමතා ඔවුන්ව අධ්‍යාපනයට දිරිමත් කරමින් ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සොයා බලමින් ඔවුන් සමඟ සමීප සබඳතාවක් ගොඩ නගා ගනිමින් කටයුතු කිරීම මෙම වැඩසටහනේ සුවිශේෂත්වයකි. ශිෂ්‍යාධාර ලබන සිසුන් අතරින් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අසමත් වන සිසුන් වෘත්තීය අධ්‍යාපනය වෙත යොමු කර ඔවුන්ට රැකියාවලට පිවිසීමට අවශ්‍ය තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ සුදුසුකම් සපුරා ගැනීමට අවශ්‍ය සහයෝගය සැපයීමද සිසු සෙනෙහස වැඩසටහනේ අංගයකි. සිසු සෙනෙහස වැඩසටහනට අමතරව බිටුමික්ස් ආයතනයේ සේවක මණ්ඩලයේ දූ දරුවන් වෙතද බිටුමිකස් ශිෂ්‍යාධාර අත්වැල වැඩසටහන යටතේ වාර්ෂිකව පාසැල් පොත් සහ උපකරණ පිරිනමයි. බිටුමික්ස් සිසු සෙනෙහස සහ බිටුමික්ස් ශිෂ්‍යාධාර අත්වැල වැඩසටහන් මෙරට සිසුන්ගේ අනාගතය දීප්තිමත් කිරීම වෙනුවෙන් තව දුරටත් පුළුල් කර පවත්වා ගෙන යාම බිටුමික්ස් සමාගමේ අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *