July 27, 2024
යතුරු පැදි ධාවන ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට මෙල්වා සමාගමෙන් රු. මිලියන 10ක අනුග්‍රාහකත්වයක්
පුවත්

යතුරු පැදි ධාවන ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට මෙල්වා සමාගමෙන් රු. මිලියන 10ක අනුග්‍රාහකත්වයක්

Oct 4, 2023

ශ්‍රී ලංකාවේ අංක එකේ වානේ කම්බි නිෂ්පාදකයා වන Melwa සමාගම ශ්‍රී ලංකාවේ යතුරු පැදි ධාවන තරග ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා සුවිශේෂ අනුග්‍රාහකත්වයක් දැක්වීමට කටයුතු කරයි. ඒ අනුව මීගමුවෙන් බිහි වූ යතුරු පැදි ධාවන ශූරයන් දෙදෙනෙකු වන ජනිත් සමීර අප්පුහාමි සහ කුෂාන් චමෝද් අප්පුහාමි වෙත ධාවන තරග සඳහා අවශ්‍ය අධිවේගී යතුරු පැදි සැපයීමට මෙල්වා සමාගම පියවර ගෙන ඇත. මෙල්වා සමාගම විසින් මෙම යතුරුපැදි ධාවන ශූරයන් දෙදෙනා වෙත ධාවන තරග සඳහා සපයනු ලබන්නේ ජපානයේ නිෂ්පාදිත හොණ්ඩා CBR 1000CC‚ හොණ්ඩා CBR 600CC සහ Kawasaki 600CC යන අධිවේගී යතුරුපැදි ත්‍රිත්වයයි. ශ්‍රී ලංකාවේ යතුරුපැදි ධාවන තරග සඳහාම ජපානයෙන් ආනයනය කරන ලද මෙම යතුරුපැදි තුනෙහි වටිනාකම රුපියල් මිලියන 10කට අධිකය.

මෙල්වා සමාගමේ පූර්ණ අනුග්‍රහය සහිතව යතුරුපැදි ධාවන තරගවලට සම්බන්ධ වන කුෂාන් චමෝද් සහ ජනිත් සමීර පසුගිය කාලයේදී ජයග්‍රහණ රැසක් අත් කර ගැනීමට සමත් වී තිබේ. කටුකුරුන්ද ධාවන පථයේ පැවැති තරගවලදී 600CC කාණ්ඩයේ ප්‍රථම ස්ථානය සහ 1000CC කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කුෂාන් චමෝද් සමත් වීම මේ අතරින් සුවිශේෂ වේ. මිහිරිගම ධාවන පථයේ පැවැති තරගයේදී 1000CC කාණ්ඩයේ පළමු වටයේ හා දෙවන වටයේ ප්‍රථම ස්ථාන දිනා ගැනීමට ඔහු සමත් විය. එළියකන්ද තරගාවලියේදීද 600CC කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ඔහුට හිමි විය. මිහිරිගම තරගාවලියේදී ජනිත් සමීර 600CC කාණ්ඩයේ පළමු වටයේ සිව්වන ස්ථානයත් දෙවන වටයේ තෙවන ස්ථානයත් දිනා ගත්තේය.  ශ්‍රී ලාංකේය තරුණයන් අතර යතුරු පැදි ධාවන ක්‍රීඩාව ජනප්‍රිය කිරීම සහ ජාත්‍යන්තර මට්ටමට යා හැකි තරුණ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා‌වෙන් බිහි කිරීම අරමුණු කර ගනිමින් මෙල්වා සමාගම මෙම අනුග්‍රාහකත්ව පිරිනමා ඇත. ව්‍යාපාර අරමුණුවලින් බැහැරට යමින් සිය ආයතනික සමාජ මෙහෙවර මනාව හඳුනා ගනිමින් මෙල්වා සමාගම නිරන්තරයෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සඳහා සිය පූර්ණ අනුග්‍රාහකත්වය සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *