May 5, 2026
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව HSBC Sri Lankaහි පාරිභෝගික බැංකුකරණ මෙහෙයුම් පවරාගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරයි
පුවත්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව HSBC Sri Lankaහි පාරිභෝගික බැංකුකරණ මෙහෙයුම් පවරාගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරයි

May 5, 2026

Hongkong and Shanghai Banking Corporation’s (HSBC) හි පාරිභෝගික බැංකුකරණ මෙහෙයුම් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව PLC (NTB) වෙත පවරා ගැනීමේ කටයුතු මේ වන විට අවසන් වී ඇති බව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව HSBC හි එම මෙහෙයුම් 2026 මැයි 01 දින සිට නිල වශයෙන් NTB හට පත් වනු ඇත.

මෙතෙක් HSBC Sri Lanka පාරිභෝගික බැංකු සේවාවන් භාවිතා කළ ගනුදෙනුකරුවන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයට තම මෙහෙයුම් සමඟ සම්බන්ධ කිරීමට NTB පියවර ගෙන තිබෙ. මෙම පවරා ගැනීමේ කොටසක් වශයෙන් HSBC Sri Lanka කාර්ය මණ්ඩලයද NTB සමඟ ඒකාබද්ධ වනු ඇත. මෙහෙයුම් කටයුතු ස්ථාවරව පවත්වා ගන්නා අතරම බාධාවන් අවම වන ආකාරයට මෙම පවරා ගැනීමේ ක්‍රියාවලිය සිදුකරන ලද අතර, HSBC Sri Lanka ගනුදෙනුකරුවන්ට NTB හි බැංකුකරණ කටයුතු ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන තුරු ඔවුන්ට අඛණ්ඩව සහයෝගය ලබාදීමටද කටයුතු යොදා තිබේ.

මෙම ක්‍රියාවලිය යටතේ පාරිභෝගික බැංකුකරණ ගනුදෙනුකරුවන් 200,000 ක් පමණ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සේවාවන් සමග සම්බන්ධ කර තිබේ. මීට ඉතුරුම් හා ජංගම ගිණුම්, ස්ථාවර තැන්පතු, ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් සහ පාරිභෝගික ණය යන සේවාවන් සහ Private Banking ගනුදෙනුකරුවන්ද ඇතුළත් වී ඇත. මෙම ක්‍රියාවලියත් සමඟ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ දීපව්‍යාප්ත ශාඛා ජාලය 96 ක් බවට පත් වී තිබේ. මෙම පවරා ගැනීම හරහා නව ශාඛා 7 ක් NTB ශාඛා ජාලයට එක් වී ඇති අතර, ඒ අතරින් බම්බලපිටිය, ෆ්ලවර් රෝඩ්, යූනියන් පෙදෙස සහ පැලවත්ත හි ප්‍රදේශවල පිහිටි ශාඛා Private Banking මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වනු ඇත. මීට අමතරව නුගේගොඩ, යාපනය සහ මහනුවර යන ප්‍රදේශවල පිහිටි ශාඛා 3 ක් ද අලුතින් NTB ජාලයට ඇතුළත් වී තිබේ.

මෙම පවරා ගැනීමේ කාලසීමාව තුළ ගනුදෙනුකරුවන්ට ක්‍රම කිහිපයක් ඔස්සේ සහය වීමට NTB සූදානමින් සිටී. ළඟම පිහිටි NTB ශාඛාව වෙත පැමිණීමෙන් හෝ +94 11 441 4151 අංකය ඔස්සේ පැය 24 පුරා ක්‍රියාත්මක NTB පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඇමතීමෙන් ගනුදෙනුකරුවන්ට වැඩිදුර තොරතුරු ලබාගත හැකි අතර, Nations Direct ජංගම යෙදුම භාවිතා කිරීම මඟින් ඩිජිටල් බැංකු සේවාවන් ලබාගත හැකි වේ. මෙම පවරා ගැනීමේ සම්බන්ධ තොරතුරු සහ ප්‍රශ්නවලට පිළිතුරු https://migration.nationstrust.com හි දක්වා ඇත. 

මීට අමතරව, මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, සති අන්ත දෙකක් පුරා ගනුදෙනුකරුවන්ට ශාඛා හරහා සහය ලබා දීමටද NTB කටයුතු යොදා තිබේ. ඒ අනුව ගනුදෙනුකරුවන්ගේ සියලුම ආකාරයේ බැංකුකරණ අවශ්‍යතාවන්ට සහය ලබාදීම සඳහා ශාඛා 19ක් මැයි 02 සෙනසුරාදා, මැයි 03 ඉරිදා, මැයි 09 සෙනසුරාදා සහ මැයි 10 ඉරිදා යන දිනවල පෙ.ව. 9.00 සිට දහවල් 12.00 දක්වා විවෘතව පවතිනු ඇත. Private Banking මධ්‍යස්ථානය (හෝර්ටන් පෙදෙස), ගල්කිස්ස, පානදුර, මීගමුව, මහරගම, පිටකොටුව බැන්ක්ෂෝල් වීදිය, නුගේගොඩ, කුරුණෑගල, කිරිබත්ගොඩ, තලවතුගොඩ, කොහුවල, රත්නපුර, මඩකලපුව, හැව්ලොක් ටවුන්, වත්තල, මාතර, ගාල්ල, මහනුවර සහ යාපනය යන ශාඛා මෙලෙස විවෘතව පවතී.

2025 සැප්තැම්බර් මාසයේදී HSBC Sri Lanka සමඟ අත්සන් කරන ලද මූලික විකුණුම් සහ මිලදී ගැනීම් ගිවිසුමෙන් අනතුරුව, 2025 දෙසැම්බර් මාසයේදී HSBC Sri Lanka හි පාරිභෝගික බැංකුකරණ මෙහෙයුම් කටයුතු අත්පත් කරගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි විය. මේ හේතුවෙන් කලින් සැලසුම් කළ පරිදිම 2026 පළමු භාගයේදී පවරා ගැනීමේ කටයුතු සම්පූර්ණ කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට හැකියාව ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close