SDB බැංකුවේ ප්රධාන විධායක නිලධාරී ලෙස මනෝජ් අක්මීමන මහතා පත් කෙරේ
SDB බැංකුවේ ප්රධාන විධායක නිලධාරී ලෙස බැංකු ක්ෂේත්රයේ ප්රවීණයකු වන මනෝජ් අක්මීමන මහතා පත් කළ බව බැංකුව නිවේදනය කර ඇත. වසර 35කට අධික මූල්ය ක්ෂේත්රයේ අත්දැකීම් සහිත ඒ මහතා, බැංකුවේ උපායමාර්ගික වර්ධනය හා ඩිජිටල් පරිවර්තනය මෙහෙයවමින් දිවයින පුරා ක්ෂුද්ර, සුළු හා මධ්ය පරිමාණ ව්යවසායන් (MSME) සවිබල ගැන්වීමේ SDB බැංකුවේ මූලික මෙහෙවර තවදුරටත් වර්ධනය කිරීම ඔහුගේ අරමුණයි.
අක්මීමන මහතා ආයතනික, සුළු හා මධ්ය පරිමාණ බැංකුකරණ සහ සිල්ලර බැංකුකරණය, උපායමාර්ගික සැලසුම්කරණය, ශාඛා මෙහෙයුම්, ණය පරිපාලනය මෙන්ම ණය අයකර ගැනීම් ඇතුළු මූල්ය සේවා ක්ෂේත්රයේ පුළුල් අත්දැකීම් සම්භාරයකින් සමන්විත ප්රවීණයෙකි. SDB බැංකුවේ විධායක නායකත්වයට එක්වීමට පෙර, ඔහු සම්පත් බැංකුවේ ජ්යෙෂ්ඨ විධායක තනතුරු රැසක් හොබවමින් සුවිශේෂී වෘත්තීය ගමන්මඟක් සනිටුහන් කර ඇත.
සම්පත් බැංකුවේ ණය පාලන, ණය පරිපාලන, ණය අයකර ගැනීම් සහ නීති අංශයන්හි ජ්යෙෂ්ඨ නියෝජ්ය සාමාන්යාධිකාරී ලෙස කටයුතු කළ සමයේදී, අභියෝගාත්මක ණය කළඹ උපායමාර්ගිකව කළමනාකරණය කිරීම, අර්බුදයට ලක්වූ ව්යාපාර යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම ණය ප්රතිව්යුහගත කිරීම සහ නීතිමය අයකර ගැනීම් සඳහා වන පද්ධති අධීක්ෂණය කිරීම ඔහුගේ ප්රධාන වගකීම් අතර විය.
මීට පෙර FCBU සහ ආයතනික මූල්යකරණ හි ජ්යෙෂ්ඨ නියෝජ්ය සාමාන්යාධිකාරී, ප්රධාන උපායමාර්ග නිලධාරී සහ ශාඛා බැංකුකරණය පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී ඇතුළු විධායක තනතුරු හොබවා ඇති ඔහු, ආයතනික මූල්යකරණ උපකරණ, විදේශීය ණය පහසුකම්, පුනර්ජනනීය බලශක්ති මූල්යකරණය, සින්ඩිකේටඩ් ණය පහසුකම්, ශාඛා ජාලය සහ අඩු පිරිවැය තැන්පතු වර්ධනය කිරීමේ වැඩසටහන් රැසක් අධීක්ෂණය කර ඇත. එමෙන්ම, බැංකුවේ අනුබද්ධ ආයතන තුළ සමතුලිත ලකුණු පුවරුව (Balanced Scorecard) වැනි උපායමාර්ගික කළමනාකරණ රාමු ක්රියාත්මක කිරීමට ද ඔහු දායක වී ඇත.
Commercial Bank of Qatar හි අනුමත කිරීමේ අංශ ප්රධානී (Head of Authorisation) ලෙස ප්රධාන ජාත්යන්තර කාඩ්පත් යෝජනා ක්රමවල මෙහෙයුම් මෙහෙයවමින් ජාත්යන්තර මූල්ය ක්ෂේත්රයේ ද සුවිශේෂී අත්දැකීම් ලැබීමට ඔහු සමත්ව ඇත.
ඔහුගේ වෘත්තීය දිවිය පුරා ප්රධාන අධ්යක්ෂ මණ්ඩලය (Main Board), වත්කම් සහ වගකීම් කළමනාකරණ කමිටුව (ALCO), ණය ප්රතිපත්ති සහ අවදානම් සමාලෝචන කමිටුව (Credit Policy and Risk Review Committee) සහ ආයෝජන කමිටුව (Investment Committee) ඇතුළු ප්රමුඛ ආයතනික පාලන මණ්ඩල හා කමිටුවල සාමාජිකයෙකු ලෙස ද ඔහු කටයුතු කර ඇත.
අක්මීමන මහතාගේ මූල්ය ක්ෂේත්රයේ නායකත්ව පළපුරුද්ද, ඔහුගේ උසස් අධ්යාපනික හා වෘත්තීය සුදුසුකම් පදනම මඟින් තවදුරටත් තහවුරු වේ. කොළඹ 07, රාජකීය විද්යාලයේ ආදි ශිෂ්යයෙකු වන ඔහු ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයෙන් ව්යාපාර පරිපාලනය පිළිබඳ විද්යාවේදී විශේෂ උපාධියක් ලබා ඇති අතර, පසුව පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි කළමනාකරණ උපාධියක් (MBA) ලබා ඇත.
අඛණ්ඩ අධ්යාපනය සහ වෘත්තීය සංවර්ධනය සඳහා කැපවී සිටින වෘත්තිකයෙකු වන ඔහු, ශ්රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ජ්යෙෂ්ඨ සාමාජික (Senior Fellow Member) සහ සහකාර සාමාජික (Associate) යන සාමාජිකත්වයන් හිමිකරගෙන සිටී. එමෙන්ම, එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනය (Chartered Institute of Marketing – CIM) වෙතින් වරලත් අලෙවිකරු (Chartered Marketer) තනතුර සහ වෘත්තීය පශ්චාත් උපාධි ඩිප්ලෝමා (Professional Postgraduate Diploma) සුදුසුකම ද, Institute of Certified Management Accountants (UK/Australia) හි සහකාර සාමාජික (Associate Member) සාමාජිකත්වය ද ඔහු සතුය.
මීට අමතරව, බැංකු කළමනාකරණය (Bank Management) සහ ණය කළමනාකරණය (Credit Management) පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා සුදුසුකම් හිමිකරගෙන ඇති ඔහු, එක්සත් රාජධානියේ කේම්බ්රිජ් විශ්වවිද්යාලය මගින් පිරිනමන Cambridge International Diploma in Management සුදුසුකම ද උපායමාර්ගික සැලසුම්කරණය (Strategic Planning) පිළිබඳ කුසලතා සාමාර්ථයක් (Merit Pass) සහිතව සම්පූර්ණ කර ඇත.
ආයතනික නායකත්වයෙන් ඔබ්බට යමින්, අක්මීමන මහතා ප්රකාශිත කෘති රචකයෙකු මෙන්ම ජාතික ආර්ථික සංවාදයට දායක වන ලේඛකයෙකු ද වේ. 2024 සැප්තැම්බර් මාසයේදී ඔහු බැංකු වෘත්තිකයන් සහ ශාස්ත්රඥයන් සඳහා මාර්ගෝපදේශක ග්රන්ථයක් ලෙස “LENDING: Concepts, Theory & Practice” නම් පෙළපොත රචනා කර ප්රකාශයට පත් කළේය. මීට අමතරව, ආයතනික පාලනය, පොලී අනුපාත පරතරයන්, සාර්ව ආර්ථික ප්රතිසංස්කරණ සහ ආර්ථික පිරමීඩයේ පහළම මට්ටමේ මූල්ය ඇතුළත්කරණය පිළිබඳ පර්යේෂණ පත්රිකා සහ ලිපි රැසක් ද ඔහු විසින් රචනා කර ඇත.
ආයතනික ණය සේවා, SME ව්යාපාර වර්ධනය, උපායමාර්ගික සැලසුම්කරණය සහ අවදානම් කළමනාකරණය පිළිබඳ ඔහු සතු විශේෂඥතාව, තිරසර සංවර්ධනය, ගනුදෙනුකරුවන් කේන්ද්ර කරගත් නවෝත්පාදනය සහ දිවයින පුරා ආර්ථික ප්රගතිය සඳහා SDB බැංකුව දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වනු ඇත.

