ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඔස්ට්‍රේලියානු ආධාර ලබන S4IE වැඩසටහන එක් වී MSME ව්‍යාපාරවල ඩිජිටල් මූල්‍ය දැනුම වර්ධනයට ව්‍යාපෘතියක් අරඹයි
ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඔස්ට්‍රේලියා රජයේ Skills for an Inclusive Economy (S4IE) වැඩසටහන අතර ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර (MSMEs) සඳහා ඩිජිටල් මූල්‍ය දැනුම වර්ධනය කිරීමට නියමු ව්‍යාපෘතියක් ඇරැඹීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි. මෙම ව්‍යාපෘතිය මඟින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ මුදල් ප්‍රවේශය වර්ධනය කිරීමට, ආයතනික සම්බන්ධතා ශක්තිමත් කිරීමට හා ව්‍යාපාර පරිසරය ශක්තිමත් කිරීමට ඉලක්කගත ක්‍රමවේද පරීක්ෂා කරයි. එමෙන්ම මෙහිදී ලැබෙන අත්දැකීම් හා පාඩම් අනාගත ප්‍රතිපත්ති හා වැඩසටහන් සඳහා මාර්ගෝපදේශයක් ලෙස භාවිතා කරමින් සාර්ථක ක්‍රියාමාර්ග මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව බලාපොරොත්තු වේ.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේ මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රායෝගික හා සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැඩි දියුණු කිරීමට හැකි වන බවත්, ඒවා දිගු කාලීනව පුළුල් කළ හැකි බවත්ය. ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා සඳහන් කළේ මෙම හවුල්කාරිත්වය තුළින් තිරසාර සහ දිගු කාලීන ප්‍රතිඵල ලැබීමට සැළැසුම් කර ඇති බවත්, නියමු අදියරෙන් පසුවද ප්‍රතිලාභ දිගටම පවත්වා ගැනීම මෙහි මූලික අරමුණ බවත්ය. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව, ශක්තිමත්භාවය හා සමස්ත ප්‍රතිඵල වර්ධනය කිරීමට ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන සහයෝගීතාවේ කොටසක් වේ. ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් එහි ප්‍රථම ලේකම් (සංවර්ධන) සෝයි කිඩ් මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරී ආර්. සිවසුතන් මහතාද මේ අවස්ථාවට සහභාගී වූ අතර මෙම නියමු වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කර ඉදිරියේදී පුළුල් කිරීමට කැප වී සිටින බව ඔවුහු අවධාරණය කළහ.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඔස්ට්‍රේලියා රජයේ Skills for an Inclusive Economy (S4IE) වැඩසටහන අතර මෙම අවබෝධතා ගිවිසුම ක්ෂුද්‍ර. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල ඩිජිටල් මූල්‍ය දැනුම වර්ධනය කිරීමේ පොදු අරමුණ නියෝජනය කරයි. මෙම නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල අනාගත වැඩසටහන්වලට ශක්තිමත් මග පෙන්වීමක් සිදු කරනු ඇත.

