July 27, 2024
කොමර්ෂල් බැංකුව සහ විවෘත විශ්වවිද්‍යාලය අතර ගිවිසුමෙන්, එසෙක්ස් විශ්වවිද්‍යාල උපාධි වැඩසටහන් සඳහා රු.මි. 10ක් දක්වා ණය
පුවත්

කොමර්ෂල් බැංකුව සහ විවෘත විශ්වවිද්‍යාලය අතර ගිවිසුමෙන්, එසෙක්ස් විශ්වවිද්‍යාල උපාධි වැඩසටහන් සඳහා රු.මි. 10ක් දක්වා ණය

Nov 22, 2023

එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධි හෝ ශාස්ත්‍රපති උපාධි සඳහා බඳවා ගන්නා වූ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ (OUSL) අපේක්‍ෂකයින් සඳහා, රුපියල් මිලියන 10ක් දක්වා උසස් අධ්‍යාපන ණය දැන් කොමර්ෂල් බැංකුවෙන් ලබාගත හැකිය.

 ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, බැංකුව සමග අත්සන් කළ ගිවිසුමකට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි. මේ මගින් එසෙක්ස් විශ්වවිද්‍යාලයේ දෙවන හා තෙවන වසරවල උපාධි අපේක්‍ෂකයින්ට ඔවුන්ගේ අඛණ්ඩ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑම සඳහා, සුවිශේෂී ලෙස සහනදායී පොලී අනුපාතයක් යටතේ අධ්‍යාපන ණය පහසුකම් ලබාගත හැකිය.

මෙම ණය පහසුකම් සඳහා විශේෂ පොලී අනුපාතයක් සහ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාලයට ගැලපෙන සහන කාලයක්ද හිමිවන බැව් කොමර්ෂල් බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුව සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් අත්සන් කරන ලද මෙම අවබෝධතා ගිවිසුම යටතේ, OUSL විසින් පිරිනමනු ලබන උපාධි වැඩසටහන් අනුගමනය කිරීමට කැමති සිසුන් සඳහාද බැංකුව විසින් විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ ඩිලක්ෂාන් හෙට්ටිආරච්චි මහතා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය පී. එම්. සී. තිලකරත්න මහතා හා ලේඛකාධිකාරී වින්ද්‍යා ජයසේන මහත්මිය මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා සහභාගී වූහ.

 ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ වෙනත් ඕනෑම ජාතික විශ්වවිද්‍යාලයකට සමාන නෛතික, ආයතනික සහ අධ්‍යයන තත්ත්වයන් භුක්ති විඳින ජාතික විශ්වවිද්‍යාල 17න් එකකි. OUSL විසින් පිරිනමනු ලබන සියලුම උපාධි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) විෂය පථය යටතේ වෙනත් ඕනෑම විශ්වවිද්‍යාලයකින් පිරිනමන උපාධිවලට සමාන ලෙස සලකනු ලැබේ. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, අධ්‍යාපන අමාත්‍යංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඍජු විෂය යටතේ පවතියි.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

1 Comment

  • I seriously love your website.. Great colors & theme. Did you create this web site yourself?
    Please reply back as I’m wanting to create my own personal
    website and would love to learn where you got this from or what the theme is called.
    Thanks!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *