December 12, 2024
HNB ප්‍රසම්පාදන ක්‍රියාවලිය ISO 9001:2015 තත්ව සහතිකයෙන් පිදුම් ලබයි
පුවත්

HNB ප්‍රසම්පාදන ක්‍රියාවලිය ISO 9001:2015 තත්ව සහතිකයෙන් පිදුම් ලබයි

Nov 12, 2024

පුද්ගලික අංශයට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, බැංකු සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ISO 9001:2015 තත්ව සහතිය හිමි කර ගැනීමට පසුගියදා සමත් විය. ඒ සමඟ සේවා විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා ලෙස තවදුරටත් තම ස්ථානය ශක්තිමත් කර ගැනීමට HNB සමත්ව සිටී.

බැංකු සේවා දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ප්‍රසම්පාදනය, ලිපිද්‍රව්‍ය ප්‍රසම්පාදනය හා සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් වෙනුවෙන් Bureau Veritas විසින් ජාත්‍යන්තරව පිළිගත් මෙම සහතිකය පිරිනමයි. ඊට අමතරව HNB විසින් මෑතකදී බැංකුවේ අභ්‍යන්තර ප්‍රේෂණ, බාහිර ප්‍රේෂණ, මධ්‍යගත මෙහෙයුම්, මධ්‍යගත ණය හා පරිපාලන අංශය සඳහාද ISO 9001:2015 තත්ව සහතිකය හිමි කර ගැනීමට සමත් වූ අතර මෙමගින්  සියලු මෙහෙයුම් හරහා ගුණාත්මක සේවාවක් වෙනුවෙන් බැංකුවේ කැපවීම තවදුරටත් තහවුරු කරයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB සහකාර සාමාන්‍යාධිකාරී – සේවා/ප්‍රධාන සේවා අත්දැකීම් නිලධාරී ඉන්ද්‍රජිත් සේනාධීර මහතා සඳහන් කර සිටියේ “අපගේ බැංකු සේවා අංශය සඳහා තත්ව සහතිකය හිමි වීම තුළින් බැංකුවේ මෙහෙයුම් විශිෂ්ටත්වය තවදුරටත් පෙන්නුම් කිරීමට හැකි වී තිබෙනවා. කාර්යක්ෂම හා ප්‍රමිතිගත සේවා කටයුතු වෙනුවෙන් අපගේ කැපවීම පිළිබිඹු කරන මෙම පිළිගැනීම අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් උසස් තත්වයේ අඛණ්ඩ සේවාවක් ලබා දීමට ඇති අපගේ හැකියාවද තවදුරටත් ශක්තිමත් කරනවා. ජාත්‍යන්තර තත්වය අභිබවා ගිය අපගේ මෙහෙයුම් තුළින් අපගේ අරමුණු ක්‍රියාත්මක කිරීමට හැකි වී තිබෙන අතර ඒ පිළිබඳව අපිට ඉතා සතුටුයි- විශ්වාසවන්ත පුද්ගල හා ව්‍යාපාර මූල්‍ය හවුල්කරුවකු ලෙස අපගේ ස්ථාවරය ශක්තිමත් කරන එය මෙරට බැංකු ක්ෂේත්‍රයේ පාරිභෝගික අත්දැකීම් සඳහා නව ප්‍රමිතීන් සකස් කිරීමට අපට හැකියාව ලබා දෙනවා.” යනුවෙනි. 

ISO ප්‍රමිතීන්ට අනුකූලව මෙම සහතික කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමේදී දැඩි සමාලෝචන හා ලේඛනගත කිරීම්වලට භාජනය විය. ඊට අදාල සූක්ෂම ප්‍රවේශයන්, මනා තත්ව කළමනාකරණ ක්‍රම තුළින් HNB හි පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමේ උපායමාර්ගික අවධානය ශක්තිමත් කිරීමටද හැකි වීම විශේෂත්වයකි.

මෙහිදී අදහස් එක් කළ HNB සේවා ප්‍රධානී රොහාන් ප්‍රනාන්දු මහතා පැවසුවේ “අපගේ කණ්ඩායමේ නොසැලෙන කැපවීම හා අඛණ්ඩ වැඩිදියුණු කිරීම් මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාව සඳහා ඇති කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් වන මෙම ISO 9001:2015 පිළිගැනීම තුළින් විවිධ පාර්ශව වෙත දිගු කාලීන ප්‍රතිලාභ ලබා දීමට හැකි වේවි. බාධාවකින් තොර ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිට අනුකූලතා හා අවදානම් කළමනාකරණය සඳහා වන සැපයුම් දාම කළමනාකරණය දක්වා වන හැකියාව මෙම සහතිකය තුළින් තහවුරු කර තිබෙනවා. එය අපගේ ක්‍රියාවලිය ශක්තිමත් කරන අතරම කර්මාන්ත ප්‍රමිතීන් අභිබවා පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය ආයතනයක් ලෙස අපගේ ස්ථාවරය තහවුරු කරන සන්ධිස්ථානයක් ලෙස සඳහන් කළ හැකියි.” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *