හරිත අනාගතයක් සඳහා තිරසාර බැඳුම්කර හරහා ණය ප්රාග්ධනය ඉහළ නැංවීමට සමාගම්වලට ඇති අවස්ථා
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ එක්ව “හරිත නිම් වළලු කරා: තිරසාර බැඳුම්කර හරහා අවස්ථාවන් විවර කර ගැනීම” යන මැයෙන් ව්‍යවසායක සංසදයක් පසුගියදා කොළඹදී පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ තිරසාර බැඳුම්කර පද්ධතියක් සඳහා අඩිතාලමක් ගොඩනැගීම සඳහා රාජ්‍ය ආයතන නියෝජිතයන්, රජය සතු ව්‍යවසායන්, අනාගත ව්‍යවසායකයන්, ආයෝජන බැංකු/ සාංගමික මූල්‍ය උපදේශකයින්, සත්‍යාපන සේවා සපයන්නන්, ශ්‍රේණිගත කිරීමේ ආයතන සහ අනෙකුත් අදාළ ආයතන ඇතුළු පාර්ශවකරුවන් අතර දැනුම සහ කුසලතා වැඩි කිරීම මෙම සංසදයේ අරමුණ විය.
SEC සභාපති ෆයිසාල් සාලි මහතා ආරම්භයේදී අදහස් දැක්වමින් පැවසුවේ, “ශ්‍රී ලංකාවේ පෙරනිමි ස්වෛරී ශ්‍රේණිගත කිරීම් බාධාව ගැන සැලකිලිමත් වෙමින්, කෙතරම් ඉක්මනින් ශ්‍රී ලංකාවට මෙම බැඳුම්කර ප්‍රවර්ධනය කිරීම සහ පාරිසරික, සමාජීය සහ පාලන සාධක ගැන සැලකිලිමත් වන විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම කළ හැකිද යන්න අභියෝගාත්මක තත්ත්වයකි.” යනුවෙනි. පාරිසරික, සමාජීය සහ පාලන සාධක ගැන සැලකිලිමත් වන දේශීය ආයෝජක පදනමක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය. “සියලු පාර්ශවකරුවන් එකට එකතු වීම, එකට වැඩ කිරීම සහ නිකුත් කිරීම් ආරම්භ කිරීම සඳහා එකිනෙකාට සහයෝගය දැක්වීම ඉතා වැදගත් වේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
“හරිත මූල්‍ය උපකරණ ලබා ගැනීමේ හැකියාව පුළුල් කිරීමෙන් සහ ආයෝජකයින්, ව්‍යවසායකයින් සහ නියාමකයින් අතර සහයෝගීතාව වැඩි කිරීමෙන්, වඩාත් තිරසාර සහ ශක්තිමත් මූල්‍ය පද්ධතියකට මාරුවීම වේගවත් කිරීමට මූල්‍ය වෙලඳපොළවලට හැකියාව ලැබෙනු ඇත.” යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළේය.
SEC අධ්යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා, “මෙම යාන්ත්‍රණය මඟින් රාජ්‍ය අයවැය මත ඇති පීඩනය අවම කෙරෙන අතර රටේ සෑම අංශයකම පුළුල් සහභාගීත්වය ඒ හරහා ඇති වනු ඇත.” යනුවෙන් ප්‍රකාශ කළේය.
ජාතික සංවර්ධනය නංවාලීම සඳහා වෙනත් රටවල් එවැනි නිෂ්පාදන භාවිත කර ඇති ආකාරය පිළිබඳව ඔහු තවදුරටත් විස්තර කළේය. එහිදී ඔහු ප්‍රාග්ධන වෙළඳපොළ හරහා පිරිනමන තිරසාර නිෂ්පාදන පුළුල් ලෙස ගවේෂණය කර ප්රතිලාභ ලබා ඇති රටවල් අතරින් ප්‍රමුඛතම රටක් ලෙස තායිලන්තය නම් කළේය. “COVID-19 වසංගතයෙන් පසු, තායි රජය විසින් තිරසාර නිෂ්පාදන සහ තිරසාර යටිතල පහසුකම් නිෂ්පාදන හරහා රැස් කරන ලද අරමුදල් පුනර්ජනනීය බලශක්තිය, තිරසාර ප්‍රවාහනය, තිරසාර ජල කළමනාකරණය සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය වැනි සංවර්ධන අංශ සඳහා භාවිත කර ඇත.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සිය අදහස් දැක්වුවේය.
ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් අදහස් දක්වමින් එහි දේශීය අධ්යක්ෂ ටකෆුම් කඩොනෝ මහතා ප්‍රකාශ කළේ “තිරසාර ප්‍රතිසාධනය ප්‍රවර්ධනය කිරීම, ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සහ ශ්‍රී ලංකාව තුළ අන්තර්ග්‍රහනීය වර්ධනයක් ඇති කිරීම සඳහා වන අපගේ කාර්යයේ ප්‍රධාන අංගයක් වන්නේ තිරසාර ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමයි. මෙම ක්ෂේත්රය සමබන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව සතු අත්දැකීම් බෙදාහදා ගැනීමටත්, සාර්ථක සිද්ධි අධ්‍යයනයන් ඉස්මතු කිරීමටත්, ශ්‍රී ලංකාවේ තිරසාර බැඳුම්කර නිකුත් කිරීම් සඳහා සහය වීමට ඇති සම්පත් පිළිබඳ සාකච්ඡා කිරීමටත් හැකිවීම අප ලද භාග්‍යයකි.” යනුවෙනි.
සහභාගී වූවන් අමතමින් CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පැවසුවේ, “ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ පරිණාමයේ තීරණාත්මක සන්ධිස්ථානයක් අභියස අද අපි රැස්ව සිටින්නෙමු. හරිත, සමාජීය සහ තිරසාර බැඳුම්කර හරහා ක්‍රියාකාරීත්වය උත්තේජනය කිරීම සහ තිරසාර මූල්‍යකරණය සඳහා මංපෙත් නිර්මාණය කිරීම මෙමඟින් අරමුණු කෙරේ.” යනුවෙනි.
“ගෝලීය සැපයුම් දාමයන් පාරිසරික තිරසාරත්වය දෙසට හැරෙමින් පවතින අතර, ශුද්ධ ශුන්‍ය මුල පිරීම් කර්මාන්ත ප්රමිතීන් බවට පත්වෙමින් තිබේ. අපනයනය කෙරෙහි අවධානය යොමු කළ යුතු රටක් වශයෙන්, මෙම පාරිසරික ප්‍රතිපත්ති අනුගමනය කිරීම සදාචාරාත්මක අවශ්‍යතාවයක් පමණක් නොව අපගේ තරඟකාරිත්වය පවත්වා ගැනීම සඳහා වන වාණිජමය අවශ්‍යතාවයකි. තිරසාර මූල්‍ය පද්ධතියක් නිර්මාණය කිරීමෙන්, දේශීය ව්‍යාපාරවලට තිරසාර ප්රාග්ධනය වෙත ප්‍රවේශ වීමට, දේශගුණික අවදානම්වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට සහ හරිත අනාගතයක් ප්‍රවර්ධනය කිරීමට අපි හැකියාව ලබා දෙන්නෙමු.” යනුවෙන් ද ඔහු සිය අදහස් දැක්වුවේය.
තිරසාර බැඳුම්කර සංවර්ධනය සහ නිකුත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් තිරසාර මූල්‍ය ක්ෂේත්රයේ ඇති බොහෝ අවස්ථාවන් පිළිබඳව පූර්ණ අවබෝධයක් සහභාගිවන්නන්ට ලබා දීම අරමුණු කරගත් ඉදිරිපත් කිරීම් කිහිපයකින් මෙම සංසදය සමන්විත විය.
හරිත බැඳුම්කර පිළිබඳ ගෝලීය දළ විශ්ලේෂණය, නවතම වර්ධනයන්, තිරසාර මූල්‍ය පරිසර පද්ධති සංවර්ධනය කිරීමේදී උගත් පාඩම්, සමාජීය සහ තිරසාර බැඳුම්කර නිකුත් කිරීමේ තාක්ෂණික කරුණු සහ සංකීර්ණතා පිළිබඳ විස්තාරණය කිරීම, සිද්ධි අධ්‍යයන, තිරසාර බැඳුම්කර සඳහා වන CSE නියාමන රාමුව සම්බන්ධයෙන් වන සාකච්ඡා සහ DFCC බැංකුව විසින් හරිත බැඳුම්කර ඉහළ නැංවීම පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීම මෙහිදී සුවිශේෂ අවස්ථා අතරට ඇතුළත් විය. SEC අධ්යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා, ADB ජ්‍යෙෂ්ඨ මූල්‍ය අංශයේ විශේෂඥ කොසින්ටර් පුඔන්සොෆොල් (Mr. Kosintr Puongsophol) මහතා; ADB බාහිර උපදේශක කාර්තික් අයියර් (Mr. Karthik Iyer) මහතා; CSE ප්‍රධාන නියාමන නිලධාරී, රේණුක විජයවර්ධන මහතා; මෙන්ම DFCC බැංකුවේ තිරසාරභාවය සහ උපදේශන උප සභාපති නලින් කරුණාතිලක මහතා යන අයගේ සහභාගීත්වයෙන්; ADB (සභාපති) මූල්‍ය අංශයේ විශේෂඥ උරේෂා වල්පිටගම මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ විද්වත් කථිකාවක් ද මෙම සංසදය අතරතුර පැවත්විය. එම විද්වත් කථිකාවතෙන් සහ ප්‍රශ්නෝත්තර සැසියකින් අනතුරුව, පැමිණ සිටි පිරිස විසින් මෙම සංසදය අගය කිරීමට ද ලක් විය.