July 27, 2024
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන අටක්
පුවත්

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන අටක්

Jan 21, 2024

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සිය මානව සම්පතෙහි දැනුම, ආකල්ප හා කුසලතා වැඩි දියුණු කරනු පිණිස දිවයින පුරා පුහුණු මධ්‍යාස්ථාන විවෘත කිරීමේ ක්‍රියාන්විතයක් අරඹයි. එහි පළමුවැන්න අනුරාධපුරයේදී ඇරඹූ අතර එවැනි මධ්‍යස්ථාන 8ක් දිවයින පුරා ඇරඹීමට සැළසුම් කර ඇත. අනුරාධපුර පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සණස නායක විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය, අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික කිරිවන්දෙණිය, සභාපති ආචාර්ය එච්. ජේ. එස්. කේ. වික්‍රමරත්න, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරි අයිවන් නිකලස්, ප්‍රධාන ව්‍යාපාර නිලධාරි කෙනඩි ජේ. මයිකල් යන මහත්වරුන් ඇතුළු ආයතනයේ ඉහළ කළමනාකාරිත්වයේ පිරිසක් සහභාගි වී සිටියහ.

මෙහිදි අදහස් දක්වමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරි අයිවන් නිකලස් මහතා මෙසේ පැවසීය. “මෙය රක්ෂණ ක්ෂේත්‍රයේ ජයග්‍රාහී කඩඉමක්. ආයතනයේ සේවයේ යෙදෙන නිලධාරින්ට පමණක් නොව ආයතනයේ නොවන පුද්ගලයන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා වැඩි දියුණු කිරීමටත් මෙම පුහුණු මධ්‍යස්ථානය තුළින් ක්‍රමවේදයක් ඉදිරියේදී සැකසීමට සැළසුම් කරනවා. ආයතනයේ මූලික ව්‍යාපාර මූලය වන සණස සමිති අතර තිබෙන සබඳතාව මේ තුළින් තව දුරටත් වැඩි දියුණු කිරීමටත් බලාපොරොත්තු වනවා.” තාක්ෂණික ක්‍රමවේදවලින් සපිරි, වායුසමීකරණ පහසුකම් හා එක වර 50කට පමණ අසුන් ගැනීමට හැකියාව ඇති සියලුම පහසුකම්වලින් අනූන මධ්‍යස්ථානයක් වශයෙන් මෙය ඇරඹුණු අතර ආයතනයේ ආධුනික සේවක මණ්ඩලයේ මෙන්ම නිලධාරින්ගේ දැනුම, ආකල්ප, කුසලතා, නායකත්ව හැකියාව, කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව, පෞරුෂත්වය, විනය වැඩි දියුණු කිරීම මෙම මධ්‍යස්ථාන ඇරඹීමේ ප්‍රධාන අරමුණකි. මෙහි විශේෂත්වය වන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ සණස අධ්‍යාපන මණ්ඩපය සමඟ කටයුතු කරන එකම රක්ෂණ සමාගම ලෙස, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සණස අධ්‍යාපන මණ්ඩපය පවත්වන උපාධි, ඩිප්ලෝමා හා සහතිකපත් පාඨමාලා සඳහා මෙම පුහුණු මධ්‍යස්ථානවලින් පුහුණු ලබන්නන් යොමු කිරීමයි. බාහිරව පුහුණුව සඳහා සහභාගි වන අයට සණස අධ්‍යාපන මණ්ඩපය සහතික පත්‍රයක්ද පිරිනමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *