February 21, 2024
වලයාකාර පත‍්‍ර පුල්ලි රෝගය රබර් වගාවට විශාල තර්ජනයක් බව පාර්ශවකරුවන් පවසයි
පුවත් අලූත් යමක්

වලයාකාර පත‍්‍ර පුල්ලි රෝගය රබර් වගාවට විශාල තර්ජනයක් බව පාර්ශවකරුවන් පවසයි

Dec 11, 2023

ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇති වලයාකාර පත‍්‍ර පුල්ලි රෝගය (Pesta Circular Leaf Spot disease) පැතිරීම වැළැක්වීමට විසඳුම් සෙවීම සඳහා දේශීය හා කලාපීය පාර්ශවකරුවන් අතර කඩිනම් හා පුළුල් සහයෝගීතාවක් ඇති කරන ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ඉල්ලා සිටී.

මෙම දිලීර රෝගය පළමු වරට වාර්තා වූ 2019 වසරේ සිට කලාපීය වැවිලි සමාගම් (RPCs) සහ ශ‍්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය (RRISL) එක්ව මීට පිළියම් යෙදීමට කටයුතු කළද, මෙරට රබර් නිෂ්පාදනය අඛණ්ඩව පහත වැටී ඇත.

මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් පසුගිය වසර 5 තුළ රබර් නිෂ්පාදනය 14% කින් පහත වැටී ඇති අතර එය මෙරට ප‍්‍රධාන අපනයන බෝගයක් වන රබර් සඳහා වැඩිවන ඉල්ලූම සපුරාලීමට ශ‍්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව බරපතල කනස්සල්ලට හේතු වී තිබේ. එමෙන්ම මෙම දිලීර රෝගයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ප‍්‍රදේශවල රබර් කිරි නිෂ්පාදනය 30% කින් පමණ පහත වැටී ඇත.

මේ වන විට මෙරට රබර් නිෂ්පාදනය 2021 සිට 2022 දක්වා පමණක් මෙටි‍්‍රක් ටොන් 6,000 කින් පමණ පහත වැටී ඇති අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 12 ක පමණ අලාභයක් සිදුවී ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. සෘජුවම අහිමි වන ආදායමට අමතරව රබර් නිෂ්පාදනයේ පහත වැටීම රබර් ආශ‍්‍රිත නිෂ්පාදන කරනු ලබන නිෂ්පාදකයින්ට සැලකිය යුතු අභියෝගයක් එල්ල කර තිබේ. මෙහිදී ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය රබර් කිරි ආනයනය කිරීමට ඔවුන්ට සිදුව ඇති අතර එමඟින් නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් PA සභාපති සේනක අලවත්තේගම මහතා පැවසුවේ ‘‘මේ වසරේදී ශ‍්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනය කිලෝග‍්‍රෑම් මිලියන 60ක් පමණ වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. රබර් කර්මාන්තයට දැඩි ලෙස බලපානු ලබන මෙම තර්ජනවලට විසඳුම් සෙවීමට කඩිනම් ක‍්‍රියාමාර්ග අවශ්‍යයි. එම ක‍්‍රියාමාර්ගවලට මෙම රෝගය පැතිරීම වළක්වා ගැනීමට අඛණ්ඩව සිදු කරනු ලබන පර්යේෂණ ද ඇතුළත් වනවා. මෙම අභියෝගවලට මුහුණ දෙන්නේ ශ‍්‍රී ලංකාව පමණක් නොවේ. වඩාත් ඵලදායි සහ කල්පවත්නා විසඳුම් සැකසීම සඳහා රබර් කර්මාන්තයේ නියැලී සිටින ගෝලීය සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අපගේ අරමුණයි. ඒවගේම රබර් කර්මාන්තයේ දියුණුව සඳහා වන වැදගත් ප‍්‍රතිසංස්කරණ ඇතුලත් උපායමාර්ගික සැලසුමක් සහ රබර් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ජීව විද්‍යාත්මක හා යාන්ත‍්‍රික ක‍්‍රමවේද පිළිබඳ පර්යේෂණ සඳහා වැඩි සහයෝගයක් ලබා දෙන ලෙස ද අපි ඉල්ලා සිටිනවා.’’ යනුවෙනි.

දිලීර කාරකයක් නිසා ඇති වන මෙම රෝගය හේතුවෙන් රබර් වගාවන්හි කොළ හැලීම සිදු වේ. මෙය ශාකයේ වියන අඩු කිරීමට හේතු වන අතර පත‍්‍ර ප‍්‍රදේශයට සහ රබර් කිරි නිෂ්පාදනයට ද බලපානු ලබයි. මෙම රෝගය පළමු වරට 1987 දී මැලේසියාවෙන් වාර්තා වූ අතර නැවතත් 2003 දී මේ පිළිබඳව අසන්නට ලැබුණි. පසුව මෙම රෝගය විවිධ රටවලට ව්‍යාප්ත වූ අතර ශ්‍රී ලංකාවෙන් මෙම රෝගය පිළිබඳව අසන්නට ලැබෙන්නේ 2019 ජූලි මාසයේදී ය.

වලයාකාර පත‍්‍ර පුල්ලි රෝගය හේතුවෙන් 2019 වසර අවසන් වන විට කළුතර, රත්නපුර සහ ගාල්ල දිස්ත‍්‍රික්කවල හෙක්ටයාර 10,000කට පමණ බලපෑම් එල්ල විය. මෙම රෝගය හරියාකාරව කළමනාකරණය කිරීමට නම් නිවැරදි දිලීර නාශක යෙදීම අවශ්‍ය වේ RRISL විසින් මෙම රෝගය කළමනාකරණය කිරීම සඳහා අතුරු නිර්දේශ ලබා දී තිබුණි.

විශේෂයෙන්ම රජය හා RRISL විසින් පිහිටුවන ලද කාර්යසාධක බලකායේ හා උපදේශක කාරක සභාවේ කොටසක් වන PA හි සාමාජිකයින් මෙම රෝගයට විසඳුම් සෙවීමට දරන ප‍්‍රයත්නයන්ට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් කලාපීය වැවිලි සමාගම් (RPCs) සහ කුඩා රබර් වතු හිමියන් සඳහා කල්පවත්නා විසඳුම් සොයන බවත් අලවත්තේගම මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.

RRISL වැඩබලන අධ්‍යක්ෂ, ආචාර්ය සුසන්ත සිරිවර්ධන මහතා සඳහන් කළේ, පෙස්ටා කොළ වැටීමේ රෝගයේ බරපතල බව ස්ථානය අනුව වෙනස් වන අතර, එයට බලපාන සාධක ද අදාල ප‍්‍රදේශය හා ස්ථානය අනුව වෙනස් වන බවයි.

’‘අදාල පාර්ශවකරුවන්ගෙන් පෙස්ටා කොළ වැටීමේ රෝගයේ නිශ්චිත බලපෑම පිළිබඳව ලැබුණු තොරතුරු සීමිත වූ අතර 2023 ජාතික සැලසුම නිර්මාණය කිරීමේදී අපගේ ගණනය කිරීම් අනුව හෙක්ටයාර 10,000 ක අමතර ආරක්ෂිත කලාපයක් ඇතුළුව හෙක්ටයාර 30,000 කට වැඩි ප‍්‍රමාණයක් මෙම රෝගය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බව අප විශ්වාස කරනවා.’’ යැයි ආචාර්ය සිරිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පෙස්ටා කොළ වැටීමේ රෝගයට විසඳුමක් ලෙස නොවැම්බර් මැද වන විට රෝගයේ ප‍්‍රමාණය නිවැරදිව තක්සේරු කිරීම සඳහා RRISL විසින් 2023 වසරේදී සමීක්ෂණයක් ආරම්භ කරන ලදී.

මෙම රෝගය පිළිබඳව සහ එහි බලපෑම අවබෝධ කර ගැනීම සඳහා RRISL විද්‍යාත්මක පර්යේෂණවලට ගැඹුරින් සම්බන්ධ වී සිටී. මීට අමතරව RRISL විසින් දිලීර නාශක පරීක්ෂා කිරීම, දිලීර නාශක යෙදීම සඳහා විවිධ ශිල්පීය ක‍්‍රම තක්සේරු කිරීම සහ රෝග වලට ඔරොත්තු දෙන රබර් ක්ලෝන හඳුනා ගැනීම සඳහා රසායනාගාර සහ ක්ෂේත‍්‍ර මට්ටමේ අධ්‍යයනයන් සිදු කරයි.

RRISL විසින් රබර් ක්ලෝන තුනක් (RRI100, RRI2006 සහ Centennial 4) සොයා ගන්නා ලද අතර අනෙකුත් ප‍්‍රභේදවලට සාපේක්ෂව ඒවා මෙම රෝගයට ඔරොත්තු දීමේදී යම් මට්ටමක හැකියාවක් පෙන්නුම් කරයි. ‘‘ඉදිරි අභිජනන වැඩසටහන්වලට අභිජනනය කරන්නන් සම්බන්ධ කර ගැනීම සඳහා මෙම තොරතුරු ඔවුන් වෙත ලබා දෙනු ලබනවා. එය දිගු කාලීන විසඳුමක් වන නමුත් ඒ සඳහා කාලය ගත වේවි.’’

තවද RRISL විසින් රබර් වතු හිමියන්ට පෙස්ටා කොළ වැටීමේ රෝගයේ අවදානම අවම කරමින් එය වළක්වා ගැනීම සඳහා පුළුල් පියවර රැසක් සහ හොඳම ක‍්‍රමවේද නිර්දේශ කරයි. මෙම ක‍්‍රමවේදවලට වගාවන් පිරිසිදු කිරීම, පොහොර යෙදීම, ක්ලෝන සමතුලිතතාවය පවත්වා ගැනීම සහ රෝග කළමනාකරණය වැනි සාධක කෙරෙහි අවධානය යොමු කරන කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන උපාය මාර්ග ඇතුලත් වෙයි.

එපමණක් නොව රබර් නිෂ්පාදන සමාගම්, කුඩා හා මධ්‍යම පරිමාණයේ රබර් වැවිලිකරුවන්, විශ්ව විද්‍යාල, ජාත්‍යන්තර රබර් පර්යේෂණ සහ සංවර්ධන මණ්ඩලය (IRRDB) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් මෙම රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා ජපානයේ රිකෙන් විශ්ව විද්‍යාලය වැනි ආයතන සමඟ අත්වැල් බැඳගැනීමටත් අවධානය යොමු කර ඇත.

‘‘ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයේ දිගුකාලීන තිරසාරභාවය සහ දියුණුව සඳහා RRISL හි දැක්ම වන්නේ පෙස්ටා කොළ වැටීමේ රෝගයට එරෙහිව සටන් කිරීමට සහ රබර් නිෂ්පාදනයට බලපාන අනෙකුත් සාධකවලට විසඳුම් සෙවීමට පුළුල් උපායමාර්ග භාවිත කිරීමයි. මේ සඳහා RRISL රබර් වගාකරුවන්ට තාක්ෂණික දැනුම, සම්පත් සහ අවශ්‍ය සහාය ලබා දීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීමට බලපොරොත්තු වනවා. ඒවගේම විවිධ රබර් වර්ග සහ රබර් වගාවන්ට ඇති වන රෝග මර්දනය කිරීම සඳහා පර්යේෂණ ක‍්‍රම භාවිතා කිරීම ද අප දිරිමත් කරනවා.’’ යනුවෙන් ආචාර්ය සිරිවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේය.

මෙම රෝගය කළමනාකරණය කිරීම සඳහා RRISL විසින් ලබා දී ඇති නිර්දේශ ක‍්‍රියාවට නංවමින් ඔවුන්ගේ ආකෘති භූමියක් තුළ අත්හදාබැලීම් සිදු කර රබර් වැවිලිකරුවන්ට නිරීක්ෂණය කළ හැකි පරිදි සකස් කරන ලද ක්ෂේත‍්‍රයක් ප‍්‍රදර්ශනය කරන ලෙස රබර් වැවිලිකරුවන් RRISL වෙතින් ඉල්ලා සිටී. මෙමගින් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය නිරීක්ෂණය කිරීම සහ රබර් කර්මාන්තය සඳහා හොඳම භාවිතයන් ප‍්‍රදර්ශනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *