July 27, 2024
වෙරළ සංරක්ෂණය අරමුණු කරගනිමින්  අලියාන්ස් ලංකා සහ Pearl Protectors සංවිධානය අත්වැල් බැඳගනියි
පුවත්

වෙරළ සංරක්ෂණය අරමුණු කරගනිමින්  අලියාන්ස් ලංකා සහ Pearl Protectors සංවිධානය අත්වැල් බැඳගනියි

Sep 23, 2023

පාරිසරික භාරකාරත්වය සහ සංස්ථාපිත වගකීම සම්බන්ධයෙන් ආදර්ශයක් ලබා දෙමින් කටයුතු කරන අලියාන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ස්වභාවික සුන්දරත්වය නැවත ස්ථාපිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන  Pearl Protectors සංවිධානය සමඟ, ‘Shore Love’ යනුවෙන් වෙරළ තීරය සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා  අත්වැල් බැඳ ගැනීම පසු ගිය දා සිදු කෙරුණි. ඒ අනුව සෑම වසරකම සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා දිනට යෙදෙන “ලෝක පිරිසිදු කිරීමේ දිනය (World Clean-up Day)” වෙනුවෙන් අලියාන්ස් ලංකා සමාගම දෙහිවල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කළ අතර, ඒ සඳහා අලියාන්ස් සාමාජිකයින් 100දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි විය.

මෙම සුවිශේෂී වැඩසටහන මඟින් පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් අලියාන්ස් ලංකා සමාගමේ කැපවීම පිළිබිඹු කෙරෙන අතර, අලියාන්ස් ලංකා කණ්ඩායම විසින්, Pearl Protectors සංවිධානයේ  සහයෝගය ඇති ව, දෙහිවල වෙරළ තීරයේ තිබූ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍ය ඉවත් කරමින්, එය පිරිසිදු මෙන්ම සෞඛ්‍යාරක්ෂිත අවකාශයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරන ලදී.

අලියාන්ස් ලංකා සමාගමේ අලෙවි කළමනාකරණ අංශ ප්‍රධානී කසුන් යටවර මහතා මෙම වැඩසටහන පිළිබඳ ව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, “ජීවිතයේ බොහෝ වටිනා දෑ ආරක්ෂා කරන අතරම, අපගේ පරිසරය සහ පෘතුවිය ආරක්ෂා කිරීමට කටයුතු කිරීමද අමතක නොකළ යුතුය. මෙම වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව මම විශ්වාස කරනවා. ඒ වගේම වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම, එහි පැමිණෙන සියලු ම දෙනාගේ වගකීමක්. අප පරිසරය ජීවත් වීමට යහපත් තැනක් බවට පත් කිරීම අප කාගේත් යුතු කමක්. අලියාන්ස් ලංකා කණ්ඩායම Pearl Protectors සංවිධානය සමඟ එක් වී දියත් කළ මෙම වැඩසටහන සැබවින්ම ප්‍රශංසනීයයි.” යනුවෙනි.

පාරිසරික සුරක්ෂිතතාව පිළිබඳ ව අවධානය යොමු කළ යුතු ම වර්තමානයේ අලියාන්ස් ලංකා සමාගම දියත් කළ මෙම වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන තිරසාරත්වය පිළිබඳ එම සමාගමේ කැපවීම පිළිබිඹු කරයි. සම්ප්‍රදායික වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහනකින් ඔබ්බට යමින්, පරිසරය සුරැකීම වෙනුවෙන් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණක් වූ අතර, ව්‍යාපාරික අරමුණුවලින් බැහැරව අලියාන්ස් ලංකා සමාගම  Pearl Protectors සංවිධානය සමඟ එක් වී දියත් කළ මෙම වැඩසටහන ස්වාභාවික උරුමයන් සුරැකීම සඳහා ව්‍යාපාරික ආයතනවලට ඉටු කළ හැකි භූමිකාව පිළිබඳ හොඳම නිදසුනකි.

Allianz Insurance Lanka Ltd සහ Allianz Life Insurance Lanka Ltd යන සමාගම් ද්විත්වයේ එකතුව අලියාන්ස් ලංකා නමින් හැඳින්වෙන අතර, එය ජර්මනියේ මියුනික් නගරය මූලස්ථානය කරගනිමින්, රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ව්‍යාපාර සඳහා ප්‍රධාන වශයෙන් සේවා සපයන අලියාන්ස් SE හි පූර්ණ අනුබද්ධිත සමාගම් සමූහයකි. අලියාන්ස්  සමූහය සතු ප්‍රාග්ධන ශක්තිය සහ ව්‍යාපාරික විශේෂඥතාව එහි සාර්ථකත්වයට ප්‍රබල ලෙස හේතු වී ඇති අතර, සිය ගුණාත්මක සේවා සහ  නවෝත්පාදන හරහා පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන විසඳුම් ලබා දීමට අලියාන්ස් සමාගම කැප වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *