August 18, 2026
වික්‍රමාරච්චි විද්‍යා හා තාක්ෂණ ආයතනයෙන් භේදයකින් තොරව සැමට උසස් අධ්‍යාපන වරම්
පුවත්

වික්‍රමාරච්චි විද්‍යා හා තාක්ෂණ ආයතනයෙන් භේදයකින් තොරව සැමට උසස් අධ්‍යාපන වරම්

Aug 17, 2026

Wickramarachchi Institute of Science & Technology (WIST) විසින් ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කාර්යාලය (AHK Sri Lanka) සහ Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH සමඟ එක්ව, දෘෂ්ටි තාක්ෂණ ශිල්පී (Optical Technician) පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරන ලද සහතිකපත් ප්‍රදානෝත්සවයක් පසුගියදා දෙල්කඳ පිහිටි WIST පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රවණ හා කථන ආබාධ සහිත සිසු සිසුවියන් 40 කට අධික පිරිසක් මෙහිදී සහතික හිමිකරගත්හ.  

මෙම සහතිකපත් ප්‍රදානෝත්සවය, කිසිදු භේදයකින් තොරව සැමට ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් සඳහා අවස්ථාව උදාකර දීම සහ ඒ ඔස්සේ ආබාධ සහිත පුද්ගලයන්ට අර්ථවත් වෘත්තීය ජීවිත ගොඩනංවා ගැනීමට අත්වැලක් වීම සඳහා දරනු ලබන පුරෝගාමී ප්‍රයත්නයක තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. WIST සහ GIZ විසින් එක්ව පිරිනමන ලද Optical Technician සහතිකපත් පාඨමාලාව සම්පූර්ණ කළ සිසු සිසුවියන් මෙම සුදුසුකම් හිමිකරගත් අතර, ඔවුහු තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් සහතිකකරණය කරන ලද Optician (Ophthalmic) ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) 3 වන මට්ටම ද ලබාගත්හ. මෙම පාඨමාලාව මඟින් ශ්‍රී ලංකාවේ ඉහළ ඉල්ලුමක් සහිත දෘෂ්ටි සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ සාර්ථක වෘත්තීය ජීවිත ගොඩනංවා ගැනීමට අවශ්‍ය තාක්ෂණික නිපුණතා සහ ප්‍රායෝගික කුසලතා සමඟ ඉහළ පිළිගැනීමක් සහිත සුදුසුකම්ද හිමි වේ.

මෙහිදී අදහස් දක්වමින් Wickramarachchi Institute of Science & Technology හි සභාපති ආචාර්ය මිහිර වික්‍රමාරච්චි මහතා පැවසුවේ, මෙම සහතිකපත් ප්‍රදානෝත්සවය අධ්‍යාපනය සැමට විවෘත දෙයක් බවට පත් කිරීම සඳහා ආයතනය දක්වන දීර්ඝකාලීන කැපවීම මැනැවින් පිළිබිඹු කරන බවයි.

“සෑම පුද්ගලයකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට, කුසලතා වර්ධනය කරගැනීමට සහ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනංවා ගැනීමට නිසි අවස්ථා හිමි විය යුතුයි. මේ සහතිකපත් ප්‍රදානෝත්සවය හුදෙක් අධ්‍යාපනික ජයග්‍රහණ සැමරීමක් පමණක් නොව, මෙම සුවිශේෂී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ධෛර්යය, අධිෂ්ඨානය සහ හැකියාවන්ට පිදෙන උපහාරයක්ද වනවා. ඔවුන්ගේ ගමනේ කොටස්කරුවකු වීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වන අතර, ඔවුන් සියලුම දෙනාට දියුණුව කරා යමින් සමාජයට අර්ථවත් ලෙස දායක වීමට අවස්ථාව ලැබෙන, කාටත් විවෘත අධ්‍යාපන ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම සඳහා අප අඛණ්ඩව කැප වී සිටිනවා.” ආචාර්ය මිහිර වික්‍රමාරච්චි මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, අධ්‍යාපන ආයතන, ව්‍යාපාර ක්ෂේත්‍රය සහ ජාත්‍යන්තර සංවිධාන එක් වී ආබාධ සහිත පුද්ගලයන් සඳහා තිරසාර අවස්ථා නිර්මාණය කරමින්, දක්ෂතා සහිත වෘත්තිකයන් සඳහා රට තුළ වර්ධනය වෙමින් පවතින ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බවයි.

මෙම වැඩසටහන, අධ්‍යාපනයට ඇති බාධා ඉවත් කිරීම, රැකියා වෙළඳපොළේ පවතින සැබෑ අවශ්‍යතාවන්ට ගැළපෙන වෘත්තිකයන් නිර්මාණය කිරීම සහ ආබාධ සහිත පුද්ගලයන්ට විශ්වාසයෙන් යුතුව ශ්‍රම බලකායට එක්වීමට අවස්ථා උදාකර දීම සම්බන්ධයෙන් WIST, AHK Sri Lanka සහ GIZ දක්වන පොදු උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරයි. අධ්‍යාපන ප්‍රවේශය පහසු කිරීම සඳහා දරන අඛණ්ඩ ප්‍රයත්නයක කොටසක් ලෙස J.M. Wickramarachchi & Co. (JMW) ආයතනය ද මෙම වැඩසටහනට එක් වූ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යත්ව පිරිනැමූ අතර, එමඟින් මූල්‍යමය දුෂ්කරතා තවදුරටත් අවම කරමින් වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කිරීමට ඔවුන් දිරිගන්වන ලදි.

මෙම උපාධි ප්‍රදානෝත්සවයට වැඩසටහනේ හවුල්කාර ආයතනවල නියෝජිතයන් සහ සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගි වූහ. ඒ අතර Wickramarachchi Institute of Science & Technology හි සභාපති ආචාර්ය මිහිර වික්‍රමාරච්චි මහතා, JMW හි ප්‍රධාන විධායක නිලධාරිනී සහ WIST හි ගරු අධ්‍යයන උපදේශිකා ලීසා වික්‍රමාරච්චි මහත්මිය, WIST හි අධ්‍යක්ෂ සහ JMW හි ප්‍රධාන තාක්ෂණ නිලධාරී ආචාර්ය කෝල් ලෝමාස් මහතා, ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කාර්යාලයේ ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස් මහතා, WIST හි ප්‍රධාන උපදේශිකා මහාචාර්ය සාවිත්‍රි වසුන්දරා විමලසේකර මහත්මිය, WIST හි අධ්‍යාපන හා පුහුණු අංශ ප්‍රධානී කුෂානි නදීමා සමරසේකර මහත්මිය සහ GIZ GmbH හි ව්‍යාපෘති තාක්ෂණික අංශ ප්‍රධානී කුමුදිනී රෝසා මහත්මිය ද වූහ.

මෙම නියෝජිතයන් අවධාරණය කළේ, උසස් තත්ත්වයේ වෘත්තීය අධ්‍යාපන අවස්ථා උදා කර දෙන අතරම, ආබාධ සහිත පුද්ගලයන්ට රැකියා ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම, ප්‍රායෝගික අත්දැකීම් සහ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම අරමුණු කරගත් සහයෝගී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත් බවයි. මෙම හවුල්කාරීත්වය අධ්‍යාපන ක්ෂේත්‍රය, කර්මාන්ත ක්ෂේත්‍රය සහ ජාත්‍යන්තර සංවිධාන එක් වී, සැමට විවෘත ශ්‍රම බලකායක් ගොඩනැංවීම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අගනා පූර්වාදර්ශයකි. මෙම සහතිකපත් ප්‍රදානෝත්සවයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනික සාර්ථකත්වය පමණක් නොව ඔවුන්ගේ නොපසුබස්නා උත්සාහය, අධිෂ්ඨානය සහ අභිලාෂයන් ද ඇගයීමට ලක් විය. ඔවුන්ගෙන් බොහෝ දෙනකු වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමේදී බාධාවන් රැසකට මුහුණ දී එම බාධාවන් ජයගෙන තිබේ. ඔවුන්ගේ සාර්ථකත්වය, ජීවිත පරිවර්තනය කරමින්, ප්‍රජාවන් ශක්තිමත් කරමින්, වඩාත් සාධාරණ සමාජයක් ගොඩනැංවීම සඳහා අධ්‍යාපනය සතු  හැකියාව පිළිබඳ ප්‍රබල සිහිකැඳවීමක් ලෙස හැඳින්විය හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close