July 27, 2024
‘මාතර කලා උළෙල’ 2024 පෙබරවාරි මාසයේ ආරම්භ වේ
පුවත්

‘මාතර කලා උළෙල’ 2024 පෙබරවාරි මාසයේ ආරම්භ වේ

Dec 11, 2023

ශ්‍රී ලංකාවේ සහ ඉන් එපිට වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙලේ (MFA) පළමු පියවර 2024 වසරේ පෙබරවාරි මස 02 සිට 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ. ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව වසර ආරම්භයේදී මාතර කලා උළෙල දකුණු වෙරළ තීරයේ පැවැත්වීම සංචාරකයින්ට සහ ශ්‍රී ලාංකිකයින්ට විශේෂත්වයක් වනු ඇත.

UNESCO සංවිධානය විසින් සංරක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇති මාතර කොටුව, නගරය සහ මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් කලාවන් ආර්ථික හා සමාජීය පුනර්ජීවනයට සුවිශේෂී දායකත්වයක් වී ඇති අතර, ඒ හරහා අනෙකුත් ප්‍රදේශවල ජනතාවට සහ ගෝලීය හවුල්කරුවන් සමග දැනුම හුවමාරු කෙරෙන සබඳතාවක් ඇතිකර ගැනීමට මෙම කලා උළෙල ඉවහල් වනු ඇත.

දිවංගත මංගල සමරවීර මහතාගේ පවුලේ සාමාජිකයන් වන ජයන්ති සමරවීර ගුණවර්ධන සහ චංචලා ගුණවර්ධන යන මහත්මීන්ගේ හා මහාචාර්ය ජගත් වීරසිංහ මහතා ඇතුළු මාතර Freedom Hub සංසදය විසින් මෙම කලා උළෙල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මෙහි මූලික වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ගෞරවනීය කලාකරුවෙකු සහ පුරාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය ජගත් වීරසිංහ සහ සංගීතඥයෙකු හා අධ්‍යාපනඥයෙකු වන ආචාර්ය සුමුදි සුරවීර යන මහත්වරුන් විසිනි.

මෙම වැඩසටහන සඳහා ප්‍රදීප් චන්ද්‍රසිරි, ප්‍රියන්ති අනූෂා, ෆීරි රහ්මාන්, හේමා ශිරෝනි, මාතර පාල පොතුපිටිය සහ අනුර ක්‍රිෂාන්ත ඇතුළු කලාකරුවන් 12 දෙනෙකුගෙන් යුත් ඉදිරිපත් කිරීමක් සහ මහාචාර්ය ජගත් මහතාගේ මගපෙන්වීම යටතේ මාතර කලාකරුවන් 8 දෙනෙකු විසින් නිර්මාණය කරන ලද අතිරේක ප්‍රජා කලා  වැඩසටහනක් ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් අතරට ඇතුළත් වේ.

පෙබරවාරි 04 නිදහස් දිනය දා, මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේදී අංග 7කින් යුත් එළිමහන් ප්‍රසංගයක් ද මෙම කලා උළෙලට සමගාමීව පැවැත්වේ. අමිල සඳුරුවන් විසින් ජන සංගීතය, බ්‍රසීලියානු ගායක පෝලා විසින් ජෑස් බොසා නෝවා (Jazz to bossa nova) සහ රෙගේ (reggae) සංගීතය, පහතරට බෙර වාදනය සහ ජෑස් බෙර වාදන කණ්ඩායමක් වන Baliphoincs කණ්ඩායමේ ප්‍රාසංගික ඉදිරිපත් කිරීම සහ ඇමරිකාවේ රැප් (Rap) සහ කර්නාටික් (Carnatic) ගායක රෝලෙක්ස් රසති විසින් කරනු ලබන ප්‍රාසංගික ඉදිරිපත් කිරීම් ඇතුළු තවත් කලාකරුවන් රැසක් මෙම ප්‍රසාංගික කලා දැක්ම සඳහා සහභාගී වනු ඇත.

ප්‍රවේශපත්‍ර ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රසංගය හැර, මාතර කලා උළෙලේ අනෙකුත් අංග සියල්ල නොමිලේ නැරඹීමට හැකිය.

මාතර කලා උළෙල ආර්ථික හා සමාජීය පුනර්ජීවනය මත පදනම් වේ. එහි ‘ප්‍රජා හා සහයෝගීතාවය වෙනුවෙන් වූ කලාව’ මීට උදාහරණයකි. මෙම වැඩසටහනේ භාරකරු වශයෙන් කටයුතු කරනු ලබන රන්ධුල ද සිල්වා මහතා විසින් ආභරණ සෑදීම, කලාකරුවන් සහ කලා නිර්මාණ ක්‍රියාවලිය, මාතර සර්ෆ් ක්‍රීඩා කරනු ලබන ප්‍රජාව සඳහා දැනුම ලබාදීම ඇතුළුව තවත් බොහෝ දේ පිළිබඳ වැඩමුළු සහ සාකච්ජා පැවැත්වීම සඳහා පහසුකම් සලසා දෙනු ලබයි. The Good Market ආයතනය විසින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අනෙකුත් හවුල්කරුවන් සමග එක්ව ප්‍රජා වෙළඳපොළක් පිහිටුවීමට සහාය ලබා දෙමින් කලා හැකියාවන් වර්ධනය කිරීමේ හවුල්කරුවෙකු ලෙස සිය සේවාවන් ඊට ලබා දෙනු  ඇත. රජය, සෑම මට්ටමක සිටින ප්‍රජාවන් හට, විශේෂයෙන් එහි තරුණ තරුණියන්ට දිගුකාලීන ප්‍රතිලාභ ගෙන දෙන බව සහතික කරමින්, කලා උළෙල සඳහා අවකාශයන් සලසා දීමට මැදිහත් වී තිබේ.

මෙහි අනුග්‍රාහකයා වශයෙන් John Keells පදනමේ (JKF) කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත වී ඇති විශාලතම සමූහ ව්‍යාපාරය වන Keells Holdings PLC (JKH) හි සමාජ සුභ සාධන ව්‍යාපෘති අංශය කටයුතු කරන අතර එහි විවිධ අංශ හරහා ජාතික සංවර්ධනයට දායකත්වයක් ලබා දෙනු ඇත. ‘අනාගතය වෙනුවෙන් ජාතිය සවිබල ගැන්වීම’ යන JKF හි සමාජ සුභ සාධන දැක්ම, ක්ෂේත්‍ර හයක් කෙරෙහි අවධානයක් ලබා දෙන අතර කලාව සහ සංස්කෘතිය ඉන් එකක් වේ. JKF විසින් චිත්‍ර ප්‍රදර්ශනය, ප්‍රජා සහ සහයෝගීතා වැඩසටහන සඳහා අරමුදල් ලබා දෙන අතර වැඩමුළුවේ දේශකයින් සඳහා අනුග්‍රහය දක්වනු ලබයි.

මෙහි උපදේශකයන් ලෙස ස්කොට්ලන්තයේ, ජෙරල්ඩින් කෝට්ස් සහ රොබට් මැක්ඩෝවෙල්, අම්බා වතුයායේ නිර්මාතෘ සහ ආයෝජන උපදේශක සයිමන් බෙල්, ජෝර්ජ් කීට් පදනමේ සභාපති මාලක තල්වත්ත යන මහත්වරුන් කටයුතු කරනු ලබයි.

මෙම කලා උළෙල පිළිබඳව කැමැත්තක් දක්වනු ලබන පිරිස් සහ පාර්ශවයන්ට මීට සහභාගී වන ලෙසත්, මේ සඳහා සහයෝගීතාවයක් සහ අනුග්‍රහක දායකත්වයක් ලබා දීමට එක්වන ලෙසත් සංවිධායක මණ්ඩලය ආරාධනා කරයි.

‘සුරක්ෂිත සහ හරිත’ නගර පිරිසිදු කිරීමේ වැඩසටහන මෙහෙයවනු ලබන මාතර ව්‍යාපාරික හිමිකරුවන් සමගින් මෙම උත්සවය සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි.

මෙම කලා උළෙල පිළිබඳ වැඩිදුර තොරතුරු Instagram සහ Facebook හි @MataraForArts වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *