July 27, 2024
SLT-MOBITEL කඩොලාන පරිසර පද්ධති පිළිබඳ අවධානය යොමු කරමින් 2024 දින දර්ශනය එළිදක්වයි
පුවත්

SLT-MOBITEL කඩොලාන පරිසර පද්ධති පිළිබඳ අවධානය යොමු කරමින් 2024 දින දර්ශනය එළිදක්වයි

Dec 7, 2023

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ‘ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති’ යන තේමාව යටතේ තම 2024 දින දර්ශනය පසුගියදා එළිදැක්වී ය. මෙමගින් රටේ ස්වභාවික උරුමයක්වන කඩොලාන පරිසර පද්ධතිවල සුන්දරත්වය හා ඒවා ආරක්ෂා කරගැනීමේ වැදගත්කම අවධාරණය කෙරේ.

ලොව පුරාම කඩොලාන පද්ධති මේ වනවිට විනාශ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ SLT-MOBITEL හි 2024 දින දර්ශනය, ජෛව විවිධත්වය සුරැකීම සහ දේශගුණ විපර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා කඩොලාන පරිසර පද්ධති මගින් ඉටුවන මෙහෙවර පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තුළින් ඒවා සංරක්ෂණය කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි.

SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත්කරන පුරෝගාමියෙකු වශයෙන්, අපගේ ව්‍යාපාරික ඉලක්කවලින් ඔබ්බට විහිදෙන වගකීමක් අප සතු බව අප විශ්වාස කරනවා. තිරසරබව අවධාරණය කරමින් ඒ සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සංවාදයක් ඇතිකිරීම සඳහා අපගේ 2024 දින දර්ශනයට කඩොලාන පරිසර පද්ධති පිළිබඳව තොරතුරු ඇතුළත් කිරීමට අප තීරණය කළා. කඩොලාන පරිසර පද්ධතිය බොහෝ පිරිසකගේ ජීවනෝපාය මාර්ගයන් මෙන්ම පරිසර සමතුලිතබව ආරක්ෂාකර ගැනීමට විශාල දායකත්වයක් දක්වන වැදගත් පරිසර පද්ධතියක්.අරමුණු තුළින් පන්නරය ලබන ජාතික සන්නාමයක් වශයෙන්, පරිසරය සුරැකීමේ වැදගත්කම පෙන්වා දෙමින්, අනාගත පරපුර වෙනුවෙන් ස්වාභාවික අන්තර්සම්බධිත පද්ධති ආරක්ෂා කිරීමට අප කැප වී සිටිනවා.”

මෙම දින දර්ශනයට ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසරයන්හි එකිනෙකට වෙනස් වූ අංග නිරූපණයකරන අලංකාර චිත්‍ර 13 ක් ඇතුළත් වී තිබේ. පුලස්ති එදිරිවීර, පාරමී විද්‍යාරත්න සහ පියුමි මහේෂිකා යන චිත්‍ර ශිල්පීන් විසින් කඩොලාන පරිසර පද්ධතිවල සුන්දරත්වය සහ විවිධත්වය තම සිතුවම් තුළින් මැනැවින් නිරූපණයකර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික කඩොලාන විශේෂඥ කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ධීවර හා ජලජ ජීවී අධ්‍යන  පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මියගේ සම්පත් දායකත්වය යටතේ මෙම දින දර්ශනය සකස්කරන ලදි.

“පොදු රාජ්‍ය මණ්ඩලීය නිල් ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධතිය සහ ජීවනෝපාය ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව කඩොලාන පද්ධති සංරක්ෂණය කිරීමටත්, ඒවා නැවත ස්ථාපිත කිරීමටත්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් සාර්ථක පියවර රැසක් ගෙන තිබෙනවා. කෙසේ නමුත් අප මේ ගනුදෙනු කරන්නේ, දශක ගණනාවක් තිස්සේ නොසලකා හරිනලද මෙම විනාශ වෙමින් තිබෙන පරිසර පද්ධතියක් සමගයි. එම නිසා, තත්ත්වය වෙනස් කිරීමට සැම දෙනාගේම සැලකිල්ල අත්‍යවශ්‍ය වී තිබෙනවා.අපේ රටේ මෙම ස්භාවික සම්පත් ආරක්ෂා කිරීමට නම් එය අප අනිවාර්යයෙන්ම කළ යුතුයි.” ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පැවසුවා ය.

ශ්‍රී ලංකාවේ කඩොලාන විශේෂ 21 ක් ඇති අතර, ඒ සියල්ල රටේ වෙරළාසන්න තෙත්බිම්වල පවතින විශේෂ පරිසර තත්ත්වයන්ට අනුවර්තනය වී ඇත. සමස්තයක් ලෙස, ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ හෙක්ටයාර 19,000 ක් පමණ කඩොලාන සහ ඒ ආශ්‍රිත අනෙකුත් ශාක වර්ග මගින් ආවරණය වී තිබේ.

පොළොවෙන් මතුපිට පවතින කොටස්වල මෙන්ම මුල් පද්ධතියෙහි සහ අවට අවසාදිතවලද කාබන් ගබඩා කරගන්නා බැවින් කඩොලාන ‘නිල කාබන්’ පරිසර පද්ධති ලෙස සැලකේ. කඩොලාන පද්ධතිවල පසට කාබන් විශාල ප්‍රමාණයක් දීර්ඝකාලීනව රඳවා ගැනීමේ හැකියාව ඇත. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් අවම කරමින් දේශගුණ විපර්යාසවල බලපෑම අවම කිරීම සඳහා මෙය බෙහෙවින් වැදගත් ය.

කඩොලාන පරිසර පද්ධතියේ ඇති සුවිශේෂීත්වය වන්නේ අනෙකුත් ශාඛ ප්‍රජා සමග සන්සන්ධනය කිරීමේදී කඩොලාන පද්ධති පරිසරයේ වැඩි කාබන් ප්‍රතිශතයක් අවශෝෂණයකර ගැනීමට ඇති හැකියාවයි.

ධීවර කර්මාන්තය සඳහා අතිශය හිතකර පරිසර නිර්මාණය කිරීමට අමතරව, ආහාර, ඉන්ධන, දැව සහ ඖෂධීය මූලාශ්‍ර සැපයීම තුළින්ද  කඩොලාන වනාන්තර වෙරළාශ්‍රිත ප්‍රජාවන්ට මහත් සේ උපකාරී වෙයි. වෙරළාශ්‍රිත පවුරක් ලෙස ක්‍රියාකරමින් ස්වාභාවික ආපදාවන්හි බලපෑම් අවමකරන එය, වෙරළ ඛාදනය අවම කිරීමටද දායකවන අතර, පෝෂ්‍ය ද්‍රව්‍යය ප්‍රතිචක්‍රීකරණය කරමින් අවට පරිසර පද්ධතිද පෝෂණය කරයි. එමෙන්ම කඩොලාන පද්ධතිවල සුන්දරත්වය හේතුවෙන් සංචාරකයෝද ඒවා නැරඹීමට පැමිණෙති.

වසර 18 ක් පුරා SLT-MOBITEL වාර්ෂික දින දර්ශනය ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය හා සංස්කෘතිය හා සම්බන්ධ විවිධ තේමා නිරූපණයකර තිබේ. 2024 දින දර්ශනයද මෙම මෙහෙවර ඉදිරියට ගෙනයමින්, තිරසර අනාගතයක් වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳව අවධාරණය කරයි. මෙය ශ්‍රී ලංකාවේ වටිනා පරිසර පද්ධති එකතුවක් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගැනීමට ජනතාව පොළඹවන පියවරක් වනු නිසැක ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *