July 27, 2024
64 වැනි පියවර පෙරපාසල ආරම්භ කිරීමට සහ දරුවන් 1,160 කට මාසික පෝෂණ ආධාර සැපයීමට Hemas සහ ‘Hoppers London’ අත්වැල් බැඳගනී
පුවත්

64 වැනි පියවර පෙරපාසල ආරම්භ කිරීමට සහ දරුවන් 1,160 කට මාසික පෝෂණ ආධාර සැපයීමට Hemas සහ ‘Hoppers London’ අත්වැල් බැඳගනී

Dec 8, 2023

Hemas Outreach Foundation (HOF) සහ ලන්ඩනයේ පිහිටි සුප්‍රකට අවන්හලක් වන ‘Hoppers London’ එක් ව ‘Feed the Future’ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. තෝරාගත් ‘පියවර’ පෙරපාසල්වල ඉගෙනුම ලබන, මන්දපෝෂණ තත්ත්වයන්ට මුහුණ දී සිටින දරුවන්ට පෝෂණ ආධාර සැපයීම මෙහි ප්‍රධාන අරමුණයි.

2022 වසරේ ආර්ථික අර්බුද සමයේදී මුලින්ම ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, 2023 වසරේදී සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 64 වන පියවර පෙරපාසල මහනුවර පූජාපිටිය ග්‍රාමයේදී ආරම්භ කරන ලදී. මෙය මෙරට දුෂ්කරතාවන්ගෙන් පෙළෙන පවුල්වල දරුවන්ට අත්වැලක් වෙමින්, Hemas සමග එක් වී ‘පියවර’ පෙරපාසල් වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා Hoppers දරන උත්සාහයේ ඉදිරි පියවරකි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් Hemas Outreach Foundation විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය පැවසුවේ, Hoppers London සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි. ශ්‍රී ලංකාවේ අඩු පහසුකම්ලාභී දරුවන්ගේ යහපත වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීම ඒ මහත්මිය බෙහෙවින් අගය කළා ය. 2022 වසරේදී මෙම වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 6ක තෝරාගත් පෙරපාසල් 15 ක දරුවන් 367 දෙනෙකු අතර වියළි ආහාර බෙදාදෙන ලදී. 2023 වසරේදී මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින්, දිස්ත්‍රික්ක 11 ක තෝරාගත් පියවර පෙරපාසල් 34 ක දරුවන් 1,160 දෙනෙකුට වියළි ආහාර ලබාදීම සිදුවිය.

2002 වසරේදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සමග එක් වී Hemas Outreach Foundation විසින් දියත් කරන ලද පියවර පෙරපාසල් වැඩසටහන, මෙරට මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධ ජාතික න්‍යායපත්‍රයට දායක වීම සඳහා Hemas සමූහය දරන වෑයමෙහි ප්‍රතිඵලයකි.

“ජාතික අවශ්‍යතාවක් සපුරාලීමේ උත්සාහයකට දායක වෙමින්, කිසිදු දරුවෙකු අත් නොහැරෙන බව සහතික කිරීම සඳහා අප සමග අත්වැල් බැඳගැනීම වෙනුවෙන් මා කරන් ගෝකානි මහතා ඇතුළු Hoppers London කණ්ඩායමට මගේ ස්තූතිය පළකිරීමට කැමතියි. මේ නොසැලෙන කැපවීම සැබැවින්ම ප්‍රශංසනීයයි. රටේ අවශ්‍යතා ඉටුකරලීම සඳහා ආධාර කිරීමට ඉදිරිපත් වීමට හැකි පරිත්‍යාගශීලීන්ට ඒ සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට මෙරට බලධාරීන් පියවර ගැනීම වැදගත් බව අවධාරණය කිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” Hemas Outreach Foundation හි සභාපති අබ්බාස් යුසුෆලි මහතා පැවසී ය.

“ශ්‍රී ලංකාවේ ආහාරපානවලට, සංස්කෘතියට සහ ජනතාවට ඇති ඇල්ම නිසා අප 2015 වසරේදී ප්‍රථම Hoppers අවන්හල විවෘත කළා. එතැන් පටන් ශ්‍රී ලංකාව කෙරෙහි අප තුළ ඇති ඇල්ම තව තවත් වැඩි වී තිබෙනවා. 2022 වසරේ ආර්ථික අර්බුදය පැමිණි විට, ශ්‍රී ලංකාවේ ජනතාවට උදව් කිරීමට නොහැකි වීම අපට විශාල කනගාටුවක් වුණා. Hoppers හරහා සැබැවින්ම අර්ථවත් සහ ජනතාවට සැබෑම යහපතක් සිදුකළ හැකි ප්‍රජා සත්කාරයක් ආරම්භ කිරීමට මා උනන්දු වූයේ ඒ නිසයි. අබ්බාස් සහ ශිරෝමි ප්‍රමුඛ Hemas සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම නිසා ඒ අරමුණ යථාර්ථයක් කරගැනීමට මට හැකි වුණා. මේ ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක වී තිබෙන ආකාරය පිළිබඳව අපට සැබැවින්ම සතුටු වීමට පුළුවන්. ඉදිරි වසරවලදී අපගේ දායකත්වය තවත් වැඩි කරමින්, මෙම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම අපගේ බලාපොරොත්තුවයි.” Hoppers London හි කරන් ගෝකානි මහතා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *