November 6, 2024
හේමාස් සහ Hatch එක් ව මෙරට නවක ව්‍යාපාර දිරිගැන්වීම සඳහා Slingshot Accelerator වැඩසටහනේ දෙවැනි අදියර දියත් කරයි
පුවත්

හේමාස් සහ Hatch එක් ව මෙරට නවක ව්‍යාපාර දිරිගැන්වීම සඳහා Slingshot Accelerator වැඩසටහනේ දෙවැනි අදියර දියත් කරයි

Jun 12, 2024

මෙරට නවක ව්‍යාපාර දිරිගැන්වීම සඳහා Slingshot Accelerator වැඩසටහනේ දෙවැනි අදියර දියත් කිරීමට හේමාස් සහ Hatch සමාගම් විසින් පසුගියදා කටයුතු කරන ලදී. 2023 වසරේදී සංවිධානය කළ මෙම වැඩසටහනේ පළමු අදියර බෙහෙවින් සාර්ථක වූ අතර, එයින් නොනැවතී, මෙවරත් නවක ව්‍යාපාර 25කට අත්වැලක් වීමට සහ ඒ අතුරින් තෝරාගත් නවක ව්‍යාපාර 8ක් සඳහා මගපෙන්වීම් ලබාදීමටත් හේමාස් සහ Hatch සමාගම් අපේක්ෂා කරයි. එම උපදේශන වැඩසටහන්  Hatch සමාගම විසින් මෙහෙයවන ලද අතර, අධ්‍යාපනික-තාක්ෂණය (Edu-tech), පාරිභෝගික භාණ්ඩ (FMCG), සෞඛ්‍ය සත්කාර (Healthcare ) සහ සැපයුම් (Logistics) යන ක්ෂේත්‍රවලට අයත් නවක ව්‍යාපාර 25 ක් සවිබල ගන්වමින් හා නවෝත්පාදනය දිරිගන්වමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට තවදුරටත් දායකවීමට මෙම වසර තුළදීත් හේමාස් සහ Hatch සමාගම් අපේක්ෂා කරයි.

සාර්ථකත්වයේ දිගුකාලීන ඉතිහාසයක් හිමි විවිධාගීකරණය වූ සේවා සමූහයක් සපයන ආයතනයක් ලෙස හේමාස් හෝල්ඩිංග්ස්, නිරන්තරව වෙනස්වන ව්‍යාපාරික ලෝකය තුළ තිරසාර සාර්ථකත්වයක් උදෙසා නවෝත්පාදනයේ වැදගත්කම ඉතා හොඳින් හඳුනන ආයතනයකි. එබැවින් පසුගිය වසරේ සැමරූ හේමාස් හෝල්ඩිංග්ස්හි  75 වැනි සැමරුමට සමගාමීව  නවක  ව්‍යාපාර 75ක් සඳහා අත්වැලක් වීම අරමුණු කරගනිමින් මෙලෙස Hemas x Hatch Slingshot  Accelerator වැඩසටහන  දියත් කිරීමට කටයුතු කර තිබේ.‍ මෙලෙස තෝරාගත් නවක ව්‍යාපාරයන්ගේ සාර්ථකත්වය වෙත යන ඉලක්කයන් පෝෂණය කිරීම මෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වන ව්‍යාපාර දක්වා ඒවා ගෙනයාම සහතික කරමින් මෙම ආරම්භය ගෙන තිබේ.

Hemas x Hatch Slingshot Accelerator වැඩසටහන සකස්කර තිබෙන්නේ සම්බන්ධ වන සියළු පාර්ශ්වකරුවන් වෙත ප්‍රතිලාභ හිමිවන ආකාරයෙනි. ඒ අනුව මෙම වැඩසටහන සඳහා සම්බන්ධවන නවක ව්‍යාපාර වලට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමි වේ. උපදේශනය හා මගපෙන්වීම ද සුවිශේෂී සම්පත්දායකයන් හා එක්ව කටයුතු කරන්නටත්, හේමාස් සමාගමේ පුළුල් ජාලයට පිවිසීමටත් මෙහිදී ලැබෙන අවස්ථාව ඔවුන්ගේ සාර්ථකත්වය වෙත යන ගමන තවදුරටත් වේගවත් කරනු ඇත. අනෙක් අතට හේමාස් හි අනාගත වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබමින්  ඔවුන්ද නව්‍ය අදහස් හා තාක්ෂණයන්ට නිරාවරණය වෙයි. මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාව තුළ වඩා යහපත් නවක  ව්‍යාපාර පද්ධතියක් නිර්මාණය කිරීම මෙන්ම රට අභ්‍යන්තරයේම රැකියා උත්පාදන අවස්ථා නිර්මාණය කිරීමද සිදුකරනු ඇති අතරම ජාතික ආර්ථික වර්ධනය කෙරෙහිද විශාල දායකත්වයක් දක්වනු ඇත.

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ප්‍රධාන ක්‍රමෝපාය සහ වර්ධන නිලධාරී රිස්නි ෆයිසාල් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “Hemas x Hatch Slingshot පළමු වැඩසටහනට ලැබුණු දැවැන්ත ප්‍රතිචාර සමඟ අපට පෙනුනේ, ශ්‍රී ලංකාවේ නවක ව්‍යාපාර ක්ෂේත්‍රය ආරම්භක අවස්ථාවේ සිටම දැවැන්ත වර්ධන හැකියාවක් සඳහා විභවයක් සහිත අංශයක් බවයි. Slingshot 2.0 යනු, මුල් වැඩසටහනේම ක්‍රමෝපායික දිගුවක් ලෙස හැඳින්වීමට පුළුවන්. අධ්‍යාපනික-තාක්ෂණය  (Edu-tech),  පාරිභෝගික භාණ්ඩ (FMCG), සෞඛ්‍ය සත්කාර (Healthcare) සහ  සැපයුම් (Logistics) යනාදී  ක්ෂේත්‍ර තුළ ඉහළ වර්ධන හැකියාවක් සහිත නවක ව්‍යාපාරවලට සහයෝගය ලබාදීම තුළින් අප උත්සාහ කරන්නේ, තීරණාත්මක අභියෝගවලට විසඳුම් සැපයීමේ හැකියාව  සහ නවෝත්පාදනයන් සඳහා උනන්දුවන්නන් වෙනුවෙන් අවස්ථා උදාකර දීමටයි. මෙය වේගවත් හා ගතික ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යාමේ හේමාස් සතු දීර්ඝකාලීන දැක්ම වෙනුවෙන් ගනු ලබන තවත් එක් ප්‍රයත්නයක් ලෙස පෙන්වා දිය හැක. ආරම්භයේ සිටම නිසි බලගැන්වීම මගින් නවක ව්‍යාපාර, හුදෙක් සාර්ථක ව්‍යාපාර බවට පත්වීමට එහා ගිය, ප්‍රගතියේ ගාමක බලවේග බවට පත්වෙමින්, රැකියා නිර්මාණය කිරීමටත්, මූල්‍ය අන්තර්කරණය පුළුල් කිරීමටත්, සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන් වඩාත් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට දායකවන බව අප විශ්වාස කරනවා.”

Hatch Works (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙවන් පීරිස් මහතා මෙසේ අදහස් පළකළේ ය. “හේමාස් සමූහය සමග අප ඇතිකරගෙන තිබෙන හවුල්කාරීත්වය, රටේ නවක ව්‍යාපාරවලට දියුණුවේ අවස්ථා උදාකර දීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. හේමාස් වැනි දැවැන්ත සහ විවිධාංගීකරණය වූ සමාගමක් ක්‍රියාත්මක වන ආකාරය අවබෝධ කරගැනීම නවක ව්‍යාපාරවලට අතිශයින් වැදගත්. Slingshot 2.0 සමගින් අප උත්සාහ කරන්නේ, මෙම නව ව්‍යාපාරවලට දියුණුවේ මීළඟ පියවර කරා ගමන් කිරීමට අවශ්‍ය අත්වැල ලබාදෙමින් එම ව්‍යාපාර ක්ෂේත්‍රයන් තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය මගපෙන්වීම හා සම්පත් දායකත්වය ලබාදීමයි. එමෙන්ම මෙම හවුල්කාරීත්වය මගින්, නවෝත්පාදන විසඳුම් සහිත ව්‍යාපාරවලට, වෙළෙඳපොළ තුළ සාර්ථක වී ඇති හේමාස් සමූහයට අයත් සමාගම් සමග සම්බන්ධ වීමට අවස්ථාව සලසා දීමට අපට හැකියාව ලැබෙනවා.”

Hemas x Hatch Slingshot 2.0 Accelerator වැඩසටහන සඳහා අයදුම්පත් භාරගැනීම දැන් විවෘතව පවතින අතර, නවක ව්‍යාපාරවලට www.slingshot.lk වෙබ් අඩවිය හරහා ඒ සඳහා අයදුම් කළ හැකි වේ. විධිමත් තෝරාගැනීමේ ක්‍රියාවලියකින් අනතුරුව, අනාගත සාර්ථකත්වය සඳහා ඉහළම සම්භාවිතාවක් ඇති ව්‍යාපාර මේ සඳහා තෝරාගැනෙනු ඇත.

Hemas x Hatch Slingshot 2.0 වැනි ව්‍යවසාය ක්ෂේත්‍රයේ වේගය තීව්‍ර කරවන වැඩසටහන් පවත්වා ගනිමින් ශ්‍රී ලංකාව තුළ වඩා දියුණු ව්‍යවසායක පද්ධතියක් නිර්මාණය කිරීමට හේමාස් සමූහය සහ Hatch තව දුරටත් කැප වී සිටියි.  මෙම කැපවීම, රටේ සංවර්ධනය සහ තිරසාර ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය සතු පොදු දැක්ම තුළින් පන්නරය ලබන්නකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *