July 27, 2024
Prime Lands Residencies සමාගම TAGS Awards 2023 හිදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
පුවත්

Prime Lands Residencies සමාගම TAGS Awards 2023 හිදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

Dec 20, 2023

Prime Lands Residencies PLC පසුගියදා පැවති TAGS Awards 2023 හිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙලේදී ඉඩම් හා දේපළ සමාගම් කාණ්ඩයේ සහ නැගී එන ලැයිස්තුගත සමාගම් කාණ්ඩයේ රිදී සම්මාන හිමිකර ගැනීමට එම සමාගමට හැකියාව ලැබිණි.

TAGS (Transparency, Accountability, Governance, and Sustainability) සම්මාන වැඩසටහන යනු, වසර 57 කට අධික ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සංවිධානයකරන වාර්ෂික වාර්තා තරගයකි. වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත්කරන සමාගම්වල මුල්‍ය, පාරිසරික, සමාජයීය, හා ආයතනික පාලන වාර්තාකරණයේ මූලික වටිනාකම් මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වේ.

‘Empowering Sustainable Growth’ යන මෙවර තේමාවට සමගාමීව ප්‍රශංසනීය කාර්ය සාධනයක් වාර්තා කිරීමට Prime Lands Residencies සමාගම සමත් වී ඇත. විනිවිදභාවය, වගවීම, ආයතනික පාලනය හා තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම හේතුවෙන් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත්වීමට සමාගමට හැකියාව ලැබී තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන කළමනාකරු අලෙහන්ද්‍රෝ අල්වාරෙස් දෙ ලා කම්පා මහතා සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වැඩබලන නවසීලන්ත මහ කොමසාරිස් ඇන්ඩෘ ට්‍රැවලර් යන මහත්වරු මෙම සම්මාන උළෙලේ ගරු ආරාධිතයන් ලෙස සහභාගී වූහ.

එමෙන්ම TAGS Awards 2023 අවසන් වටයේ විනිශ්චය මණ්ඩලයේ සභාපතිනී සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනී නෙලුමනි දවුලගොඩ, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති ඩිල්ශාන් වීරසේකර, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති සංජය බණ්ඩාර, එම ආයතනයේ උප සභාපති හේෂණ කුරුප්පු, 2023 TAGS Awards කමිටුවේ සභාපති තිවංක ජයසිංහ, එම කමිටුවේ විකල්ප සභාපතිනී චමිලා කුරේ සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරිනී ලක්මාලි ප්‍රියංගිකා යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්වූහ.

ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සම-සභාපතිවරුන්වන බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා සහ සඳමිණි පෙරේරා මහත්මිය මෙම ජයග්‍රහණ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූහ. “TAGS යනු මුල්‍ය, පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන වාර්තාකරණයේ අවංකභාවය ආරක්ෂාකරන සහ ශක්තිමත්කරන වැඩසටහනක්. එම කරුණු සියල්ලම අපගේ ආයතනික පාලන ක්‍රමවේදයන්හි ප්‍රධාන අංගවන බැවින් එකී වටිනාකම් ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ වටිනාකම් සමග මැනවින් සමපාත වනවා. විනිවිදභාවය හා තිරසාරත්වය වෙනුවෙන් අප තුළ ඇති කැපවීම ඇගයීමට ලක්කරන මෙම සම්මාන හිමි වීම අපට මහත් සතුටක්.”

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වී ඇති ආර්ථික අභියෝග හමුවේ පවා විශිෂ්ට වර්ධනයක් වාර්තා කරගැනීමට ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සමත් වී තිබේ. පෙර වසරට සාපේක්ෂව 108% ක වර්ධනයක් සමගින්, 2022/23 මුල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 19.8 ක ආදායමක් වාර්තා කිරීමට එම සමූහය සමත් වී ඇත. විශේෂයෙන්ම Prime Lands Residencies PLC සමාගමේ බදු පෙර ලාභය රු. මිලියන 3,979 ක් වූ අතර, බදු-පසු ලාභය රු. මිලියන 3,351 ක් විය.

“මේ විශිෂ්ට සාර්ථකත්වය ළඟා කරගැනීම සඳහා ඉමහත් කැපවීමෙන් යුතුව කටයුතු කළ අපගේ සියලුම සාමාජික සාමාජිකාවන්ට අපගේ ස්තූතිය හිමි විය යුතුයි. ඔවුන්ගේ ඒ කැපවීම නිසා ආර්ථික අභියෝග හමුවේ වුවද අඛණ්ඩව ඉදිරියට යමින්, තිරසාර වර්ධනයකට දායක වීමට අපට හැකියාව ලැබුණා.” බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා සහ සඳමිණි පෙරේරා මහත්මිය වැඩිදුරටත් පැවසූහ.

විශිෂ්ට කාර්යසාධනයක් වාර්තා කරගැනීම මෙන්ම, මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස විනිවිදභාවය, වගවීම, ආයතනික පාලනය හා තිරසාරත්වය යන ගුණාංග ආරක්ෂා කරගනිමින් ආදර්ශමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් Prime Lands Residencies PLC සමාගමේ මෙම සම්මාන උළෙලේදී මෙලෙස ඇගයීමට ලක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *