July 27, 2024
කොමර්ෂල් බැංකුවේ ‘තුරු පිරි රටක්’ තිරසාර වැඩපිළිවෙල යටතේ තවත් ගස් 100,000ක් සිටුවීමේ ව්‍යාපෘතියක්
පුවත්

කොමර්ෂල් බැංකුවේ ‘තුරු පිරි රටක්’ තිරසාර වැඩපිළිවෙල යටතේ තවත් ගස් 100,000ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

Nov 15, 2023

කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා ගස් 100,000ක් සිටුවීමේ රුක් රෝපණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, මෙය එක්සත් ජාතීන්ගේ පැරිස් ගිවිසුම යටතේ නිර්වචනය කරන ලද ජාතික දේශගුණික ප්‍රතිඥාවන් සාක්‍ෂාත් කර ගැනීමේ ක්‍රියාවලියක් ලෙසින් සැලකෙයි.

‘තුරු පිරි රටක්’ වැඩසටහන ජාතික රුක් රෝපණ දිනය යෙදෙන නොවැම්බර් 15දාට දින හතරකට පෙර එනම් නොවැම්බර් 11 වැනිදා ආරම්භ කරන ලද අතර, දිස්ත්‍රික් 12ක ස්ථාන 17ක් තුළ ගස් 12,000ක් සිටුවා එක් දිනක් තුළ ඉලක්කයෙන් 12%ක් සම්පූර්ණ කෙරිණි. කොමර්ෂල් බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 1000කට අධික පිරිසක් මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා සහභාගී වූහ.

වැඩසටහන දියත් කිරීමේ මුල් දිනයේදී පැළ සිටුවීම සඳහා තෝරාගත් ස්ථාන අතරට, සිංහරාජ වනාන්තරයේ ගිගුරුව, හන්තාන කඳුවැටියේ පහළ බෑවුම, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පරිශ්‍රය, බෙල්ලන්විල අත්තිඩිය කුරුළු අභය භූමිය, තිස්සමහාරාම වැව ඉවුර, නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය සහ විශ්වවිද්‍යාල කිහිපයක භූමිභාගයන්ද අයත් විය.

රටපුරා තෝරාගත් ස්ථානවල ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා යුද හමුදාව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාල ආයතන විසින් මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන ඉඩම් ලබාදෙන අතර, ගස් ස්වයංපෝෂිත වන තෙක් ඒවා ආරක්‍ෂා කිරීමට සහ නඩත්තු කිරීමට බැංකුවට සහාය වීමද සිදුකරන බව බැංකුව පවසයි.

ජාතික පරිමාණයෙන් තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා සිදු කෙරෙන මෙම නවතම කැපවීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා තම අදහස් මෙසේ ප්‍රකාශ කළේය. ‘පරිසරයට කාබන් මුදාහැරීම තුලනය කළ රටේ ප්‍රථම බැංකුව බවට පත්වූ කොමර්ෂල් බැංකුව තිරසාරභාවය වචනයට පමණක් සීමා නොකරන බව දැනටමත් ඔප්පු කර පෙන්වා ඇත. පාරිසරික පුනර්ජීවනය සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම උදෙසා වන තවත් බොහෝ ව්‍යාපෘතීන් සඳහා බැංකුව අරමුදල් රැසක් සපයා ඇත. මෙම ‘තුරු පිරි රටක්’ ව්‍යාපෘතිය මගින් වාතයේ ගුණාත්මකභාවය, වර්ෂාපතනය සහ ජෛව විවිධත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි අපගේ අපේක්‍ෂාවයි. මෙම මුලපිරීම තිරසාර ක්‍ෂේත්‍රය තුළ බැංකුවේ පාරිසරික අරමුණු සාක්‍ෂාත් කර ගැනීමක් පමණක් නොව, වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස රටේ දේශගුණික අරමුණු සාක්‍ෂාත් කර ගැනීම උදෙසාද බැංකුවේ මෙහෙවර ඉටු කිරීමක් ලෙස සැලකිය හැකියි.’

කොමර්ෂල් බැංකුව අනුග්‍රහය දක්වන අනෙකුත් සැලකිය යුතු පරිසරය හා සම්බන්ධ ව්‍යාපෘති අතර, දිඹුලාගල, කන්දේගම වනාන්තරයට අයත් හෙක්ටයාර 100ක විනාශ වී ගිය වාසභූමියක නැවත වනවගාව සිදුකිරීම, කොග්ගල කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, පානම සමුද්‍ර කැස්බෑ සංරක්‍ෂණ වැඩසටහන සහ Biodiversity Sri Lanka සමාගම සහ එක්ව කරන කළුතර වෙරළ තීරය පිරිසුදු කිරීමේ ව්‍යාපෘතියද අයත් වෙයි.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *