July 26, 2024
අර්බුදය අපට උගන්වන වැදගත් පාඩමක්
අලූත් යමක් ජීවිතය ධනය

අර්බුදය අපට උගන්වන වැදගත් පාඩමක්

Aug 31, 2023
නිශාන්ත කමලදාස
කළමනාකරණ උපදේශක
ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලය

රට තුළ තියෙන්නේ කුණාටුවක් හමා ගියා වගේම තත්වයක්. ඉදිරුණු ගස් හැම තැනම. ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩාවැටිල. සෙසු බොහෝ ක්ෂේත්‍ර පවා තුවාල වෙලා. දැනට පණ ගහමින් නැගිටින බවක් පෙනුනත් සංචාරක ව්‍යාපාරයත් තුවාල වුනු ඒවා අතරින් එකක්. හැමතැනම බලාපොරොත්තු කඩවීම් පේන්න තියෙනවා. අවිනිශ්චිතතාවය රජයනවා.

ඒත් ජීවිතය ගෙනියන්න වෙනවා. තුවාල මුළුමණින්ම සුව වෙන්නටත් ඉස්සෙල්ල නැවත වැඩට බහින්න වෙනවා. කුණාටුව පහවෙලා ගියාට අපට පරණ පුරුදු ජීවිතයට යන්න තව බොහෝ කලක් ගතවේවි. ඒත් සීත ඍතුව නිම වී වසන්තය එනවා සිකුරුයි. ඒක අපූරු කියමනක්. ඒකෙන් දිරිය ගෙන ජීවිතය දිහා බලමු.
පළමුවෙන්ම අප ඉගෙනගතයුතු පාඩම් මොනවා ද? ඊළගට කම්පනයෙන් මුසපත්ව අප තුළ මතුව ඇති ඇතැම් නිගමන උපකල්පන නිවැරදි ද? හැඟීම් වලින් ප්‍රලය වී ඇති මොහොතක බැසගත් ඒ නිගමන අපට දිගුකාලීනව හතුරු වෙයි ද? ඉදිරියට මුහුණදීමට නම් මේ දෙකම විසඳාගැනීම එක සේ වැදගත්.

අද සටහනෙන් මට දැනෙන අප විසින් උගත යුතු එක් පාඩමක් ඉදිරිපත් කරන්නම්. ඒ
“සියලු බිත්තර එක කූඩයකට නොදැමිය යුතු ය” යන පාඩම. විමසුම් දෑසින් ඒ දෙස බලන ලෙස ආරාධනය සමගින්.

රටක් හැටියට පමණක් නොව ආයතන හැටියට ද පුද්ගලයන් හැටියට ද අප විවිධාංගීකරණය විය යුතුය. අප අංශ කීපයක් මත පමණක් විශ්වාසය තබා රටක්, ආයතනයක් හෝ අපේ ජීවිත ගොඩනොනැගිය යුතුය. බිත්තර සියල්ල එක කූඩයකට නොදැමිය යුතුය යන්නෙන් අදහස් කරන්නේ එයය.

අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග කීපයක්ම – සංචාරක ව්‍යාපාරය, විදේශ සම්ප්‍රේෂණ පමණක් නොව එක්තරා දුරකට ඇඟලුම් කර්මාන්තය ද අර්බුදය හමුවේ වැටුනේය. නැතිනම් දුබල වුනේය. ණය පමණක් පැල දමමින් වැඩුනේය. ඒ හමුවේ ඩොලරය පැරණි මිලට පවත්වාගැනීම උදෙසා ඩොලර් හා රත්තරන් සංචිත විකුණා දැමුනේය. ඒත් වැඩක් වූයේ නැත. අන්තිමේ බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කර ණය හිමියන්ගේ කරදරයෙන් ඉස්පාසුවක් ගැනීමට සිදු වුනේය. රටක් හැටියට විකල්ප ආදායම් මාර්ග ගොඩනගා තිබීමේ වැදගත්කම මේ අර්බුදයෙන් පසුවවත් අප පසක්කරගත යුතු ය.

එපමණක් නොවේ. යමක් පිළිබඳ වගකීම එක් ආයතනයකට ගොනු වන විට ඒ ආයතනයට, ඇතැම් විට ඒ ආයතනයේ සේවකයන්ට, අතිශය ප්‍රබල කේවල් කිරීමේ බලයක් ද ලැබේ. සාමාන්‍ය තත්වයක දී මෙන් නොව අර්බුදයක දී මෙහි ප්‍රතිවිපාක දරුණු ය. ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් ආණ්ඩුව ගලග්‍රහණයට ගන්නා විට ආණ්ඩුව පසක් කරගත්තේ තවත් තරගකරුවන් කිහිප දෙනෙකු ක්‍ෂේත්‍රය තුළ සිටීමේ වැදගත්කමය. විවිධාංගීකරණයේ වැදගත්කමය.

හැම දෙයක්ම දේශීය හෝ විදේශීය යන අංශ දෙකින් එකකට පවරාදීමේ හා එසේ කිරීම් විපාක හැටියට ඔවුන්ට ඒ හරහා ලැබෙන මිල තීරණය කිරීමේ බලය ආණ්ඩුව අත්දැක්කේ බිත්තර ගිනිගණන් වූ විටය. දේශීය හා විදේශීය මාර්ග දෙකම විවෘතව තිබුණේ නම් ඒ තත්ත්වය මගහැරිය හැකි බව ආණ්ඩුව තේරුම් ගත්තේ මිල පාලනය සමග බිත්තර හිඟයක් ද ඇති වූ පසුය.

එක් ක්ෂේත්‍රයක පමණක් යෝධ අඩි තැබු විශාල ව්‍යාපාර ඒ ක්ෂේත්‍රය වැසීයන විට පතුලට ඇද වැටුනේය. තමන් වෙනත් ක්ෂේත්‍රයන්ට අත නොගසා සිටීමේ අවුල ඔවුන්ට දැනෙන්නට ඇත්තේ පස්ස බිම ඇනුණ විටය.
තම ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකාව තුළට පමණක් සීමා කර ගෙන සිටි ව්‍යාපාරිකයන්ට ද වෙනත් වෙළඳපොල සොයාගත යුතුය යන හැඟීම ඇති කළේ ද මේ අර්බුදයමය. එයින් අදහස් කළේ ක්ෂේත්‍රය පමණක් නොව වෙළඳපොළ ද හැකිතාක් විවිධාංගීකරණය වීමේ වැදගත් කමය.

අති දක්ෂ ඉංජිනේරුවන්ට රැකියා අහිමි වී නිවෙස් තුළ හිරකරුවන් වන විට ඔවුන්ට පසක්වන්නට ඇත්තේ තවත් වෙනත් ආකාරයක කුසලතාවයක් තිබිණි නම් ගැලවීමේ මගක් විවෘත කරගන්නට විභවයක් තිබුණු බවය. ස්වාමි පුරුෂයා හා බිරිඳ පවා ආයතන දෙකක ක්‍ෂේත්‍ර දෙකක, වැඩ කළේ නම් යම් සහනයක් ලබාගත හැකිව තිබූ බව බොහෝ දෙනෙකු අර්බුදය සමග පසක් කරගන්නට ඇත. මේ හේතුව නිසාම මෙවැනි කුසලතා ඇති බොහෝ දෙනෙකුට සිදු වුනේ අකමැත්තෙන් වුව ද මව්බිමට සමුදීමටය.
එක බැංකුවක තමන්ගේ සියලු ඉතිරි කිරීම් තැන්පත් නොකර බැංකු කීපයක ඒවා තැන්පත් කිරීමේ වාසිය මිනිසුන්ට දැනෙනු ඇත්තේ බැංකු අර්බුදයකට ලක් වූවොතින්ය. මෙය මීට පෙර ද බැංකු හා මුල්‍ය ආයතන වැසීගිය විට ඒවායේ තැන්පත් කරුවන්ට පසක්වන්නට ඇත. එහෙත් බොහෝ අය අනුන්ගේ පාඩම්වලින් ඉගෙන ගන්නේ නැත.

තමන් සතු වත්කම් පවා එකම ආකාරයකින් පවත්වාගෙනයෑමේ අවදානම ද බැංකුවල තැන්පතුවලින් පමණක් යැපෙමින් සිටි අයට මුදලේ බලය කඩා වැටුණ විට පසක්වන්නට ඇත.

විවිධාංගීකරණයට යොමු වීම අමාරුය. පුද්ගලයකු නම් ඒ සඳහා විවිධ කුසලතා වැඩි දියුණු කරගත යුතුය. ඒ සඳහා වෙහෙස විය යුතුය. මුදල් පමණක් නොව කාලය ද ආයෝජනය කළ යුතුය. අංශ කීපයක වැඩ කරන විට එක් අංශයක පරතෙරට යෑමේ ඉඩ අඩු වන්නේය. එය ද දැනෙන්නේ පාඩුවක් ලෙසය.

ආයතනයකට වුව ද සීමිත අරමුදල් ක්‍ෂේත්‍ර ගණනාවකට යෙදීමෙන් එක ද ක්ෂේත්‍රයක වත් නිපුණ වන්නට නොහැකි වීමේ ඉඩක් ද පවතින්නේය. ඒ නිසා ද එය පරිස්සමින් කළ යුතු වැඩකි. එහෙත් අපට විකල්ප නැති බව අර්බුදය උගන්වා තිබේ.
දන්නා ක්‍ෂේත්‍රයක පිනුම් ගැසීමට වුව සූදානම් නමුත් නොදන්නා ක්‍ෂේත්‍රයකට අඩිය තැබීමට පවා අප අකමැතිය. ඒ නොදන්නා දෙවියන්ට වඩා දන්නා යකා හොඳ යැයි අපට උගන්වා තිබෙන නිසාය. ඒ හැර අවිනිශ්චිතතාව ද දිගින් දිගටම අවධානයෙන් සිටිය යුතු බවට අපට නියෝග කර සිටින බැවින් අපේ කැමැත්ත ඒ උගුලෙන් ගැලවී සිටිමටය. ඒ සඳහා හොඳම දෙය දන්නා අඩවියකට පසුබැසීම යැයි අපට සිතෙන්නේය.
ඒ අභියෝගය කෙසේ හෝ ජයගෙන, හිත හදාගෙන, නව මාවතකට පිවිසෙන අය ද ඉක්මනින් ප්‍රතිඵල දැකගත නොහැකිව අධෛර්ය වන අවස්ථා තිබේ. ඔබ කැ්රබසබට ජමරඩැ (ඉගෙනීමේ ප්‍රස්තාරය) පිළිබඳ දන්නේ නම් මෙය ස්වාභාවික බව ඔබටම අවබෝධ වනු ඇත. ඒ ප්‍රස්තාරයෙන් කියන්නේ ඕනෑම දෙයක් ඉගෙනීමේ දී මුල් වකවානුවේ ප්‍රගතිය අතිශයින් මන්දගාමී බවය. එහෙත් කලක් තිස්සේ එහි යෙදීමෙන් අනතුරුව එය සීග්‍රගාමී දුම්රියක් මෙන් වේගයෙන් ඉදිරියට ඇදෙන බවය. බොහෝ අයට මුල් අසීරු අවදිය ගෙවාගන්නට තරම් ඉස්පාසුවක් නැත. එය ද මෙසේ විවිධාංගීකරණය නොවීමට හේතුවක්ව තිබේ.
අප ජාතියක් හැටියටම අතීතයට කැමතිය. අතීත ශ්‍රී විභූතිය නැවත ඇති කරන්නට මිසක ඩිජිටල් ලෝකයේ නව අවස්ථා ගැන සොයන්නට අපේ මනස සූදානම් නැත. ඒ මෙතෙක් උත්කර්ෂයට නංවා තිබෙන්නේ ද අදට ද එසේ කරළියට නංවමින් තිබෙන්නේ ද ඒ අතීතය නිසාය. නව ක්ෂේත්‍ර සොයා යන්නට අපට උනන්දුවක් නැති තව හේතුවක් ඇත්තේ මේ මානසිකත්වය තුළය.

අපට පාසලින් හුරු කරන්නේ ද එක වගේ වෙන්නටය. අන්දන්නේ ද එකම ඇඳුමය. කොණ්ඩය සපත්තු ආදී බාහිර සාධක සම්බන්ධ අනෙකුත් පිරිවිතරවලින් ද කියන්නේ එක වගේ වෙන්නටය. මැන බලන්නේ ද එකම දක්ෂතාය. විෂයයන් ගණනාවක් තිබුණ ද මනින්නේ ඒ විෂයයන් පිළිබඳ කටපාඩම් කිරීමෙන් මතක තබාගත් දැනුම පමණය. එසේ කල්පනා කළ විට පෙනෙන්නේ අපව හුරු කර තිබෙන්නේම බහුතරය කරන විදිහට කරන්නට බවය. රැලෙන් වෙනස් වන්නට නම් නොවන බවය. එක් අයෙකු ත්‍රී වීලයක් ගෙන පාරට දැමූ විට සෙසු අය ද හිතන්නේ තියෙන හොඳම බඩ රස්සාව ඒක කියාය. ඉතාලි හෝ කොරියා යන විට පැල්බැඳගෙන යන්නේ ද ඒ නිසාය. ඌරු මස් සමග පොල් රොටි කඩ කාලයක් පැතිර ගියේ උණු කැවුම්වලටත් වඩා වේගයෙන්ය. රැලට යන සිරිත මිස රැලෙන් වෙන්ව යන දෙයක් ගැන සිහින දැක්කේ ටික දෙනෙක් පමණය. ඒ සම්බන්ධයෙන් අප කියූ ලෙසටම පාසල ද වග කිව යුතුය.

එහෙත් එක එකාට හා එක එක දෙයට ඇඟිල්ල දික් කරගෙන දිගටම සිටීමේ තේරුමක් නැත. සමාජය එසේ වූවාට වෙනස් වීමට අපට බාධාවක් නැත. අපේ ජීවිතවල වගකීම සමාජයට හෝ ආණ්ඩුවට හෝ දෙමාපියන්ට හෝ වෙනත් බලවේගයකට පවරා සිටි කාලය ඕනෑවටත් වඩා වැඩිය. දැන්වත් එය අපේ වගකීමක් කරගත යුතුය.

අමාරුවෙන් වුව ද මේ විවිධාංගීකරණ ක්‍රියාවලිය ජයගන්නේ නම් එයින් අපට ලැබෙන්නේ අර්බුදයකට මුහුණ දියහැකි ශක්තිය පමණක් නොවේ. එක් අංශයක අපට ලැබෙන අත්දැකීම් අපේ තවත් අංශයක් දියුණු කිරීමට භාවිතා කිරිමේ ඉඩකඩය. ඒ අංශ දෙකේ සංකලනයකින් තුන්වැනි අංශයකට පිවිසීමේ ඉඩකඩය. මගේම උදාහරණයකින් මේ අදහස පැහැදිලි කිරීමට මා කැමතිය. මම දේශකයෙක් ලෙස වැඩ කරන අතර ලේඛකයෙකු ලෙස ද වැඩ කරමි. ලේඛනය මට අදහස් ගොනු කර ඉදිරිපත් කිරීමට අවශ්‍ය පරිචය ලබාදුන් අතර මගේ දේශන තරමක් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන්නට ඒ පරිචය මට ප්‍රයෝජනවත් විය. දේශනවල දී ගොනු වුන කරුණු පසුව ලේඛනයකට සුදුසු සේ සකස් කරගැනීමට ද මට හැකි විය. ඒ අංශ දෙක එක් කර යූ ටියුබ් චැනල් එකක් ආරම්භ කිරීමට ද මට හැකි විය. අද මට මගේ පණිවුඩ සමාජගත කිරීම සඳහා විවිධාංගීකරණය වූ අවස්ථා ගණනාවක් ලැබී තිබේ. මේ සටහන ලිවීමට ආරාධනය මා ලදුයේ ද මගේ යූටියුබ් චැනලයක් බැලූ මිත්‍රයකු හරහාය. එකක් අනෙකෙන් පෝෂණය වෙමින් ඉදිරියට යන ආකාරය ඇත්තටම ඇතැම් තැනක පුදුම සහගතය.

විවිධාංගීකරණය නිසා අපට විවිධ ක්‍ෂේත්‍රවල වැඩ කරන අය ද මුණගැසේ. ඔවුන්ගේ අත්දැකීම් සමහර විට අපේ යම් වැඩ වඩාත් හොඳින් කරගෙනයෑමට අවශ්‍ය උල්පන්දම් ද සපයා තිබේ. අපේ ජීවිත පවා මේ විවිධ මිතුරන් නිසා වඩාත් රසවත්ව තිබේ.

ඒ නිසාම මේ සටහන අවසන් කිරීමට මා කැමති ඔබට ඔබේ ආයතනයට රටට විවිධ අංශ ඔස්සේ සංවර්ධනය වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියන පැතුම ඇතිවය.
ජීවිතයට අර්බුද පැමිණීම වැළැක්විය නොහැකිය. ඒවා ව්‍යසනයක් වී අවසන් වන්නේ අප ඉන් පාඩමක් වත් ඉගෙන නොගතහොත්ය. පාඩම් ඉගෙන ගන්නේ නම් අර්බුද පවා අපව අවදි කරවනසුළු ශක්‍යතාවෙන් යුක්තය.

අප ඉදිරියේ ඇති ලෝකය පැරණි රැකියා මාර්ග පමණක් නොව සමස්ත ක්‍ෂේත්‍ර ද අතුගා දමමින් අපට නව අභියෝග පිරිනමනු ඇත. මේ විවිධාංගීකරණය ඒ අභියෝගවලට මුහුණදීම සඳහා ද උදව් වෙනු ඇත. ඒ නිසාම අර්බුදය අපට පූර්ව සූදානමකට කරන ලද ඇරයුමක් සේ සැලකිය හැකිය.

මෙය ලියන නිශාන්ත කමලදාස කලක් ඉංජිනේරුවරයකුව සිටියේය. පසු කලෙක කළමනාකරණ ක්‍ෂේත්‍රයට පිවිසි ඔහු ආයතන දෙකක (නිවාස සැලසුම් ගොඩනැගිලි මධ්‍යස්ථානය හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යාස්ථානය) ප්‍රධාන විධායක නිලධාරි ධුරය හෙබැවීය. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යයන කේන්ද්‍රයේ ජ්‍යේෂ්ඨ උපදේශකවරයකු ලෙස සිව් වසරක් වැඩ කළේය. කළමනාකරණය සම්බන්ධ පොත් දහයක් සිංහලෙන් ලියා ඇති ඔහු දිනමිණ හා මව්බිම පුවත්පත්වලට වසර තුනකට අධික කාලයක් තිස්සේ තීරු ලිපිකරුවකු ලෙස සම්බන්ධව සිටියේය. අද ඔහු කළමනාකරණය පිළිබඳ දේශකයකු ලෙස වැඩකරන අතර “කළමනාකරණය සිංහලෙන්” සහ “වචන සෙල්ලම්” නමින් බ්ලොග් අඩවි දෙකක් පවත්වාගෙනයන බ්ලොග්කරුවෙක් ද සිය නමින් යුටියුබ් චැනලයක් පවත්වාගෙන යන සන්නිවේදකයකු ද වෙයි.

2 Comments

  • I don’t usually comment but I gotta say thanks for the post on this perfect one : D.

  • Hey there just wanted to give you a quick heads up. The text in your content seem to be running off the screen in Safari. I’m not sure if this is a format issue or something to do with browser compatibility but I figured I’d post to let you know. The layout look great though! Hope you get the problem resolved soon. Many thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *