July 27, 2024
සෙලාන් බැංකුව 2023 ප්‍රථම අර්ධය තුළ කැපීපෙනෙන ලාභයක් සහ වර්ධනයක් වාර්තා කරයි
පුවත්

සෙලාන් බැංකුව 2023 ප්‍රථම අර්ධය තුළ කැපීපෙනෙන ලාභයක් සහ වර්ධනයක් වාර්තා කරයි

Aug 30, 2023

සෙලාන් බැංකුව, අභියෝගකාරී වෙළඳපොළ තත්ත්ව හමුවේ පවා විශිෂ්ට සාර්ථකත්වයක් පෙන්නුම් කරමින්, 2023 වර්ෂයේ පළමු මාස 6 තුළ රු. බිලියන 4.2 ක බදු-පෙර ලාභයක් (PBT) වාර්තා කරගැනීමට සමත් වී ඇත. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 104.65% ක වර්ධනයකි. මීට අමතරව මෙම කාලසීමාව තුළ රු. බිලියන 2.6 ක බදු-පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සෙලාන් බැංකුවට හැකි වී ඇති අතර, මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 71.29% ක වර්ධනයකි.

විශිෂ්ටත්වය සහ තිරසර වර්ධනය සඳහා සෙලාන් බැංකුව දක්වන කැපවීම, ශක්තිමත් මුල්‍ය කාර්යසාධනය මගින් මනාව පිළිබිඹු වේ. අනාගත වර්ධනය සඳහා අවශ්‍ය වන ප්‍රාග්ධනය සහ ප්‍රමාණවත් ආරක්ෂිත සීමාවන් සහිත යහපත් ද්‍රවශීලතා මට්ටමක්  බැංකුව මගින් පවත්වාගෙන ගොස් ඇත.

2023 ප්‍රථම අර්ධයේදී සෙලාන් බැංකුවේ සමස්ත ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය 32.30% ක් වූ අතර, එමගින් ව්‍යවස්ථාපිත අවශ්‍යතා සීමාවන් ඉක්මවා යමින්, සාර්ථක ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට හැකි විය. එමෙන්ම, ශක්තිමත් මුල්‍ය පදනමක් පවත්වාගෙන යාම සඳහා දක්වන කැපවීම නිරූපණය කරමින්, ඉතා යහපත් ප්‍රාග්ධන මට්ටමක් පවත්වා ගැනීමට සෙලාන් බැංකුව සමත් වූ අතර, 2023 ප්‍රථම අර්ධයේ බැංකුවේ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය 15.51% ක් විය.  බැංකුවේ පොදු හිමිකම් පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය 11.85% ක් වූ අතර, එය බැංකුවේ විචක්ෂණශීලී ප්‍රවේශයට සාක්ෂි දරයි.

සෙලාන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම 21.47% කින් වර්ධනය වී රු. බිලියන 20.5 ක් ලෙස සටහන් වන අතර, ශුද්ධ පොලී ආන්තිකය 6% ක් වැනි ස්ථාවර අගයක පවතී. බැංකුවේ ශුද්ධ ගාස්තු පදනම්කර ගත් ආදායම ද 26.72% වැනි ඉහළ ප්‍රතිශතයකින් වර්ධනය වී රු. බිලියන 3.5 ක් ලෙස වාර්තා වී තිබේ. ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධ ආදායම, ඇපකර වෙනුවෙන් ලැබෙන කොමිස් මුදල් සහ  ප්‍රේෂණ ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.  

2023 වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ සෙලාන් බැංකුවේ මෙහෙයුම් ආදායම 13.31% ක් වැනි කැපීපෙනෙන මට්ටමකින් වර්ධනය වී, රු. බිලියන 24.6 ක් ලෙස සටහන් වී තිබේ. ශුද්ධ පොලී ආදායම සහ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් සෙලාන් බැංකුව ක්‍රමෝපායික අවධානයක් යොමුකිරීම ඇතුළු සාධක මීට බලපා ඇත.

විදේශ විනිමය හුවමාරු අනුපාතවල සිදු වූ වෙනස්කම් නිසා ඇතැම් ආදායම් කාණ්ඩවල අඩුවීමක් පෙන්නුම් කළද, සිය වියදම් ව්‍යුහය ප්‍රශස්තකරණය කිරීම සඳහා සෙලාන් බැංකුව අඛණ්ඩව කටයුතු කළේ ය. සේවක ප්‍රතිලාභ ඉහළ නැංවීම සහ ආර්ථික වාතාවරණයෙහි සිදු වූ වෙනස්කම්වලට අනුගත වීමට සිදු වීම වැනි සාධක හේතුවෙන් බැංකුවේ සමස්ත පිරිවැය 25.88% කින් ඉහළ ගොස් තිබේ. මෙම අභියෝග හමුවේ වුවද වියදම් අවම කිරීම සඳහා විවිධ ක්‍රමෝපායන් ක්‍රියාවට නංවමින් මෙහෙයුම් විශිෂ්ටත්වය පවත්වා ගැනීමට බැංකුවට හැකියාව ලැබිණි.

ණය හා අනෙකුත් හානිකරණ අලාභයන් සාර්ථක ලෙස කළමනාකරණය කිරීමට හැකි වීම නිසා එම අගය පෙර වසරට සාපේක්ෂව 15.88% කින් පහළ ගොස් ඇත. ගෝලීය සහ දේශීය ආර්ථිකයන්හි සිදු වූ වෙනස්කම්, පාරිභෝගික ණය අවදානම් ආකෘතිය හා ණය කළඹේ ගුණාත්මකභාවය සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන පවත්වා ගැනීමට බැංකුව දැරූ කැපවීම සහ පුළුල් ප්‍රතිසාධන ව්‍යුහය ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

රජයේ ආදායම වෙනුවෙන් දක්වා ඇති දායකත්වයද, වගකීම් සහගත ව්‍යාපාර ක්‍රමවේදයන් අනුව කටයුතු කිරීමට සෙලාන් බැංකුව දක්වන කැපවීමට සාක්ෂි දරයි. ඉහළ ලාභයන් සහ ආයතනික බදු අනුපාතයන් හේතුවෙන් ආදායම් බදු වියදම් 200% කින් ඉහළ ගොස් තිබේ. මීට අමතරව, සෙලාන් බැංකුව සක්‍රීය ලෙස සමාජ වගකීම් වැඩසටහන්වල නිරත වෙමින්, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සහ  එකතුකළ අගය මත බද්ද සඳහාද සක්‍රීයව දායක විය.  

2023 ජූනි 30 දින වන විට සෙලාන් බැංකුවේ වත්කම් වල මුළු වටිනාකම රු. බිලියන 689 ක් වූ අතර, එය බැංකුවේ ශක්තිමත් මූල්‍ය තත්ත්වයට සාක්ෂි දරයි. ණය හා අත්තිකාරම්වල වටිනාකම රු. බිලියන 421 ක් වූ අතර, තැන්පතුවල වටිනාකම සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 549 ක් ලෙස වාර්තා වී ඇත.

මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ හිමිකම් මත ප්‍රතිලාභය 9.22% ක් වූ අතර, සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (බදු-පෙර ලාභය) 1.23% කි. සමස්ත බැංකුව, බැංකුවේ දේශීය බැංකුකරණ ඒකකය සහ විදේශ මුදල් බැංකුකරණ ඒකකය සඳහා ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතයන්, 2023 ජූනි 30 දින වනවිට පිළිවෙළින්  32.30%, 32.13% සහ 25.22% ක් ලෙස වාර්තා වී තිබේ.

පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ රු. 2.44 ක් වූ සෙලාන් බැංකුවේ කොටසක් සඳහා ඉපැයුම, 2023 වසරේ ප්‍රථම අර්ධය තුළ රු. 4.18 ක් දක්වා ඉහළ ගොස් තිබීම, සෙලාන් බැංකුවේ ස්ථාවර කාර්යසාධනයට තවත් සාක්ෂියකි.

නව නායකත්වය යටතේ, ප්‍රතිසාධනය කෙරෙහි අවධානය යොමු කිරීම, ඩිජිටල් සේවාවන් ශක්තිමත් කිරීම සහ පසුපෙළ ක්‍රියාවලීන් විධිමත් කිරීම තුළින් අනාගත වර්ධන අවස්ථා ග්‍රහණය කරගනිමින්, ලාභදායීත්වය ඉහළ නංවා ගැනීමට සෙලාන් බැංකුව සූදානමින් සිටී. නිවැරදි ඉලක්ක ඔස්සේ අපේක්ෂිත ඉලක්ක ළඟා කරගනිමින්, ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින්, පිරිවැය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගනිමින් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වර්ධනය කරගනිමින්, තමන් සතු වෙළඳපොළ ආවරණය තවදුරටත් පුළුල් කරගැනීම සෙලාන් බැංකුවේ අරමුණ වී තිබේ.

1 Comment

  • I am glad to be one of several visitors on this great website (:, appreciate it for posting.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *