August 16, 2026
ශ්‍රී ලංකාවේ සත්කාරක උරුමයට නව ආයෝජන සමඟ Ceylon Hotels Corporation 60 වසර සමරයි
පුවත්

ශ්‍රී ලංකාවේ සත්කාරක උරුමයට නව ආයෝජන සමඟ Ceylon Hotels Corporation 60 වසර සමරයි

Aug 16, 2026

ශ්‍රී ලංකාවේ සත්කාරක ක්ෂේත්‍රයේ දිගු කාලීන හා සුවිශේෂ නාමයක් වන Ceylon Hotels Corporation PLC (CHC) සිය 60 වැනි සංවත්සරය 2026දී සමරමින් මෙරට සත්කාරක උරුමය සුරැකීම සහ නව පරපුරේ සංචාරකයන්ගේ අපේක්ෂාවලට ගැළැපෙන අත්දැකීම් නිර්මාණය කිරීම අරමුණු කර ගත් නව ආයෝජන හා සංවර්ධන වැඩපිළිවෙලක් සමඟ සිය ඉදිරි ගමන ශක්තිමත් කරයි. 1966 අංක 14 දරන Ceylon Hotels Corporation පනත යටතේ 1966දී ස්ථාපිත වූ CHC ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩ නැගෙමින් පැවැති තීරණාත්මක අවධියක සිය මෙහෙයුම් ආරම්භ කළේය. එතැන් සිට දශක හයක් පුරා මෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනය හා පරිණාමය සමග සමීප වී සිටි CHC ශ්‍රී ලංකාවේ සත්කාරක ක්ෂේත්‍රයේ වැදගත් පරිච්ඡේද රැසකට දායක වී ඇත. ආරම්භයේ සිටම ප්‍රධාන නගරවලින් ඔබ්බට කඳුකරය, පුරාණ රාජධානි, වන ජීවී කළාප සහ වෙරළබඩ ප්‍රදේශ දක්වා සත්කාරක සේවා ව්‍යාප්ත කිරීමට CHC වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. එහි ඓතිහාසික තානායම් දේශීය හා විදේශීය සංචාරක පරම්පරා රැසක මතක හා බැඳුණු සුවිශේෂ ස්ථාන බවට පත් වූ අතර නවාතැන් පහසුකම්වලින් ඔබ්බට ශ්‍රී ලාංකේය ආහාර, සංස්කෘතිය සහ සත්කාරකත්වය අත්විඳීමටද සංචාරකයන්ට අවස්ථාව සැළැසීය.

අද වන විට CHCහි හෝටල් එකතුවට EKHO Hotels & Resorts, මහනුවර Queen’s Hotel සහ Hotel Suisse මෙන්ම Heritage Collection යටතේ ක්‍රියාත්මක ඓතිහාසික තානායම්ද ඇතුළත් වේ. මෙම හෝටල් හා තානායම් ශ්‍රී ලංකාවේ සංස්කෘතික, ඓතිහාසික හා ස්වභාවික වශයෙන් වැදගත් ගමනාන්ත රැසක පිහිටා තිබීම CHC සතු සුවිශේෂ ශක්තියකි. සිය 60 වැනි සංවත්සරයට සමගාමීව CHC නව ආයෝජන සහ සංවර්ධන අදියරකට පිවිස ඇති අතර සිය ඓතිහාසික හෝටල්වල හා තානායම්වල අනන්‍යතාව සුරකිමින් ඒවා වර්තමාන සංචාරකයන්ගේ අවශ්‍යතාවලට ගැළැපෙන උසස් සත්කාරක අත්දැකීම් බවට පත් කිරීම එහි ප්‍රධාන අරමුණකි. මෙම වැඩපිළිවෙළ යටතේ ඓතිහාසික පුස්සැල්ලාව තානායම ප්‍රතිසංස්කරණය කර ඇති අතර බෙලිහුල්ඔය සහ කිතුල්ගල තානායම්ද ඒවා පිහිටි ගමනාන්තවල ස්වභාවික අනන්‍යතාව සහ උරුමය සුරකිමින් වඩාත් උසස් හා ගමනාන්ත කේන්ද්‍රීය සත්කාරක අත්දැකීමක් සපයන ආකාරයෙන් නව මුහුණුවරකින් සංවර්ධනය කෙරෙමින් පවතී. මෙම තානායම් දෙකම 2026 ඔක්තෝබර් මාසයේදී නැවත ජනතාවට විවෘත කිරීමට නියමිතය. මහනුවර පිහිටි Hotel Suisseද පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කර ඇති අතර නගරයේ දිගු ඉතිහාසය සමග යා වුණු එහි ඓතිහාසික වටිනාකම සහ සුවිශේෂ අනන්‍යතාව ආරක්ෂා කරමින් නව ජීවයක් එක් කර තිබේ. මෙම සංවර්ධන ව්‍යාපෘති හරහා CHC අරමුණු කරන්නේ සිය හෝටල් හා තානායම් සමග බැඳුණු ඉතිහාසය, කතාන්දර හා අනන්‍යතාව අනාගත පරපුර වෙත රැගෙන යන අතරම ඒවා වර්තමාන සංචාරකයන් අපේක්ෂා කරන සුව පහසුව හා අත්දැකීම් සමග සම්බන්ධ කිරීමයි.

CHCහි දශක හයක ගමන් මඟ ගොඩ නැගී ඇත්තේ එහි හෝටල් හා තානායම් මත පමණක් නොවේ. පරම්පරා ගණනාවක් පුරා අමුත්තන් පිළිගත්, ආහාර සකස් කළ මෙම ඓතිහාසික ස්ථාන රැක බලා ගත් සහ ඒ ඒ ගමනාන්තවල කතාන්දර සංචාරකයන් සමඟ බෙදා ගත් සේවකයන් මෙම ගමනේ ප්‍රධාන ශක්තියක් වී ඇත. එසේම ව්‍යාපාර හවුල්කරුවන්, අවට ප්‍රජාව සහ පරම්පරා ගණනාවක සංචාරකයන්ද ශ්‍රී ලංකාවේ සත්කාරක ක්ෂේත්‍රය තුළ CHCහි අනන්‍ය ස්ථානය ගොඩ නැගීමට වැදගත් දායකත්වයක් සපයා තිබේ. වර්තමාන සංචාරකයන් වඩාත් අව්‍යාජ අත්දැකීම් සහ තමන් සංචාරය කරන ගමනාන්ත සමඟ ගැඹුරු සබඳතාවක් අපේක්ෂා කරන පසුබිමක CHC සිය සුවිශේෂ උරුමය ඉදිරි ගමනේ ප්‍රබල පදනමක් බවට පත් කරමින් සිටී. සමාගම සතු හෝටල් හා තානායම් එකතුව හරහා එක් එක් ගමනාන්තයේ ඉතිහාසය, සංස්කෘතිය හා අනන්‍යතාව නවීන සත්කාරක අත්දැකීම් සමග ඒකාබද්ධ කිරීමට CHCට සුවිශේෂ අවස්ථාවක් හිමි වී තිබේ. දිවයින පුරා ගමන් කළ සංචාරකයන්ට නවාතැන් සැපයූ ඓතිහාසික තානායම්වල සිට වර්තමානයේ ගමනාන්ත කේන්ද්‍රීය සත්කාරක අත්දැකීම් දක්වා Ceylon Hotels Corporation ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සමඟ අඛණ්ඩව පරිණාමය වී තිබේ. වසර 60ක අභිමානවත් ගමන් මඟ සනිටුහන් කරන CHC සිය උරුමය සුරකිමින් එයට නව ජීවයක් එක් කිරීම, අමුත්තන්ගේ අත්දැකීම තව දුරටත් උසස් කිරීමේ සහ අනාගත සංචාරක පරම්පරා වෙනුවෙන් නව මතක හා කතාන්දර නිර්මාණය කිරීමේ කැපවීම සමග සිය මිළග පරිච්ඡේදයට පිවිසෙයි.

1966දී ආරම්භ කළ Ceylon Hotels Corporation PLC ශ්‍රී ලංකාවේ දිගු ඉතිහාසයක් සහිත ප්‍රමුඛ සත්කාරක සමාගමකි. EKHO Hotels & Resorts, Queen’s Hotel, Hotel Suisse සහ Heritage Collection එහි හෝටල් හා තානායම් එකතුවට අයත් වන අතර Ceylon Hotels Corporation PLCහි කළමනාකරණ කටයුතු Galle Face Group (Pvt) Limited විසින් සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close