October 24, 2026
මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමට පෑන් ඒෂියා බැංකුව FinLit Expo 2026 ප්‍රදර්ශනයට එක් වෙයි
පුවත්

මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමට පෑන් ඒෂියා බැංකුව FinLit Expo 2026 ප්‍රදර්ශනයට එක් වෙයි

Oct 24, 2026

ශ්‍රී ලාංකික ජනතාව අතර මූල්‍ය දැනුම වර්ධනය කිරීම සහ වගකීම්සහගත බැංකුකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සිය කැප වීම යළිත් තහවුරු කරමින් පෑන් ඒෂියා බැංකුව FinLit Expo 2026 මූල්‍ය සාක්ෂරතා ප්‍රදර්ශනයට සක්‍රීයව සහභාගි විය. ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කළ මෙම ජාතික ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වූයේ ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට ඔවුන් දිරිමත් කිරීමයි. ඔක්තෝබර් 8 සහ 9 රාජගිරියේ බැංකු විදු පියසේදී පැවැති මෙම ප්‍රදර්ශනයට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ආයතන රැසක් සහභාගි වූ අතර බැංකුකරණය, මූල්‍ය නිෂ්පාදන හා සේවා මෙන්ම මනා මූල්‍ය කළමනාකරණයේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට එමඟින් අවස්ථාව සැළැසිණි. පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී නලීන් එදිරිසිංහ මහතා ඇතුළු බැංකුවේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ. එමඟින් මූල්‍ය දැනුම සමාජයේ සෑම තරාතිරමකම ජනතාවට වඩාත් පහසුවෙන් දීම සඳහා ක්‍රියාත්මක වන සාමූහික ප්‍රයත්නයට බැංකුවේ සහයෝගය ප්‍රකාශ කෙරිණි.

මූල්‍ය සාක්ෂරතාවේ වැදගත්කම පිළිබඳ අදහස් දක්වමින් නලීන් එදිරිසිංහ මහතා මෙසේ පැවසීය. “මූල්‍ය සාක්ෂරතාව යනු පුද්ගලයන්ට නිවැරැදි තීරණ ගැනීමටත්, තම මුදල් වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීමටත්, අනාගතය පිළිබඳ වැඩි විශ්වාසයකින් සැළැසුම් සකස් කිරීමටත් උපකාර වන අත්‍යවශ්‍ය ජීවන කුසලතාවක්. පෑන් ඒෂියා බැංකුව ලෙස අප විශ්වාස කරන්නේ වගකීම්සහගත බැංකුකරණය යනු මූල්‍ය සේවා සපැයීමට පමණක් සීමා නොවන්නක් බවයි. දිනෙන් දින සංකීර්ණ වන මූල්‍ය පරිසරය තුළ නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය දැනුම සහ ආත්ම විශ්වාසය ජනතාව තුළ ගොඩනැංවීමද එහි වැදගත් අංගයක්. FinLit Expo වැනි වැඩසටහන් මෙම පොදු අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සමස්ත මූල්‍ය ක්ෂේත්‍රයටම එක් වී කටයුතු කිරීමට වටිනා අවස්ථාවක් සළසා දෙනවා.” මූල්‍ය දැනුවත්භාවය වර්ධනය කිරීම, මූල්‍ය අන්තර්කරණය පුළුල් කිරීම සහ සමාජයට දිගු කාලීන යහපත් බලපෑමක් ඇති කිරීම අරමුණු කර ගත් වැඩසටහන් රැසක් පෑන් ඒෂියා බැංකුව ක්ෂේත්‍රයේ අනෙකුත් පාර්ශ්වකරුවන් සහ ප්‍රජා සංවිධාන සමඟ එක් වී ක්‍රියාත්මක කරයි. පවුලේ ආදායම් හා වියදම් කළමනාකරණය, ඉතිරි කිරීමේ පුරුදු වර්ධනය කිරීම, ණය ගැනීමේදී පැවරෙන වගකීම් අවබෝධ කර ගැනීම සහ විවිධ මූල්‍ය විකල්ප ඇගැයීම වැනි කරුණු පිළිබඳ නිසි දැනුමක් තිබීම පුද්ගලයන්ට සහ පවුල්වලට සිය ආර්ථික සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට බෙහෙවින් උපකාර වේ. ඩිජිටල් බැංකුකරණය සහ විද්‍යුත් ගෙවීම් ක්‍රම දෛනික ජීවිතයට වැඩි වැඩියෙන් එක් වෙමින් පවතින වර්තමානයේ මූල්‍ය තාක්ෂණය ආරක්ෂිතව හා වගකීමෙන් යුතුව භාවිත කිරීම පිළිබඳ දැනුවත්භාවයද අතිශයින් වැදගත් වේ. ඩිජිටල් ආරක්ෂාව, මූල්‍ය වංචා වැළැක්වීම සහ වගකීම්සහගත ණය භාවිතය පිළිබඳ නිසි අවබෝධයක් තිබීමෙන් පුළුල් වෙමින් පවතින මූල්‍ය සේවා අවස්ථා වඩාත් විශ්වාසයෙන් යුතුව භාවිත කිරීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ. මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන, නියාමන ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර අඛණ්ඩ සහයෝගීතාවක් පැවතීම අත්‍යවශ්‍ය බව පෑන් ඒෂියා බැංකුව විශ්වාස කරයි. FinLit Expo 2026 ප්‍රදර්ශනයට සහභාගි වීම තුළින් මූල්‍ය සේවා පිළිබඳ මහජන අවබෝධය පුළුල් කිරීම, වගකීම්සහගත මූල්‍ය හැසිරීම් දිරිගැන්වීම සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුළ ජනතාවගේ වඩාත් පුළුල් හා දැනුවත් සහභාගිත්වයක් ඇති කිරීම සඳහා වන ක්ෂේත්‍රයේ සාමූහික ප්‍රයත්නයට බැංකුව සිය දායකත්වය දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close