July 27, 2024
කොමර්ෂල් බැංකුවේ යාපනය ශාඛාවට හරිත ගොඩනැගිලි කවුන්සිලයෙන් ප්ලැටිනම් සම්මානයක්
පුවත්

කොමර්ෂල් බැංකුවේ යාපනය ශාඛාවට හරිත ගොඩනැගිලි කවුන්සිලයෙන් ප්ලැටිනම් සම්මානයක්

Jan 30, 2024

ගොඩනැගිලිවල පරිසර හිතකාමී බව අගයන ශ්‍රී ලංකාවේ ඉහළම සම්මානය වන හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් ප්‍රදානය කරන ප්ලැටිනම් වර්ගීකරණය ලබා ගැනීමට කොමර්ෂල් බැංකුවේ යාපනය ශාඛාව පසුගියදා සමත්ව තිබේ.

2023 GBCSL සම්මාන උළෙලේ දී මෙම ගෞරව සම්මානය පිරිනමන ලද අතර, කොමර්ෂල් බැංකුවට කවුන්සිලයේ 2023 හරිත ව්‍යාපාර නායකත්ව සම්මානය සඳහා බැංකු අංශයේ විශේෂ ගෞරවනීය සඳහන ද ලැබුණි.

GBCSL සම්මානයක් ලබා ගත් කොමර්ෂල් බැංකුවේ තුන්වන ශාඛාව යාපනය ශාඛාව යි. කවුන්සිලය විසින් 2022 වර්ෂයේ දී බැංකුවේ ත්‍රිකුණාමලය ශාඛාවට රන් වර්ගීකරණය හා ඓතිහාසික ගාලු කොටුවේ පිහිටි කොමර්ෂල් බැංකු ගොඩනැඟිල්ලට 2020 දී ප්ලැටිනම් වර්ගීකරණය ද පිරිනමන ලදී.

කොමර්ෂල් බැංකුවේ යාපනය ශාඛාව පිහිටි අංක 474, රෝහල පාර, යාපනය යන ස්ථානයේ ඇති ගොඩනැඟිල්ල බැංකුව සතු වූයේ 1973 දී බැංකුව ඉන්දියාවේ මර්කන්ටයිල් බැංකුවේ ශාඛා තුනක් අත්පත් කරගැනීමත් සමඟ ය. එය 2020-21 හි දී ප්‍රතිනිර්මාණය හා ප්‍රතිසංස්කරණය කර පරිසර හිතකාමී මෙහෙයුම් සිදු කිරීම උදෙසා ම නැවත ගොඩනංවා ඇත.

විදුලි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රතිශතයක් උත්පාදනය කිරීම වෙනුවෙන් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධිත 100 kW සූර්ය පැනල පද්ධතියක් මෙම ගොඩනැගිල්ලේ වහලය මත සවිකර තිබේ. තවද මෙහි වැසි ජලය එක් රැස් කිරීමේ ස්ථානයක්ද ගොඩනගා තිබේ. මීට අමතරව, ගෙවත්තට ජලය සපයන වාරි පද්ධතිය සඳහා ජලය සැපයීමට අපජලය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ඔවුන්ගේ ම අපවහන ජල පවිත්‍රාගාරක් සහ අපද්‍රව්‍ය කළමණාකරණ පද්ධතියක් ද මෙහි ස්ථාපිත කර ඇත. එසේම, බලශක්ති පරිභෝජනය තවදුරටත් අඩු කරමින් දහවල් කාලයේ දී ස්වභාවික ආලෝකය උපරිම අයුරින් භාවිතා වන අයුරින් මෙම ගොඩනැගිල්ල සැලසුම් කර ඇත. බලශක්ති පිරිමැසුම්දායක වායු සමීකරණ හා ජල පිරිමැසුම්දායක නානකාමර උපාංග ආදියෙන් සමන්විත වීම නිසා ගොඩනැගිල්ලේ හරිත අනන්‍යතාවය තවත් උසස් වේ. මීට අමතරව, එය ඉදිකිරීමට යොදාගෙන ඇත්තේ හරිත ලේබලය සහිත ද්‍රව්‍ය යි. 

GBCSL හරිත ව්‍යාපාර නායකත්ව සම්මානය තුළින් තිරසාරභාවය කෙරෙහි කොමර්ෂල් බැංකුවේ විවිධ දිශාවන් ඔස්සේ ඇති කැපවීම ඇගයිමට ලක් කරයි. ඒවා නම්, එහි හරිත බැංකුකරණ භාවිතයන්, හරිත සහතික පත්‍ර, දැනට ක්‍රියාත්මක වන පරිසර හිතකාමී වැඩ පිළිවෙල, බැංකුව සම්බන්ධ වන ස්වේච්ඡා සේවාවන් හා CSR ක්‍රියාකාරකම්, තිරසාර බව වෙනුවෙන් ලබාගත් සම්මාන, තිරසාර බව සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශන, බැංකුව විසින් පවත්වනු ලබන හරිත අධ්‍යාපන හා දැනුවත් කිරීමේ වැඩසටහන්, පරිසරය හා සම්බන්ධ නව නිපැයුම් හා ගොඩනගන ලද තිරසාර වාතාවරණ, සහ ගනුදෙනුකරුවන් අතර හරිත සංකල්ප ප්‍රචලිත කිරීම යනාදිය යි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *