March 2, 2024
ජාතික සමස්ත ජන සංතුෂ්ටිය ශ්‍රී ලංකාව කොතැන ද?
ජීවිතය ධනය

ජාතික සමස්ත ජන සංතුෂ්ටිය ශ්‍රී ලංකාව කොතැන ද?

Aug 31, 2023

එස්. දම්මුල්ල
හිටපු පුවත්පත් කොමසාරිස්,
උපදේශක පැමිණි කොමිසම

ඕනෑම රටක හෝ ප්‍රජාවක හෝ ආර්ථික සංවිධානයක් මැන බලන එසේම ආර්ථිකයේ තරාතිරම නිවැරදිව හා පරිපූර්ණව ගණනය කර බලන මාපකයක් වන්නේ ජාතික සමස්ත ජන සංතුෂ්ටිය (Gross National Happiness) ලෙස සැළකේ. මේ යටතේ මානව සමාජයක යථාර්ථික දියුණුව රැඳී පවතින්නේ ද්‍රව්‍යමය සහ ආධ්‍යාත්මික සංවිධානයන් එකිනෙකට බලපාමින් උක්ත මූලයන් එකිනෙක අන්‍යොන්‍යව ශක්තිමත් කරමින් හා උදව් කරගනිමින් ඇතිවන දියුණුවයි. මෙහි දී මෙම ජාතික සන්තුෂ්ටිමය වටිනාකම් පෝෂණය කරන නිවැරදි මිනුම් හා මූල්‍යමය අගයන් භාවිත කෙරේ. එම මූලික සැලකිල්ල ප්‍රධාන වශයෙන් කොටස් නමයකින් සමන්විතය. මෙම සුචි පත්‍රය අතුරු කොටස් 33කට බෙදා සෑම පුද්ගලයකුගේම යහ පැවැත්ම කොතෙක්දැයි වෙන වෙනම ගණනය කෙරේ. සෑම කෙනෙකුගේම සංතෘෂ්ටිය, එනම් පිරිමි අයගේ සහ ගැහැණු අයගේ වෙන වෙනම සළකා බැලූ ජීවන සතුටේ අගය මත එය තීරණය වේ. සමස්ත ජාතික අගය ලබාගැනීමට එසේ සෑම කෙනෙකුගේම ජීවන ප්‍රතිරූපයේ සාර්ථක අසාර්ථකතා පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් සිදුවිය යුතුය. එම දත්තයන් බෙදාගැනීමේ මූලික බෙදීම් (9) අංග හා ඒවායේ අතුරු බෙදීම් 33 පහත සඳහන් පරිදි හඳුනාගත හැකිය.

  1. චෛතසික හා මානසික යහපැවැත්ම –
    ජීවන සතුට
    සැබෑ ආවේග
    වැරදි ආවේග
    ආධ්‍යාත්මික ගුණ වගාව
  2. සෞඛ්‍ය හා ශාරීරික සුවතාව
    මානසික සෞඛ්‍යය
    පුද්ගල සුවතාව
    යහතින් සිටින දින ගණන
    ශාරිරික දුර්වලතා
  3. කාල භාවිතය
    සේවා හෝ රැකියා
    විවේක ගැනීම
  4. අධ්‍යාපනය
    ලිවීමේ කියවීමේ හැකියාව
    අධ්‍යාපනික මට්ටම සුදුසුකම්
    දැනුම හා හැකියාවන්
    ඇගයීම්
  5. සංස්කෘතික විවිධත්වය සහ අන්‍යොන්‍ය සුහදතාවය
    ආවේණික භාෂා භාවිතය
    සුහද සහභාගිත්වය
    කලාත්මක ඇගයීම්
    සදාචාරය සහ අචාර ධර්ම
  6. යහපාලනය
    රාජ්‍ය ක්‍රියාකාරකම්
    මූලික අයිතිවාසිකම්
    පොදු සේවා පහසුකම්
    දේශපාලන සහභාගිත්වය
  7. ප්‍රජා ජීවන ශක්තිය
    කාල වේලා සහ මුදල් ප්‍රධාන
    ප්‍රජා සබඳතා
    පවුල් සබඳතා
    පොදු ආරක්ෂාව
  8. ජෛව විවිධත්වය සහ අනුදැනීම
    ජෛවමය ගැටලු
    පාරිසරික වගකීම්
    වනජීවී හානි
    නාගරීකරණ ගැටලු
  9. ජීවන මට්ටම්
    සම්පත්
    නිවාස
    පවුල් සංවිධාන

මෙවැනි කරුණු පූර්ණ විමසීමකට සහ අධ්‍යයනයකට ලක් කිරීමට අමතරව ලොව බොහොමයක් දියුණු රටවල වයස අවුරුදු 50ට වැඩි වැඩිහිටියන්ට ජීවිත කාලයම පුරාවට ඉගෙනීමට යෙදීමට ඇති ආශාව හා අවශ්‍යතාවයන් මුදුන්පත් කරගැනීමේ ප්‍රවණතා වැඩ සටහනක් ද ක්‍රියාත්මක කෙරේ. අද දියුණු ලෝකයේ ක්‍රියාත්මක වන තුන්වන අදියරයේ විශ්ව විද්‍යාල සංකල්පය university of the third Age (U3A) ඊට මනා උදාහරණයකි. මේ මගින් වැඩිහිටි පුරවැසියන් මානසිකවත් ශාරීරිකවත් මෙන්ම සමාජයීය වත් ක්‍රියාකාරීන් ලෙස දිරිගැන්වීමේ සංතෘප්තියට පත්කිරීමේ වැඩසටහන් ඔස්ටේ්‍රලියාව ඇතුළු රටවල් රාශියක දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.
ඉහත සේවා ආදර්ශයන් ක්‍රියාත්මක කිරීම් අප වැනි දියුණු වන රටවලට එතරම් පහසු නොවූවත් සමස්ත ජාතික සංතුට්ඨි මාපක වැඩසටහන් අපට වඩා නොදියුණු තත්ත්වයක පවතින භූතානය වැනි රටවල ද ක්‍රියාත්මක වන ආකාරය අපට ආදර්ශයකි. භූතාන් රාජ්‍ය ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට එම රජය ඉහත සඳහන් මාපක තත්ත්වයන් ප්‍රවර්ධනයට අඛණ්ඩව උත්සාහ දරමින් ජනතා සන්තුෂ්ටිය වැඩි වැඩියෙන් ළඟා කරගැනීමට උනන්දු වනු දැකිය හැකිය. ඒ බව සහතික කරමින් අග්‍රාමාත්‍ය ටෙෂ්රින් ටෙබිගේ මහතා වරක් පැවසුවේ සමාජ වර්ධනය, පාරිසරික යහපැවැත්ම හා සංස්කෘතිකාංගවල පැවැත්ම එකිනෙකට සමගාමී වන පරිදි වර්ධනය ක්‍රමිකව පවත්වාගෙන යාමට එරට යහපාලන ක්‍රියාදාමය සමත්ව ඇති බවයි.
2010 වසරෙන් පසුව ප්‍රධාන සංවිධාන ක්‍රියාවලීන් වූ සියලු ජීවන මට්ටම් දර්ශක සපුරාගෙන ආදායම්, නිවාස සහ වෙනත් සම්පත් ද ශාරීරික සෞඛ්‍යයෙන් යුතුව ගතකරන දින ගණන ද වර්ධනය කර ජලය හා විදුලිය අවශ්‍යතා, මහාමාර්ග හා කසළ සේවා යහපත්ව පවත්වාගනිමින් සංස්කෘතික වැඩසටහන්වලට වැඩිපුර ජනතා සහභාගීත්වයක් ලබාගැනීමට ද සමත්ව සිටී. මෙම වැඩසටහන්වල දී විශේෂ උනන්දුවක් ගෙන ක්‍රියාකළ සිව්වන භූතාන රජු වූ ජිග් මේ සින්ග්යේ වන්චුක් වරක් ප්‍රකාශ කළේ සමස්ත ජාතික සන්තුෂ්ටි ඉලක්කය ජාතික නිෂ්පාදන දර්ශකයට වඩා වැදගත් වන බවයි. මෙම මගපෙන්වීම් මත 2015 දී සමස්ත ජාතික සන්තුෂ්ටි ඒකකය 2010 වර්ෂයේ තිබූ ගණනට වඩා ඒකක දහතුනක් වර්ධනය කරගැනීමට සමත් විය. අද භූතාන ජනගහනයෙන් 43.4%කට වඩා ඉතා සතුටින් ජීවත්වන අතර මනා සතුටින් ජීවත්වන 47.9%ක ජනගහනයත් එක්කරගත් විට 91.3%ක්ම සිය ජීවන පැවැත්ම පිළිබඳව සෑහීමට පත්ව සිටින බව පෙනේ.
මේ භූගෝලීය වශයෙන් ඉතාමත් කුඩා සහ නේපාලයටත් වඩා හුදෙකලා රාජ්‍යයක් වූ භූතානය අද ලබා ඇති දියුණුවයි. එදා ලෝකයේ ඉතාම ග්‍රාමීය රටක් වූ එහි නාගරිකව ජීවත් වූයේ එරට ජනගහනයෙන් 6%ක් පමණි. ජනගහනයෙන් 90%ක්ම කෘෂිකර්මයෙන් යැපෙමින් අසල්වැසි ඉන්දියාවේ සහ රුසියාවේ ආධාරයෙන් ජලවිදුලිය නිපදවීම අතින් ඉතා ඉදිරියට ගොස් ඇත. ලෝක බැංකු වාර්තාවට අනුව ලෝකයේ දුප්පත්ම රටවල් අතර නව වන ස්ථානයේ සිටි භූතානය අද ගුවන්යානා ඉන්ධන හා ඩීසල් පමණක් ආනයනය කරමින් විදෙස් වෙළඳාමෙන් 25%ක්ම සිමෙන්ති අපනයනයෙන් සපුරා ගනී.
මේ අතර ‘දීප්තිමත් දිවයින’හෙවත් Resplendent Island නමින් හැඳින්වෙමින් තිබූ ශ්‍රී ලංකාව නිදහස ලබාගත් පසුවත් සෑම අතින්ම සරුසාර රටක් වූ අතර ලෝකයේ තේ නිෂ්පාදනය කරන රටවල් අතර ඉන්දියාවට හා චීනයට පසුව ලොව තුන්වැනි තැන දිනා සිටියේය. තේ, රබර්, පොල් හා කෝපි වැනි වෙළඳ වගාවන් අතින් පසුව අපට හිමිව තිබූ ස්ථාන නැතුව ගිය අතර විදෙස් අපනයනය බොහෝමයක් ම පහළ වැටිණි. විවෘත ආර්ථිකයට යමින් සිටියදී මැදපෙරදිග රැකියාවලින් විදෙස් සම්පත් තර වුවද තම ලාභ තකා සේවක වැටුප් පහළ දමමින් සේවක සේවිකාවන් යැවීමට විදේශ සේවා සමාගම් හා සංවිධාන අදූරදර්ශීව ක්‍රියා කිරීම නිසා එම ආදායම් ද පහළ වැටිණි. තම අධිකාරිය දේශපාලකයන් ග්‍රහණය කරද්දී නිද්‍රාශීලීව සිටි නිලධාරීන් පැලැන්තියේත් තම ආත්මාර්ථය මිස රටේ ප්‍රගතිය ගැන නොසිතූ පාලකයන්ගේත් ඔවුන් බලයට ගෙන ඒම මිස පසු විපරමක් නොකළ මහජනතාවගේත් ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන් රට හා ආර්ථිකය දිනෙන් දිනම පරිහානියට පත්විය. මේ තත්වයන් යටතේ ‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ නමින් විරුදාවලි ලබා තිබූ ශ්‍රී ලංකාව අද විදෙස් ණයවලින් යැපෙන රටක් බවට පත්වී ඇත.
අප රටේ ආර්ථිකය පිරිහීමට හේතු වී ඇති වංචා, දූෂණ, අල්ලස් සහ වෙනත් අක්‍රමිකතා ගැන පරීක්ෂණ කර ඒවාට වගකිවයුත්තන්ට දඬුවම් දීමේ ක්‍රියාමාර්ග ගැන අදටත් කිසිවෙකුටත් කිසිදු හැඟීමක් හා ඕනෑකමක් ඇති බවක් නොපෙනේ. පසුගිය කාලයේ දියුණු රටවල මෙන්ම සමහර දියුණු වන රටවල ද සිදු වූ මෙවැනි අක්‍රමිකතා ගැන සෙවීමට එම රටවල් ඉක්මන් පියවර ගැණුනත් අපේ පන්නයේ රටවල් ඒවා යටපත් වීමට ඉඩ හැර බලා සිටී.
ජර්මන් රාජ්‍යයේ මෑතක සිදු වූ වයර් කාඩ් වංචාව ඩොලර් බිලියන දෙකක් වූ අතර ඒ පිළිබඳව විභාග කිරීම එරට මූල්‍යමය කටයුතු ගැන සොයාබලන මණ්ඩලයකට පවරා ඇත. එම චෝදනා ඔප්පු වුවහොත් වගඋත්තරකරුවන්ට අවුරුදු 15ක සිර දඬුවම් ලබාදෙන බව ප්‍රකාශ කර ඇත. දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ නව ජනාධිපති ඩීනා මහත්මිය ඇයට පෙර සිටි පාලකයන් විශාල වශයෙන් මෙවැනි දූෂණවල යෙදී සිට ඇතැයි චෝදනා කර පරීක්ෂණ නියම කර ඇත. මැලේසියානු රජය ද එරට හිටපු අගමැතිවරයා රාජ්‍ය මුදල් ඩොලර් බිලියන 136ක් අපයෝජනය කර ඇතැයි පරීක්ෂණ අරඹා ඇත. ඊශ්‍රායල නව අගමැතිවරයා රාජ්‍ය මුදල් වැරදි ලෙස පාවිච්චි කර තිබියදී එම පරීක්ෂණ වැළැක්වීමටත් ඒ ගැන විභාග කිරීමට නියමිත විනිශ්චයකාරවරුන්ගේ බලතල අඩු කිරීමටත් ක්‍රියා කරද්දී මුළු මහත් ජනතාවම ඊට විරෝධය පළ කර එම නව නීති කෙටුම්පත් ඉවත් කරගැනීමට බල කරමින් සිටී. ඕස්ටේ්‍රලියාවේ නව කම්කරු රජය පාලකයන්ගේ හා නිලධාරී පැළැන්තියේ මෙවැනි වංචා හා දූෂණ සෙවීමට දැනටමත් අවශ්‍ය නීති සම්පාදනය කර වංචා විමර්ශන කොමිසමක් පත්කර සෑම මට්ටමකම දූෂණ නතර කිරීමට කටයුතු කර ඇත.
මෙසේ ලොව නොයෙක් රටවල වංචා දූෂණ හා අල්ලස් ආදිය නතර කිරීමට ගනු ලබන නිසි ක්‍රියාමාර්ගවලට එළඹීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත් කුමන කොන්දේසි මත විදේශ ආධාර හෝ විදේශ ණය හෝ ලබාගත්ත ද අප ආර්ථිකය පෙර තිබූ තත්ත්වයට හෝ ගෙන ඒමට අප අපොහොසත් වනු ඇත. එහෙයින් නිසි බලධරයන් නිසි මගට පිවිසීමටත් වහාම ක්‍රියාත්මක විය යුතු අතර ඒ සඳහා ඔවුන් පෙළඹවීමට මහජනතාව ද ඉක්මන් පියවර ගත යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *