October 25, 2025
2%ක් වූ ලොව විශිෂ්ටතම පර්යේෂකයන් අතරට, SLIIT ආයතනයෙන්ද ශාස්ත්‍රඥයන් 06ක්
පුවත්

2%ක් වූ ලොව විශිෂ්ටතම පර්යේෂකයන් අතරට, SLIIT ආයතනයෙන්ද ශාස්ත්‍රඥයන් 06ක්

Oct 23, 2025

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), සිය ගෝලීය පර්යේෂණයන්හී ගුණාත්මක බව නැවත නැවතත් තහවුරු කරමින්, 2% ක් වූ ලොව විශිෂ්ටතමවිද්‍යාඥයින්ගේ ශ්‍රේණිගත කිරීම වන ‘2025 ස්ටැන්ෆර්ඩ්-එල්සිවියර්’ (2025 Stanford-Elsevier) හී,2% ක් වූ ලොව විශිෂ්ටතම පර්යේෂකයින් අතරට තම ශාස්ත්‍රඥයින් හය දෙනෙකුම ඇතුළත් වීමට සමත්ව ඇත. මෙම සුවිශේෂී කඩඉම, හුදෙක් පුද්ගල විශිෂ්ටත්වය පිළිබඳ සැමරුමක් පමණක් නොව, උසස් තත්ත්වයේ සහ ප්‍රගතිශීලී පර්යේෂණයන් සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස SLIIT ආයතනයේ ආගමනයද ඉස්මතු කර දක්වයි. 

මෙම සුවිශේෂී ඇගයීම සැමරීම සඳහා වූ මාධ්‍ය හමුව 2025 ඔක්තෝබර් මස 22 වන දින, කොළඹ NH Collection හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව, SLIIT ආයතනයේ නිරන්තරයෙන් යාවත්කාලීන වන පර්යේෂණ ශක්තිය සහ ගෝලීය ශාස්ත්‍රීය බලපෑම විදහා දක්වමින්, ආයතනයට මහත් අභිමානයක් ගෙන දුන් සුවිශේෂී සන්ධිස්ථානයක් විය. මෙම සුවිශේෂී ජයග්‍රහණයට ගෞරව දැක්වීම සඳහා, ශාස්ත්‍රඥයින්, ආයතනික අංශයේ නියෝජිතයින්, SLIIT කාර්ය මණ්ඩලය මෙන්ම මාධ්‍යවේදීන් ඇතුළුව 100කට අධික ආරාධිත පිරිසක් සහභාගී වූහ.

එල්සිවියර් (Elsevier) හි Scopus දත්ත සමුදාය සහ Science-Metrix වර්ගීකරණ පද්ධතියේ දත්ත භාවිතයෙන් සම්පාදනය කෙරෙන මෙම ස්ටැන්ෆර්ඩ්-එල්සිවියර් හී 2%ක් වූ විශිෂ්ටයින්ගේ ලැයිස්තුව තුළින් ලොව පුරා සිටින, සිය විෂය ක්ෂේත්‍රයන්ට වැදගත් දායකත්වයක් ලබා දුන් විද්වතුන් හඳුනා ගනු ලැබේ. මෙම ශ්‍රේණිගත කිරීමට, පර්යේෂකයෙකු හරහා ගෝලීය විද්‍යාත්මක දියුණුවට ඇති බලපෑමේ පුළුල් බව සහ දීර්ඝකාලීන පැවැත්ම පිළිබිඹු කරමින්, ඔවුන් එක් වර්ෂයකදී ලද ජයග්‍රහණ මෙන්ම වෘත්තීය ජීවිතය පුරාවටම සිදුකළ බලපෑම යන සාධක ද්විත්වයම සලකා බලයි.

2024 වර්ෂය සඳහා වන තනි-වසර (Single Year List) ලැයිස්තුවට SLIIT ආයතනය නියෝජනය කරමින් මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ මහාචාර්ය චරිත ජයරුක්, පරිගණක පීඨයේ ආචාර්ය භාග්‍යා නතාලි සිල්වා, මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ මහාචාර්ය ධනුෂ්ක උදයංග, ඉංජිනේරු පීඨයේ මහාචාර්ය දුශ්‍යන්ත ජයකොඩි සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උපකුලපති සහ ඉංජිනේරු පීඨයට අනියුක්ත මහාචාර්ය නිමල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළත්ව සිටිති.

විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින්, ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රාජපක්ෂ සහ මහාචාර්ය ප්‍රියාන් ඩයස් යන මහත්වරු දෙදෙනාම සිය වෘත්තීය ජීවිතය පුරාවට සිදුකළ අඛණ්ඩ දායකත්වය වෙනුවෙන් වෘත්තීය-කාලීන ලැයිස්තුවට (Career-Long List) ද ඇතුළත් වී සිටිති. විශේෂයෙන්ම, මහාචාර්ය රාජපක්ෂ මහතා ලොව විශිෂ්ටතම පර්යේෂකයින් 100,000  අතරට ද ඇතුළත් වී තිබීම, පර්යේෂණ කරණයේදී එතුමාගේ නොනවතින ගෝලීය බලපෑමට කදිම සාක්ෂියකි.

මෙම උත්සවයේදී, ඇගයීමට ලක්වූ පර්යේෂකයින් සමඟ SLIIT හි කුලපති, මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක සහ ශාස්ත්‍රීය කටයුතු පිළිබඳ උපකුලපති, මහාචාර්ය රාහුල අත්තලගේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂඥ මණ්ඩල සාකච්ඡාවක් ද පැවැත්විණි. එහිදී, ඔවුහු සිය පර්යේෂණ ගමන්මඟ, සහයෝගී සහ අන්තර් විෂයීය කාර්යයන්හි වැදගත්කම සහ විද්‍යාත්මක ගවේෂණය හා නවෝත්පාදනය ඉදිරියට ගෙන යාමේදී විශ්වවිද්‍යාලවලට ඇති තීරණාත්මක කාර්යභාරය පිළිබඳව අදහස් දැක්වූහ. එමෙන්ම ජාතික ප්‍රමුඛතා සහ ගෝලීය අභියෝග යන ද්විත්වයටම විසඳුම් සපයන දැනුම් නිර්මාණය දිරිගන්වමින්, ශක්තිමත් පර්යේෂණ සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා SLIIT ආයතනය දක්වන කැපවීම ද මෙම අවස්ථාවේදී ඉස්මතු කෙරිණි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, SLIIT හි උපකුලපති, මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවසීය: “මෙම ඇගයීම අපගේ ශාස්ත්‍රඥයින්ගේ සුවිශේෂී දක්ෂතාව සහ SLIIT හි පර්යේෂණ ක්ෂේත්‍රයේ ශක්තිමත් බව මනාව විදහා දක්වනවා. දේශීය සහ කලාපීය අභියෝගවලට විසඳුම් ලබා දෙන අතරම, ගෝලීය වැදගත්කමක් ඇති පර්යේෂණ බිහි කිරීමට අප ආයතනය කැපවී සිටිනවා. අපගේ විද්වතුන්ගේ හැකියාවන් ජාත්‍යන්තර තලයේදී ඇගයීමට ලක්වීම, විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ සඵලදායීත්වය සඳහා SLIIT හි අඛණ්ඩ කැපවීම මනාව පිළිබිඹු කරන අතර, ඒ පිළිබඳව අප ඉතා ආඩම්බර වෙනවා. මෙලෙස ඇගයීමට ලක්වූ පර්යේෂකයින්, අන් අයටද අනුගමනය කළ හැකි කදිම ආදර්ශයක් සපයනවා. මෙහිදී වැදගත්ම කරුණ නම්, මෙම කීර්තිමත් ලෝක මට්ටමින් පිළිගත් විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට අපගේ ශාස්ත්‍රඥයින් වැඩි වශයෙන් එක්වීමත් සමඟ මෙම ජයග්‍රහණය වසරින් වසර වර්ධනය වීමයි. එය SLIIT හි ගෝලීය පර්යේෂණ පැතිකඩ ශක්තිමත් කරනවා පමණක් නොව, ජාත්‍යන්තරව ගෞරවයට පාත්‍ර වෙමින්, ධනාත්මක බලපෑමක් ඇති කළ, අපගේ ශාස්ත්‍රඥයින් ලබා ඇති ප්‍රගතිය ද ඉස්මතු කරනවා. ඔවුන් සැමට හෘදයාංගම සුබ පැතුම් එක් කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා!”

SLIIT හී මෙම ජයග්‍රහණ හුදෙක් පුද්ගල සාර්ථකත්වයකට වඩා වැඩි යමක් පිළිබිඹු කරයි; ඒ තුළින් නවෝත්පාදනය, සහයෝගීතාවය සහ ජාත්‍යන්තර පිළිගැනීම අවධාරණය කරන පර්යේෂණ සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා SLIIT ආයතනය දක්වන කැපවීම පිලිබිඹු කරයි. විවිධ විෂය ක්ෂේත්‍රයන් නියෝජනය කරන්නාවූ විද්වතුන්ට සහාය වෙමින් සහ උසස් තත්ත්වයේ පර්යේෂණ ප්‍රවර්ධනය කරමින්, SLIIT ආයතනය ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපයේද, ප්‍රමුඛ පෙළේ ශාස්ත්‍රීය හා පර්යේෂණ ආයතනයක් ලෙස සිය අඛණ්ඩ කාර්යභාරය ශක්තිමත් කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close