July 27, 2024
SLT-DIGITAL Services සහ Surge Global සමාගම් අතර ක්‍රමෝපායික හවුල්කාරීත්වයක්
පුවත්

SLT-DIGITAL Services සහ Surge Global සමාගම් අතර ක්‍රමෝපායික හවුල්කාරීත්වයක්

Oct 2, 2023

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL හි අලෙවිකරණ සේවා සහ ඩිජිටල් දායකත්ව විසඳුම් අංශයවන SLT-DIGITAL Services, ශ්‍රී ලාංකික තාක්ෂණික හා අලෙවිකරණ උපදේශක සමාගමක්වන Surge Global සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹී ඇත. දත්ත පදනම් කරගත් අලෙවිකරණය (Growth Marketing) ප්‍රවර්ධනය සහ ආයතනික මෘදුකාංග විසඳුම් නිර්මාණය එහි මූලික අරමුණ වී තිබේ.

මෙම හවුල්කාරීත්වය, ව්‍යාපාරවලට තම ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම් පූර්ණ වශයෙන් කළමනාකරණය කරගැනීමට මහෝපකාරී වනු ඇත. ඩිජිටල්  අවකාශ තුළ සන්නාම ජනප්‍රිය කරවීම සඳහා දත්ත මත පදනම් වූ ක්‍රමවේද අනුගමනය කිරීමට මගපෙන්වීම මෙහි මූලික අරමුණයි. මෙහිදී දේශීය දැනුම සහ ගෝලීය ප්‍රමිතීන් භාවිතා කිරීම තුළින් දේශීය හා ජාත්‍යන්තර අවකාශ ජයගැනීමටත්, තම පාරිභෝගිකයන්ට දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කිරීමටත් ව්‍යාපාරවලට හැකි වනු ඇත.

“අද දවසේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඉටුකරමින් දියුණුව කරා යාමේදී ව්‍යාපාරවලට නොයෙකුත් අභියෝගවලට මුහුණ දීමට සිදුවනවා. SLT-DIGITAL සහ Surge Global අතර මෙම හවුල්කාරීත්වය ඇතිකරගනු ලැබුවේ, ඩිජිටල් යුගය තුළ මහා පරිමාණ සමාගම්වලට නවීනතම ව්‍යාපාරික විසඳුම් සැපයීමේ අරමුණ පෙරදැරිවයි. මෙම පාරිභෝගිකයන්ගේ ඩිජිටල් පරිවර්තනය බලගන්වමින්, අන්තර්ජාල විසඳුම්වල සිට Growth Marketing සහ ව්‍යාපාරික මෘදුකාංග නිර්මාණය දක්වා පුළුල් පරාසයක පැතිරුණු විසඳුම් සැපයීමේ හැකියාව SLT-DIGITAL Services සතුයි. ගෝලීය තාක්ෂණය හා ක්‍රමෝපාය දේශීය සන්නාමයන් වෙත හඳුන්වා දෙමින්, දැනට සිටින සහ අනාගත පාරිභෝගිකයන් වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කිරීමට අපට හැකියාව තිබෙනවා.” SLT සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා පැවසී ය.

“වර්තමානයේ වේගයෙන් විකාශනයවන ඩිජිටල් තාක්ෂණික අවකාශය තුළ පාරිභෝගික අපේක්ෂා වඩාත් සංකීර්ණ වී තිබෙනවා. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ, තමන්ට වඩාත් හොඳින් ගැළපෙන සේවාවක් විවිධ ක්‍රමවේද ඔස්සේ අඛණ්ඩව තමන් වෙත හිමිවීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන් ඩිජිටල් පරිවර්තනයේ ආරම්භයේ සිටම මෘදුකාංග නිර්මාණය සහ නිෂ්පාදන ප්‍රති-ඉංජිනේරුකරණය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකිරීමට ව්‍යාපාරවලට සිදු වී තිබෙනවා. SLT-DIGITAL සහ Surge Global මෙලෙස අත්වැල් බැඳගත්තේ ඒ සඳහා පාරිභෝගිකයන්ට අත්වැලක් සපයමින්, ඔවුන්ගේ ආයෝජනවලට උපරිම ප්‍රතිලාභ ලබාදෙන විසඳුම් නිර්මාණය කිරීමටයි.” SLT-DIGITAL Services ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා පැවසී ය.

මීට අමතරව මෙම හවුල්කාරීත්වය, Design, Development, Analytics, Machine Learning, Artificial Intelligence, Content, Optimization සහ Media Distribution and Management වැනි අංශ රාශියක් එක්තැන් කරයි. මේ ඔස්සේ සන්නාමයක් ජනප්‍රිය කරවන අතරම ආදායම වැඩිදියුණු කරගනිමින්, ඩිජිටල් ක්‍රියාකාරකම් ඔස්සේ තම ආයෝජන සඳහා උපරිම ප්‍රතිලාභ ලබාගැනීමට ව්‍යාපාරවලට හැකියාව ලැබේ.

“මෙම හවුල්කාරීත්වය ඇතිකර ගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ ඔස්සේ දේශීය සන්නාමයන්ට ජාත්‍යන්තර තලයේ තාක්ෂණය සහ ක්‍රමෝපායන් හඳුන්වා දීමට හැකිවීම, අපගේ ඉදිරි ගමනේ නව පරිච්ඡේදයක් බවට පත් වේවි. SLT සමූහය සමග එක් වී මේ ආකාරයට දේශීය වෙළඳපොළ වෙත පිවිසීම තුළින්, සමූහයේ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීමට අපට හැකියාව ලැබෙනවා.” Surge Global නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී භානුක හරිස්චන්ද්‍ර මහතා පැවසී ය.

මෙම හවුල්කාරීත්වය SLT-DIGITAL හි මූලික අරමුණුවන, වෙබ් විසඳුම්, ඩිජිටල් අලෙවිකරණය සහ මෘදුකාංග නිර්මාණය වැනි අංශ ශක්තිමත් කරගැනීමේ උත්සාහය සමග සමපාත වේ. ආරම්භයේදී මේ ඔස්සේ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නගාසිටුවීමට කැපවුණු SLT-DIGITAL මේ වනවිට එම සීමාවෙන් ඔබ්බට ගමන් කිරීමට සූදානමින් සිටී.

මෙම ක්‍රමෝපායික හවුල්කාරීත්වය හරහා, ජාත්‍යන්තර තාක්ෂණ-ව්‍යවසායකයන් කණ්ඩායමක් සමග කටයුතු කිරීමට හැකි වීම, ආරම්භක සහ ව්‍යවසාය මට්ටමේ වේදිකා සඳහා නිෂ්පාදන බිහිකිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම හිමි වීම සහ මෘදුකාංග ඉංජිනේරුවන් 400කට අධික පිරිසක් සම්බන්ධ කරගෙන ව්‍යාපාර සඳහා නිෂ්පාදන සැලසුම් කිරීමට හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *