July 27, 2024
ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුති සංවත්සරය
පුවත්

ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුති සංවත්සරය

Nov 22, 2023

UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග්

1989 වසරේ නොවැම්බර් මස 20 වන දින, ලෝක නායකයින් එක්ව ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (Convention on the Rights of the Child – CRC) ඇති කරගනු ලැබීය. ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (CRC) තුළින් සෑම දරුවෙකුටම ඔහුගේ හෝ ඇයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ එය ඉටු කරදීමට පොරොන්දුවක් ලෙස එම නායකයින් අතර එකඟතාවයක් ඇති කර ගනු ලැබීය.

ළමා විය හෝ වයස අවුරුදු 18ට අඩු කාල සීමාව ශාරීරික වර්ධනය, ක්‍රීඩා කිරීම, ඉගෙනීම සහ මානසික සංවර්ධනය ජීවිතයට අවශ්‍ය විශේෂ අවස්ථාවක් බව එම සම්මුතිය තුළින් පිළිගනී.

මෙම සම්මුතිය ඉතිහාසයේ වඩාත්ම පුළුල් ලෙස සම්මත වූ මානව හිමිකම් ප්‍රධාන කර ගත් එකඟතාවය වන අතර එය වසර ගණනාවක් ලොව පුරා ළමා අයිතිවාසිකම් විශාල පරිවර්තනයකට ලක් කිරීමට ද ඉවහල් වී ඇත.

1990 වසරේදී මෙම සම්මුතිය අත්සන් කරනු ලැබූ පළමු රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වේ. 1991 වසරේදී මෙම සම්මුතිය ක්‍රියාවට නැංවීමට සහ ඒ පිළිබඳව වගවීමට කැප වෙමින් එය අනුමත කරන ලදී.

එතැන් සිට, ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් අත්කරගෙන ඇත:

  • ගෝලීය වශයෙන් ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීම
  • ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ගෝලීය ප්‍රවේශය 99%ක් ළඟාකරගැනීම
  • දරු උපත් 1000කට 11 බැගින් වූ අනුපාතිකයක් යටතේ එම දරුවන්ගෙන් 5 වැනි උපන්දිනයට පෙර මිය යන දරුවන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සහ එම අගය නඩත්තු කිරීම
  • ආරක්ෂිත පානීය ජලය සඳහා 88.5%කට වඩා තිරසර ප්‍රවේශයක් ලබාදීම

වසර ගණනාවක් පැවති යුධ ගැටුම්, සුනාමි උවදුර, COVID-19 වසංගතය සහ වර්තමාන ආර්ථික අර්බුදය ඇතුළු දුෂ්කරතාවයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා රටක් ලෙස මුහුණ දුන් ජාතික ගැටළු කිහිපයකින් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගෙන ඇත.

එම ප්‍රගතිය ඇතුළුව ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුති සංවත්සරය (CRC) සමරන අතර වාරයේ දී ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ඉතිරිව ඇති කාර්යයන් පිළිබඳව අප මතකයේ තබා ගත යුතුය.

විශේෂයෙන්ම –

  • ශ්‍රී ලංකාවේ මෑත කාලීන ළමා බහුමාන දරිද්‍රතා දර්ශකයට (Multidimensional Poverty in Sri Lanka) අනුව, සෑම අවුරුදු 5 ට අඩු ළමුන් දස දෙනෙකුගෙන් (සියයට 42.2) සිවු දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රමාණවත් ජීවන තත්ත්වයන් හෝ මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධ මූලික අයිතිවාසිකම් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අහිමි නිවසක ජීවත් වෙති.
  • අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වන ලද 2021-2022 ජාතික තක්සේරුවට අනුව, සියලු අත්‍යවශ්‍ය සාක්ෂරතා සහිත ඉගෙනුම් නිපුණතා කරා ළඟා වී ඇත්තේ 3 ශ්‍රේණියේ සිසුන්ගෙන් 14% ක් පමණි. එය සංඛ්‍යාත්මකව 15% ක අගයකි. කෙසේ වෙතත්, මෙම නිපුණතා දරුවන්ගේ අනාගතය සඳහා ඔවුන්ගේ දැනුම සහ විවිධ කුසලතා ගොඩනගා ගැනීමේ පදනම සකසා ගනී.
  • ශ්‍රී ලංකාව පුරා, ආයතනික රැකවරණ සහ රැඳවුම් භාරයේ සිටින ළමුන් 10,000 කට වැඩි පිරිසක් සිය සම්පූර්ණ හැකියාවන් වර්ධනය කර ගැනීමට නොහැකිව අඩු පහසුකම් තත්වයන් යටතේ ජීවත් වෙති. මෙම දරුවන්ගෙන් 90% කට වඩා වැඩි පිරිසකට ඔවුන්ගේම පවුලක් ඇති අතර නිවැරදි සහාය ලබා දීමෙන් පසුව නැවත ඔවුන්ගේම නිවස කරා ඔවුන්ට පැමිණිමට අවස්ථාව සැලසේ.
  • වයස අවුරුදු 16-17 අතර ළමුන් තවමත් නීතිය මගින් වැඩිහිටියන් ලෙස විනිශ්චය කරනු ලබන අතර දිගු කාලයක් ඔවුන් රඳවා තබා ගනී.
  • නිවසේ දී, පාසලේදී සහ ප්‍රජාව තුළදී දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඔවුන් පසුපස හඹා යෑම දිගින් දිගටම සිදුවේ. ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ළමා අපයෝජන සිද්ධීන් වැඩි වීමේ අවදානමක් පවති.
  • ළමා අයිතිවාසිකම්වල කැපී පෙනෙන හිඩැස් ආමන්ත්‍රණය කිරීම සඳහා රටකට අවශ්‍ය ප්‍රධාන මෙවලමක් වන්නේ ඒ සඳහා වෙන් කරන සම්පත් ය. කෙසේ නමුත් අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා අයවැයෙන් වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය ජාත්‍යන්තර මිණුම් දඬු වලට වඩා බෙහෙවින් පහත අගයක පවතින අතර එම මුදල් ප්‍රමාණය ප්‍රගතිය පවත්වා ගැනීමට සහ කාර්යයන් වේගවත් කිරීමට පැහැදිලිවම ප්‍රමාණවත් නොවේ.
  • ඇස්තමේන්තුවලට අනුව, 2023 වසරේදී ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා සමස්ත රාජ්‍ය වියදම්වලින් සියයට 7.2 ක් (ජාත්‍යන්තර මිණුම් ලකුණ 15% සිට 20% දක්වා) වෙන් කර ඇත. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.3 ක අගයකි.  (ජාත්‍යන්තර මිණුම් ලකුණ සියයට 4%සිට 6% දක්වා).
  • සෞඛ්‍යය සම්බන්ධයෙන්, රජය 2023 වසරේදී සමස්ත රාජ්‍ය වියදමෙන් සියයට 7.3ක් හෝ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.4ක් වෙන් කර ඇත. (ගෝලීය සෞඛ්‍ය ආවරණය ලබා ගැනීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර මිණුම් ලකුණ සියයට 5කි).

විශේෂයෙන්ම දරුවන්ට මුහුණ පෑමට සිදුවන පාරිසරික ව්‍යසන ඇතුළු භයානක බලපෑම් හමුවේ වඩාත් වේගවත්ව ක්‍රියා කිරීම අවශ්‍ය වේ. UNICEF සංවිධානය ඉල්ලා සිටින්නේ:

  • දරුවන්ගේ අනාගත තත්ත්වයන් තවදුරටත් පිරිහීම වලක්වාලීම සඳහා සමාජ අංශ කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දීම සහ ප්‍රතිපාදන වැඩි කරමින්, මෑත කාලීන අභියෝගාත්මක තත්ත්වයන් ජය ගැනීමට සහ ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් වර්ධනය කිරීමට හා සංවර්ධනය කිරීම සඳහා සුදුසු මාවතකට ඔවුන් යොමු කිරීමට සහය ලබා දිය යුතුය. 
  • රටක් වශයෙන් ශ්‍රී ලංකාව, මනා අවබෝධයකින් යුතුව ජාතික ආදායම් වියදම් කළ යුතු අතර ළා බාල දරුවන් සඳහා කරන ආයෝජනවලින් ඉහළම ප්‍රතිලාභ ලැබිය යුතුය. දරුවෙකුගේ ජීවිතයේ පළමු දින 1,000 සමග ශාරීරික හා සංජානන වර්ධනයට සහාය වීමට අසමසම අවස්ථාවක් ලබා දීම මගින් දරුවන්ගේ මුල් ළමා වියේ ඇති වැදගත්කම පෙන්නුම් කරයි. එය ළමා සංවර්ධනය සහ රාජ්‍ය වියදම්වල කාර්යක්ෂමතාව පිළිබඳව හොඳ සාක්ෂිකි. ළමා ප්‍රතිලාභ යනු දරිද්‍රතාවය වලක්වන සහ ළමා සෞඛ්‍ය, පෝෂණය සහ අධ්‍යාපන ප්‍රතිඵල සඳහා සහාය වන සාක්ෂි මත පදනම් වූ සහ පරිමාණය කළ හැකි ප්‍රතිපත්තියකි. ගර්භනී සහ කිරි දෙන මව්වරුන් සඳහා ගර්භණී වවුචරය ලබා දීම වැනි වැඩසටහන් ආරම්භ කොට ඒවා ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළ යුතුය. 
  • රටේ අනාගත සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා මානව ප්‍රාග්ධන සංවර්ධනයේ මූලික පදනම පිළිබඳව ඉගෙනීම ශක්තිමත් කිරීමට ඉක්මන් පියවර ගත යුතුය. සාක්ෂි තුළින් අනාවරණය වන්නේ
  • $10 සිට $15 දක්වා අඩු මුදලකට දරුවාට අධ්‍යාපනය ලබා දීමට සහ සෑම දරුවෙකුටම තීරණාත්මක මූලික කුසලතා ඉගෙන ගැනීම සහතික කිරීම සඳහා අධ්‍යාපන පද්ධති ශක්තිමත් කිරීමට හැකි බවයි.
  • අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පුළුල් ඉගෙනුම් ප්‍රතිසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා උපාය මාර්ගයක් (2023 – 2025) සකස් කර ඇති අතර පළාත් නවය සඳහාම වියදම් සහිත ක්‍රියාකාරී සැලසුම් සකස් කර ඇත. මෙම ක්‍රියාවන් ඔවුන් දිරිමත් කෙරෙන පියවරයන් වන අතර, මෙම සැලසුම් සඳහා වන අරමුදල් ප්‍රමාණවත් අයුරින් යොදවා සම්පත් ලබා ගැනීම සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
  • දරුවන්ට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැලැක්වීම:
  • විකල්ප සත්කාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. UNICEF සංවිධානය විසින් විකල්ප සත්කාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියි. එය පුළුල් පරාසයක විහිදෙමින් විකල්ප සත්කාර විකල්පයන් ලබා දෙයි. මේ හරහා මූලික වශයෙන් සියලුම දරුවන්ගේ පවුල්වල පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ බලපෑමට ලක් වූ දරුවන් සඳහා සේවා සපයන සියලුම විධිමත් ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කිරීම දිරිමත් කරනු ලබයි.
  • සියලුම තත්ත්වයන් තුළ ශාරීරිකව දඬුවම් කිරීම තහනම් කිරීමට සහ අපරාධ වලට එරෙහිව කඩිනම් පියවර අනුගමනය කළ යුතුය. මේ මගින් සිදුවන හානිය හා බලපෑම් පිළිබඳව දැන සිටියද, විනය සම්බන්ධයෙන් හා වැරදි නිවැරදි කිරීම සඳහා දරුවන්ට ශාරීරිකව හා මානසික වශයෙන් දෙමාපියන් සහ ගුරුවරුන් ප්‍රචණ්ඩකාරී වීම හරහා ශ්‍රී ලංකාව තුළ ශාරීරික දඬුවම් නීත්‍යනුකූලව පවතින බවට කිසිවකුට පිළිගත නොහැක.
  • ළමා අයිතිවාසිකම්, දේශපාලන කටයුතු ඇතුළු සෑම අවශ්‍යතාවයකටම වඩා ඉහළින් පැවතිය යුතුය. ළමා අයිතිවාසිකම් දිනා ගත හැකි වන්නේ සෑම පුරවැසියෙකුම එම අයිතීන් ආරක්ෂා කරමින් දරුවාගේ යහපත මත පදනම්ව තීරණ සහ ක්‍රියාමාර්ග ගනු ලබන්නේ නම් පමණි.

ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය හැකියාව දක්ෂ අන්දමින් ප්‍රදර්ශනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *