මීළඟ ඩොලර් බිලියන 3 හඹා යන ඇඟලුම් කර්මාන්තය
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද?
පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි.
එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට රජය සහ කර්මාන්තය එක්ව ගෙන ගිය සැලසුම්ගත වැඩපිළිවෙළක් එහි පිටුපස තිබුණි.
එම පළමු විශාල පරිවර්තනයේ ප්‍රධාන සන්ධිස්ථානය වූයේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහනයි. එමගින් කොළඹ සහ නාගරික ප්‍රදේශවලට සීමා වී තිබූ ඇඟලුම් නිෂ්පාදනය රටේ ග්‍රාමීය ප්‍රදේශ වෙත ගෙන ගියේය. ගම්වල නව රැකියා බිහි විය. කාර්මික හැකියාව ගොඩනැගුණි. අදත් කර්මාන්තය රඳා පවතින ශක්තිමත් නිෂ්පාදන පදනමක් එම යුගයේදී නිර්මාණය විය.
එම වැඩපිළිවෙළ සාර්ථක වූයේ රජය සහ කර්මාන්තය එකිනෙකට වෙනස් මාර්ගවල ගමන් නොකළ නිසාය. දෙපාර්ශ්වයම එකම ඉලක්කයක් වෙනුවෙන් එක්ව ක්‍රියා කරන ලදි.
අද ඇඟලුම් කර්මාන්තය නැවතත් එවැනිම රජය ඒකාබද්ධ ප්‍රවේශයක් බලාපොරොත්තු වෙයි. නමුත් මෙවර මුහුණ දෙන අභියෝග මීට වසර තිහකට පෙර පැවති ඒවාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය.
ශ්‍රී ලංකා රජය මේ වනවිට අභිලාෂකාමී ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් (NEDP) ඉදිරිපත් කර තිබේ. එහි ඉලක්කය වන්නේ 2025දී ඩොලර් බිලියන 13.6ක් වූ භාණ්ඩ අපනයන ආදායම 2030 වනවිට ඩොලර් බිලියන 28ක් දක්වා ඉහළ නැංවීමයි.
මෙම ජාතික ඉලක්කයට සමගාමීව, ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 8ක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයක් JAAF විසින් ද ඉදිරිපත් කර තිබේ. එහෙත් එය පහසු ගමනක් නොවේ. පසුගිය වසර පහක පමණ කාලය තුළ මෙරට ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5 සීමාව ආසන්නයේ රැඳී තිබීමෙන් පෙනී යන්නේ කර්මාන්තය ගැඹුරු ව්‍යුහාත්මක අභියෝගයකට මුහුණ දී ඇති බවයි.
අතීතයේ කර්මාන්තය වර්ධනය කළ ආකෘතිය අද එහි සීමාවට පැමිණ තිබේ. ඒ නිසා ඩොලර් බිලියන 5 සිට 8 දක්වා යන මීළඟ ගමන, තවත් කම්හල් කිහිපයක් විවෘත කිරීමෙන් හෝ නිෂ්පාදන ප්‍රමාණය පමණක් වැඩි කිරීමෙන් සාර්ථක කරගත නොහැක. ඒ සඳහා කර්මාන්තයේ නව පරිවර්තනයක් අවශ්‍යය.
වටිනාකම් එකතු කිරීම, නවෝත්පාදනය, ස්වයංක්‍රීයකරණය, ඵලදායිතාව ඉහළ නැංවීම, නව අපනයන වෙළෙඳපොළ සොයා යාම සහ ගෝලීය වටිනාකම් දාමයේ තවදුරටත් ඉහළට ගමන් කිරීම එම පරිවර්තනයේ ප්‍රධාන අංග විය යුතුය. වසර තිහකට පෙර ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ වර්ධනය තීරණය කළේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම තුලින්ය.
තරගය වෙනස් වී ඇත
ගෝලීය ඇඟලුම් වෙළෙඳපොළේ තරගය වර්තමානය වන විට වෙනස් වී තිබේ.
වඩාත් ගැඹුරු දේශීය සැපයුම් දාම, පුළුල් වෙළෙඳ ප්‍රවේශය සහ අඩු නිෂ්පාදන පිරිවැය ඇති දැවැන්ත නිෂ්පාදන රටවල් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියට ගොස් ඇත.
එමෙන්ම ස්වයංක්‍රීයකරණය, ඩිජිටල්කරණය සහ තිරසර නිෂ්පාදනය අද තරගකාරී වාසියක් ලබාදෙන අමතර පහසුකම් ලෙස තවදුරටත් සැලකිය නොහැක. ඒවා කර්මාන්තයේ රැඳී සිටීමට අවශ්‍ය මූලික කොන්දේසි බවට පත්ව ඇත.
එබැවින් එක් කරුණක් පැහැදිලිය.
නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමෙන් පමණක් ශ්‍රී ලංකාවට තරගකාරී පරතරය නැති කළ නොහැකිය.
එසේ නම් කර්මාන්තය ඉල්ලා සිටින්නේ කුමක්ද?
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පෙන්වා දෙන්නේ පළමුවෙන්ම ශ්‍රී ලංකාවට වඩාත් ශක්තිමත් ආයෝජන දිරිගැන්වීම් රාමුවක් අවශ්‍ය බවයි. එහි අරමුණ නව විදේශ සෘජු ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම පමණක් නොවේ. දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නිෂ්පාදකයන්ට තවදුරටත් මෙරට තුළ නැවත ආයෝජනය කිරීමට හේතු නිර්මාණය කිරීම ද ඒ තරමටම වැදගත්ය.
එම ආයෝජන ඇඟලුම් නිෂ්පාදන කම්හල්වලට පමණක් සීමා නොවිය යුතුය.
රෙදි නිෂ්පාදනය, යාන්ත්‍රික හා අලංකරණ උපාංග, ලේබල්, බොත්තම්, සිප් සහ ඇසුරුම් වැනි ක්ෂේත්‍ර ද ඇතුළත් වන පරිදි දේශීය නිෂ්පාදන පදනම පුළුල් කළ යුතුය.
මෙහි අරමුණු දෙකක් ඇත. එක් පැත්තකින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන ධාරිතාව වැඩි කළ යුතුය. අනෙක් පැත්තෙන් ආනයනික අමුද්‍රව්‍ය මත පවතින අධික රඳාපැවැත්ම අඩු කර, ශක්තිමත් දේශීය සැපයුම් දාමයක් ගොඩනැගිය යුතුය. විශේෂයෙන් කෘත්‍රිම නූල් සහ රෙදිපිළි සම්බන්ධයෙන් මේ අභියෝගය තවත් පැහැදිලිය. දේශීය නිෂ්පාදනයෙන් දැනට සපුරාලන්නේ සමස්ත අවශ්‍යතාවයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් පමණි. මෙය වෙනස් කිරීමට නම් ශ්‍රී ලංකාව ආයෝජකයාට ඉදිරිපත් කරන යෝජනාව තරගකාරී විය යුතුය.
වෙනත් රටවල් බදු සහන, වෙළෙඳ ප්‍රවේශය, කාර්මික කලාප, බලශක්ති පහසුකම් සහ වේගවත් අනුමැති ක්‍රියාවලීන් සමඟ ආයෝජකයන්ට ආකර්ෂණීය පැකේජ ලබාදෙන විට ශ්‍රී ලංකාවට පරණ ආයෝජන ආකෘතියක් මත රැඳී සිටිය නොහැක.
ආයෝජකයාට ශ්‍රී ලංකාව තෝරා ගැනීමට ප්‍රමාණවත් හේතුවක් නොමැති නම්, ආයෝජනය මෙරටට ගලා එන්නේ නැත.
ස්වයංක්‍රීයකරණය පිරිවැය කපා හැරීමක් පමණක් නොවේ
ඒ සමඟම ස්වයංක්‍රීයකරණය, රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් නිෂ්පාදනය සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට ද කර්මාන්තය තුළ ප්‍රබල මතයක් පවතී. කර්මාන්ත නායකයන් මෙය සේවක පිරිවැය අඩු කිරීමේ වැඩසටහනක් ලෙස නොදකී. ඔවුන්ගේ අවධානය යොමු වී ඇත්තේ ඵලදායිතාව ඉහළ නැංවීම වෙතය. එකම කාලයකදී, එකම සම්පත් ප්‍රමාණයකින්, වැඩි වටිනාකමක් සහිත නිෂ්පාදනයක් සිදු කළ හැකි නම් එය සමාගම් මට්ටමේ ලාභදායීතාවයට පමණක් නොව රටේ සමස්ත අපනයන ආදායම වැඩි කිරීමට ද දායක වෙයි.
අනෙක් අතට මෙය තරගකාරීත්වය පිළිබඳ ප්‍රශ්නයකි. ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයන් කිහිපයක් මේ වනවිටත් ස්වයංක්‍රීයකරණය, දත්ත පදනම් කරගත් නිෂ්පාදන පාලනය සහ AI තාක්ෂණය වෙත වේගයෙන් මාරු වී ඇත. ශ්‍රී ලංකාව එම පරිවර්තනය ප්‍රමාද කළහොත්, අද පවතින පරතරය අඩු කිරීම වෙනුවට තවත් පුළුල් වීමේ අවදානමක් ඇත. එබැවින් මීළඟ ඩොලර් බිලියන තුන සොයා යන ගමනේදී තීරණාත්මක ප්‍රශ්නය වන්නේ තවත් නිෂ්පාදනය කරනවාද යන්න නොව, වඩාත් ඵලදායීව, තාක්ෂණිකව සහ තරගකාරීව නිෂ්පාදනය කරන්නේ කෙසේද යන්නයි.
වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් නොකර ඩොලර් බිලියන 8ට යා නොහැක
වෙළෙඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉල්ලීම් පැහැදිලිය. 2027දී යුරෝපා සංගමයේ නව GSP+ සහන යෝජනා ක්‍රමය සඳහා ශ්‍රී ලංකාව අයදුම් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතුය. එක්සත් ජනපදය සමඟ වඩාත් වාසිදායක වෙළෙඳ ගිවිසුමක් හෝ ප්‍රමුඛතා සහිත වෙළෙඳ ප්‍රවේශයක් ලබාගැනීම සඳහාද ක්‍රියා කළ යුතුය. ඒ සමඟම ඉන්දියාව සමඟ දැනට පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම තවදුරටත් ශක්තිමත් කිරීමත් වැදගත්ය.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අදහස වන්නේ ශ්‍රී ලංකාව මෙතැනින් නතර නොවිය යුතු බවයි. දකුණු කොරියාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි වෙළෙඳපොළ සමඟ නව වෙළෙඳ සාකච්ඡා ආරම්භ කළ යුතුව ඇත. ඒ සඳහා රජය සහ ඇඟලුම් ක්ෂේත්‍රය එක්ව ක්‍රියාකරන විශේෂ කාර්යසාධක කණ්ඩායමක් පිහිටුවා, වෙළෙඳ සාකච්ඡා දේශපාලන හෝ පරිපාලන වෙනස්කම් සමඟ නතර නොවන, දිගුකාලීන හා එකම දිශාවක ගමන් කරන ක්‍රියාවලියක් බවට පත් කළ යුතුය.
අපනයන ආර්ථිකයකට වෙළෙඳපොළ ප්‍රවේශය යනු අමතර වාසියක් නොවේ. එය තරගකාරීත්වයේ මූලික කොන්දේසියකි. ශ්‍රී ලංකා නිෂ්පාදකයාට ඉහළ තීරුබදු ගෙවමින් තරග කිරීමට සිදුවන විට, තරගකාරී රටකට අඩු හෝ ශූන්‍ය තීරුබදු යටතේ එම වෙළෙඳපොළට ඇතුළුවිය හැකි නම්, එම පරතරය කර්මාන්තශාලාව තුළ පමණක් විසඳිය නොහැක.
නමට පමණක් සීමා නොවිය යුතු ‘One-stop shop’
කර්මාන්තයේ ඉල්ලීම් අතරින් වැඩි අවධානයක් නොලැබුණත් වඩාත් ප්‍රායෝගික ඉල්ලීමක් වන්නේ ආයතනික ප්‍රතිසංස්කරණයන්ය. අද ශ්‍රී ලංකාවේ ආයෝජකයාට හෝ අපනයනකරුවාට අවශ්‍ය වන්නේ තවත් එක් ආයතනයක් නොවේ. සැබෑ අර්ථයෙන්ම ක්‍රියාකරන ඒක් කවුළුවක් හරහා කාර්යයන් රැසක් සිදු කල හැකි ක්‍රමවේදයකි.
අනුමැති ලබාගැනීමේ ක්‍රියාවලිය වේගවත් කළ යුතුය. අපනයනකරුවන්ට අදාළ වැට් බදු ප්‍රතිපත්තිය සහ ආපසු ගෙවීම් වඩාත් පැහැදිලි හා කාර්යක්ෂම විය යුතුය. විදේශ මුදලින් ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් සමාගම්වලට වැඩි නම්‍යශීලීභාවයක් ලබාදිය යුතුය.
ඒ සමඟම දිගු කලක් ප්‍රමාද වූ කම්කරු නීති ප්‍රතිසංස්කරණද තවදුරටත් කල් දැමිය නොහැක. මෙහි ගැටලුව වන්නේ එක් නීතියක් හෝ එක් අනුමැතියක් පමණක් නොවේ. ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමේ සමස්ත පරිපාලන පිරිවැය සහ කාලයයි. ආයෝජකයකුට හෝ අපනයනකරුවකුට එක් ගැටලුවක් විසඳීමට ආයතන ගණනාවක් අතර ගමන් කිරීමට සිදුවන්නේ නම්, ‘one-stop shop’ යන සංකල්පය ප්‍රායෝගිකව අරුතක් නොමැති යෝජනාවක් බවට පත් වෙයි.
බලශක්තියත් තරගකාරීත්වයේ කොටසකි
බලශක්ති ප්‍රතිපත්තියද මීළඟ වර්ධන අදියරේ තීරණාත්මක සාධකයකි. විදුලිබල ජාලයට විවෘත ප්‍රවේශය සහ power wheeling පහසුකම් සඳහා අවශ්‍ය නියාමන ක්‍රමවේද වේගවත් කිරීම පිළිබඳ අවධානය යොමුවී තිබේ. ඒ සමඟම බැටරි ගබඩා කිරීමේ තාක්ෂණය සඳහා වඩාත් ශක්තිමත් දිරිගැන්වීම් ලබාදීමේ අවශ්‍යතාවද මතුව ඇත.
මෙහි අරමුණ සරලය. නිෂ්පාදකයන්ට වඩාත් විශ්වාසනීය, පිරිවැය පාලනය කළ හැකි සහ තිරසර බලශක්ති විකල්ප ලබාදීමයි. අද ගෝලීය ගැනුම්කරුවන් මිල පමණක් නොබලයි. නිෂ්පාදනයේ කාබන් පියවර, බලශක්ති මූලාශ්‍රය සහ තිරසරභාවයද ඔවුන්ගේ තීරණවල කොටසක් වී තිබේ. එබැවින් බලශක්ති ප්‍රතිපත්තිය තවදුරටත් විදුලිබල අංශයේ පමණක් ප්‍රශ්නයක් නොවේ. එය ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරීත්වය පිළිබඳ ප්‍රශ්නයකි. ඩොලර් බිලියන 8ක ඇඟලුම් අපනයන ඉලක්කය යථාර්ථයක් කරගැනීමට නම් වෙළෙඳ ගිවිසුම්, ආයතනික කාර්යක්ෂමතාව සහ බලශක්ති ප්‍රතිපත්තිය කර්මාන්ත ප්‍රතිපත්තියෙන් වෙන්කර බැලිය නොහැක.
කර්මාන්තය සහ රජය එකම දිශාවකට ගමන් කළ යුතුය
මෙම යෝජනා කිසිවක් තනිව ක්‍රියාත්මක කළ හැකි දේවල් නොවේ. කර්මාන්තය පැත්තෙන් නව ආයෝජන, ඉහළ ඵලදායිතාව, දේශීය සැපයුම් දාමය ශක්තිමත් කිරීම සහ නව රැකියා නිර්මාණය කිරීමේ වගකීමක් තිබේ. ඒ වෙනුවට රජයෙන් කර්මාන්තය බලාපොරොත්තු වන්නේ පුළුල් වෙළෙඳපොළ ප්‍රවේශයක්, තරගකාරී බදු පරිසරයක්, ව්‍යාපාර කිරීමේ පිරිවැය අඩු කිරීම සහ ස්ථාවර, පැහැදිලි නියාමන පරිසරයකි.
මෙය එක පාර්ශ්වයකින් පමණක් ඉටු කළ හැකි ගනුදෙනුවක් නොවේ.කර්මාන්තය ආයෝජනය කළ යුතුය. රජය ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කළ යුතුය. මෙහි වැදගත්කම ඇඟලුම් ක්ෂේත්‍රයට පමණක් සීමා නොවිය යුතුය.
මෙය ශ්‍රී ලංකාවට අහිමි වූ අපනයන වර්ධනය නැවත ලබාගැනීමේ සැලැස්මක් පමණක් නොව, වඩාත් ශක්තිමත්, වැඩි වටිනාකමක් නිර්මාණය කරන සහ ගෝලීය ආර්ථික කම්පනවලට වඩා හොඳින් මුහුණ දිය හැකි ඇඟලුම් කර්මාන්තයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළකි.
අද පවතින ආකෘතියට වඩා එවැනි ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයක් රටට අවශ්‍ය බව අවිවාදාත්මක කරුණකි.
ලෝක වෙළෙඳපොළේ ඉල්ලුම පහළ යාමක්, භූදේශපාලනික අර්බුදයක්, සැපයුම් දාම බිඳවැටීමක් හෝ ප්‍රධාන වෙළෙඳපොළක ප්‍රතිපත්ති වෙනසක් සිදුවුවත් එවැනි නවීන ආකෘතියේ ඇඟලුම් කර්මාන්තයකට මෙම කම්පන වඩා හොඳින් අවශෝෂණය කරගත හැකිය.
එහෙත් මේ සියල්ල කඩදාසි මත පමණක් රැඳී සිටියහොත් ඉලක්කවලට වටිනාකමක් හිමිවන්නේ නැත. මෙම ක්‍රියාමාර්ග සැබෑවක් වන්නේ කර්මාන්තය ඉදිරිපත් කරන යෝජනාවලට රජයේ ආයතන කෙතරම් වේගයෙන් ප්‍රතිපත්තිමය සහ ක්‍රියාත්මක මට්ටමේ ප්‍රතිචාර දක්වන්නේද යන්න මතය.
වසර තිහකට පෙර රජය සහ කර්මාන්තය එකම අරමුණකට පෙළගැසුණු විට ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ගමන් මඟම වෙනස් විය. අද නැවතත් එවැනි මොහොතක් පැමිණ තිබේ. වෙනස එකකි. මෙවර තරගය වඩාත් දැඩිය. තරගකරුවන් වඩාත් වේගවත්ය. කාලයත් වඩා අඩුය. ඒ නිසා අද ඇති ප්‍රශ්නය ඩොලර් බිලියන 8ක ඉලක්කයක් තිබේද යන්න නොවේ. රජය සහ කර්මාන්තය නැවතත් එකම දිශාවකට, එකම වේගයෙන් ගමන් කළ හැකිද යන්නයි.

