July 27, 2024
තිරසාර බව උදෙසා වූ කැපවීම සංකේතවත් කරමින් කොමර්ෂල් බැංකුවේ නවමු ලාංඡනය එළිදකියි
පුවත්

තිරසාර බව උදෙසා වූ කැපවීම සංකේතවත් කරමින් කොමර්ෂල් බැංකුවේ නවමු ලාංඡනය එළිදකියි

Jan 1, 2024

කොමර්ෂල් බැංකුව සංකේතානුසාරයෙන් මෙන්ම වචනානුසාරයෙනුත් තිරසාර බව සඳහා වූ කැපවීම හුවා දක්වමින් 2024 වසර ආරම්භ කර ඇත.

දුටු පමණින් හඳුනා ගතහැකි නිල් පාටින් යුත් කොමර්ෂල් බැංකු ලාංඡනයට මින් පසු කොළ පැහැ අංගයක්ද එකතු වේ. ඒ තිරසාර බව, විවිධත්වය, අන්තර්ගතකරණය, යහ පාලනය, විනිවිදභාවය, සමාජ සමානාත්මතාව, වගවීම හා පරිසර හිතකාමී විසඳුම් ආදී වූ බැංකුවේ බහුවිධ කැපවීම පෙන්නුම් කරමින් බව බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: “තිරසාර බව සඳහා වූ අපගේ කැපවීම හුදෙක් අලංකරණ වචනයක් නොවේ. එය අපගේ තීන්දු තීරණ, ක්‍රියාවන් හා අපි ලබාදෙන සේවාවන්ට ආභාෂය ලබා දෙමින් අපගේ DNA තුළට මුල් බැසගෙන තිබේ. අපි සිදු කරන සියළුම කාර්යන්වලදී අප තිරසාර බැංකුවක් වන අතර සිය ආයතනික අනන්‍යතාවය තුළ එම කැපවීම ප්‍රකාශනය කළ ශ්‍රී ලංකාවේ පළමු ආයතනය වේ. අපගේ පාර්ශවකරුවන්, සේවානියුක්තිකයින්, ගනුදෙනුකරුවන්, කොටස් හිමියන් හා ව්‍යාපාරික හවුල්කරුවන් එය බැලූ බැල්මට අවබෝධ කර ගැනිම අපට අවශ්‍යයි.”

“නව ලාංඡනය අපගේ සියළුම මෙහෙයුම් තුළ හා අප ව්‍යාපාර කරන ආකාරය තුළ පූර්ණ තිරසාරත්වය සඳහා වූ අපගේ කැපවීම පිළිබිඹු කරයි. කඩදාසි රහිත ගනුදෙනු, වගකිවයුතු අනුකූලතා පිළිවෙත් සහ මෙහෙයුම් වලදී බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම ආදී ක්‍රියාවන් මෙයට අයත් වනවා,” යනුවෙන් මනතුංග මහතා තවදුරටත් පැවසීය.

බැංකුව සිය තිරසාර ක්‍රියාකාරකම් සඳහා නියමු ප්‍රතිපත්තිය ලෙස ඉතා පරීක්ෂාකාරී ලෙස සකස් කරන ලද තිරසාර උපාය මාර්ග සැලැස්මක් අනුගමනය කරයි. එම උපාය මාර්ගයේ ප්‍රධාන කුළුණු තුන වන්නේ තිරසාර බැංකුකරණය, වගකීම් සහගත සංවිධානත්වය හා ප්‍රජා බලපෑම වේ. මෙම කුළුණු තුන යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර නවයක් තිබේ. ඒවා නම් වගකීම් සහගත මූල්‍යකරණය, මූල්‍ය අන්තර්ගතකරණය, තිරසාර නිෂ්පාදන හා සේවා, හරිත හා ආරක්ෂිත සේවා ස්ථානය, සේවා ස්ථාන සංස්කෘතිය, සමාජ ව්‍යවසාය, සමාජ සහභාගීත්වය, සහ පරිසර සහභාගීත්වය යි.

බැංකුව පැවසුවේ මෙම ප්‍රධාන ක්ෂේත්‍ර සියල්ල, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සකස් කරන ලද තෝරාගත් තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) හතක් සමඟ ගළපා ඇති බවයි. ඒවා නම් ගුණාත්මක අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, දැරිය හැකි සහ පරිසරය දූෂණය නොකරන නොහොත් පිරිසිදු බලශක්තිය, ශිෂ්ඨ සම්පන්න කර්තව්‍යන් හා ආර්ථික වර්ධනය, කර්මාන්තය, නවෝත්පාදන හා යටිතල පහසුකම්, වගකීම් සහගත පරිභෝජනය හා නිෂ්පාදනය සහ ඉලක්ක සඳහා පාර්ශවකාරීත්වය යි.

තම තිරසාර ඉලක්කවලට අනුව යමින් කොමර්ෂල් බැංකුව විසින් තිරසාර උපාය මාර්ග සකස් කිරීම හා ඉහළ වැදගත්කමක් ඇති තීන්දු තීරණ ගැනීම සඳහා වෙන්වූ  විධායක තිරසාර කමිටුවක් පිහිටුවා ඇත. බැංකුවේ සියළුම මූලික ව්‍යාපාරික අංශවල නියෝජනයෙන් සැදුම් ලත් මෙම විධායක තිරසාර කමිටුවට පැවරුණු කාර්යභාරය වන්නේ සම්මත කරගත් උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීම වේ. කාර්යමණඩලයේ සහභාගීත්වය සහ දැනුවත්භාවය උපරිම ලෙස ලබා ගැනීම උදෙසා බැංකුව මගින් හොඳම තිරසාර ශාඛාව සහ හොඳම තිරසාර දෙපාර්තමේන්තුව සඳහා සම්මාන ප්‍රදානෝත්සවයක් හඳුන්වා දී තිබේ. තවද, ආයතනය තුළ තිරසර සංස්කෘතියන් ඇති කිරීම සඳහා සේවකයින් සහභාගී කරගැනීමට විවිධ ව්‍යාපාරික ඒකකවලින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ අයවලුන්ගෙන් සැදුම්ලත් තිරසර කණ්ඩායමක් ද පිහිටුවා ඇත.

පරිසර හිතකාමී නිමැවුම්වලට අනුබල දෙන මූල්‍යකරණ නිෂ්පාදන, හරිත ව්‍යාපාරික මෙහෙයුම් සහ තිරසාර ඉදිකිරීම් සඳහා බැංකුව විසින් IFC, ආසියානු සංවර්ධන බැංකුව (ADB), ගෝලීය හරිත වර්ධන ආයතනය (GGGI), සහ ශ්‍රී ලංකා හරිත ඉදිකිරීම් කවුන්සිලය (GBCSL) යන ආයතන සමඟ සහයෝගීතාවයන් වලට ද එළඹ තිබේ.

පාරිසරික තිරසාරභාවයට අදාළව බැංකුව විසින් දවයින පුරා පැළ 100,000ක් සිටුවීමේ අරමුණින් රුක් රෝපණ වැඩසටහනක් දියත් කර ඇති අතර පානම කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියකට ද සහය දක්වයි. තවද, බැංකුව විසින් කඩොලාන ප්‍රතිරෝපණය, වන ප්‍රතිරෝපණය හා කොරල්පර ප්‍රතිස්ථාපනය යන වැඩසටහන් වලට මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන අතරතුර වෙරළ තීරයක් සහිත ප්‍රදේශයක් නඩත්තු කිරීම ද සිදු කරයි. මීට අමතරව, විවිධ ගැනුම්කරු කාණ්ඩ අතර කඩදාසි රහිත බැංකුකරණය ප්‍රචලිත කිරීමෙහි සැළකිය යුතු දියුණුවක් ලබා ඇති අතර ශාඛා 80 කට වැඩි ප්‍රමාණයක සූර්ය බලශක්තිය ස්ථාපිත කර ඇත.

ණය දෙන ව්‍යෘපෘති සඳහා පුළුල් සමාජයීය සහ පාරිසරික කළමනාකරණ පද්ධති රාමුවක් (SEMS) මඟින් පාරිසරික අවදානම් තක්සේරු කිරීම ආරම්භ කිරීමේ පුරෝගාමියා වූයේ ද කොමර්ෂල් බැංකුවයි. ඒ හා සමානවම සැපයුම්කරුවන් තෝරාගැනීම සහ ඇගයීම් ක්‍රියාවලියක් මඟින් එහි සැපයුම් දාමයේ සමාජයීය සහ පාරිසරික බලපෑම් ද විමර්ශනය කරයි. තවද, බැංකුවේ මෙහෙයුම් කටයුතු කෙරෙහි ආර්ථික, පාරිසරික, සමාජයීය, මානව හිමිකම්, ප්‍රජාව හා නිෂ්පාදන වගකීම් වැනි අංශ වලින් ඇති වන බලපෑම සහ ඒවායේ භෞතිකභාවය බැංකුවට හා අදාල පාර්ශවකරුවන්ට ඇති කරන බලපෑම ද තක්සේරු කරනු ලැබේ. කොමර්ෂල් බැංකුවේ ණය පිළිබඳ ප්‍රතිපත්තිය සහ ණය දීමේ මාර්ගෝපදේශ තුළින් පරිසරයට අහිතකර ලෙස බලපාන ගනුදෙනු සහ ක්‍රියාකාරකම් අවම කරමින් බැංකුවට “වගකිවයුතු ණය දෙන්නෙකු” වීමට අවශ්‍ය ප්‍රතිපත්ති පැහැදිලිව පෙන්වා දෙයි.

ඩිජිටල් බැංකු ක්ෂේත්‍රයේ අලුත් මංපෙත් සාදන්නෙකු වන කොමර්ෂල් බැංකුව, බැංකුකරණය විප්ලවීකරණය කර තිබේ. ඒ පාරිභෝගිකයින්ට උපරිම පහසුකම් සලසමින් අති නවීන ආරක්ෂක විශේෂාංග හා පරිශීලක හිතකාමී අතුරුමුහුණත් සහිත නවොත්පාදක හා අන්තර්ගතකරණය වූ නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමෙනි. කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් නිෂ්පාදන, බැංකු ක්ෂේත්‍රයේ වැඩිම ගනුදෙනුකරුවන් පිරිස අත් කරගෙන ඇත. බැංකුවේ සමාජ සත්කාරක භාරය විසින් ශ්‍රී ලාංකේය පාසල් දරුවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම, රජයේ සෞඛ්‍ය සේවා අංශය සඳහා අත්‍යවශ්‍ය වූ යටිතල පහසුකම් සැපයීම, සහ පරිසර සංරක්ෂණ ව්‍යාපෘති කිරීමට ද අමතරව බැංකුව විසින් සමාජ ව්‍යවසාය අංශය කෙරෙහි ද අවධානය යොමු කරනු ලබයි. එවැනි මෑතකාලීන ව්‍යාපෘති අතර බැංකුව විසින් IFC, ඕස්ටේ‍්‍රලියානු රජය සහ සර්වෝදය සමඟ එක්ව මඩකලපුවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ එක්ව හෙට්ටිපොල ගම්මානයට ආහාර විජලකාරක යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම වේ.

බැංකුවේ මෙම ආදර්ශමත් වූ ආයතනික පුරවැසිභාවය හා යහපාලනය සඳහා වූ නොසැලෙන කැපවීම වසර ගණනාවක් පුරාවට ජාත්‍යන්තරව මෙන්ම දේශීයව ද සම්මාන හා ගෞරවනාම රැසකින් පිදුම් ලබමින් පීළිගැනීමට ලක්ව ඇත.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

1 Comment

  • It?¦s really a great and useful piece of info. I am glad that you simply shared this helpful info with us. Please stay us informed like this. Thank you for sharing.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *