January 13, 2025
පෞද්ගලික බැංකු ක්ෂේත්‍රයේ විශාලතම ණයකර නිකුතුව වූ කොමර්ෂල් බැංකුවේ ණයකර නිකුතුව ආරම්භක දිනයේදීම අධිදායක වෙයි
පුවත්

පෞද්ගලික බැංකු ක්ෂේත්‍රයේ විශාලතම ණයකර නිකුතුව වූ කොමර්ෂල් බැංකුවේ ණයකර නිකුතුව ආරම්භක දිනයේදීම අධිදායක වෙයි

Jul 5, 2024

පෞද්ගලික බැංකුවක් මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ මෙතෙක් විශාලතම ණයකර නිකුතුව ලෙස කොමර්ෂල් බැංකුවේ ණයකර නිකුතුවේ ආරම්භක දිනය වූ 2024 වසරේ ජූලි මස දෙවන දිනය තුලදීම අධිදායක වීමෙන් අවසන් කර ඇත. මෙසේ රුපියල් බිලියන 20ක් රැස් කිරීමට සමත් වීම ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව කෙරෙහි ආයෝජක විශ්වාසය පෙන්නුම් කරන්නකි.

ණයකර අධිදායක වීම නිවේදනය කරමින් බැංකුව කියා සිටියේ රුපියල් බිලියන 10ක ආරම්භක නිකුතුව සඳහා එම අගය මෙන් තෙගුණයකට වඩා වැඩි අයදුම්පත් සංඛ්‍යාවක් ලැබීමෙන් නිකුතුවේ සියලු විකල්ප ක්‍රියාත්මක කරමින් රුපියල් බිලියන 20ක් රැස් කරගැනීමට තීරණය කළ බවයි.

මෙම නිකුතුව අධිදායක වීම පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේය. “මෙය ආයතනික සහ තනි ආයෝජකයන්ගේ බැංකුව පිළිබඳ ඇති විශ්වාසය පෙන්නුම් කරයි. පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා ලෙස ශක්තිමත් පාලනයක මූලිකාංග සහ තිරසාර මූල්‍ය කාර්ය සාධනය පදනම් කර ගනිමින් අප විසින් සූක්ෂමව සකසන ලද උපායමාර්ගික සිතියම පිළිබඳ ඔවුන්ගේ නොසැලෙන විශ්වාසයට මෙය සාක්ෂියක් වනවා.”

බාසල් III අනුකූලතාවයට යටත්ව නිකුත් කළ දෙවන පෙළ ලැයිස්තුගත සහ වර්ගීකරණය කළ ඇප රහිත ණයකරයක වටිනාකම රුපියල් 100කි. බැංකුව ඉදිරිපත් කරන ලද ණයකර මිලියන 100ක මූලික නිකුතුව අධිදායක වූ විට තවත් ණයකර මිලියන 50ක් දක්වා නිකුත් කිරීමටත්, ආරම්භක නිකුතුවේ සහ දෙවන වාරිකයේ අධිදායකත්වයක් හමුවේ බැංකුවේ අභිමතය පරිදි තවත් ණයකර මිලියන 50ක් දක්වා නිකුත් කිරීමට විකල්ප යොදා තිබුණි.

2024 වර්ෂයේ මාර්තු 31 වන දිනට අවසන් වූ මාස තුන සඳහා කොමර්ෂල් බැංකු සමුහය රුපියල් බිලියන 80.208ක වාර්තාගත දළ ආදායමක්, රුපියල් බිලියන 34.947ක මුළු මෙහෙයුම් ආදායමක්, රුපියල් බිලියන 16.738ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 10.808ක ශුද්ධ ලාභයක් වාර්තා කළ අතර වත්කම් රුපියල් ටි‍්‍රලියන 2.616 දක්වාත්, ණය සහ අත්තිකාරම් එකතුව රුපියල් ටි‍්‍රලියන 1.316ක් දක්වාත්, මුළු තැන්පතු රුපියල් ටි‍්‍රලියන 2.141 දක්වා වර්ධනය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close