July 27, 2024
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස ශ්‍යාම් සතාසිවම් පත් වෙයි
පුවත්

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස ශ්‍යාම් සතාසිවම් පත් වෙයි

Jan 24, 2024

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන Sunshine Holdings PLC හි ජනවාරි 18 වැනි දින පැවති එහි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සන්ෂයින් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ශ්‍යාම් සතාසිවම් මහතා පත් කළ බව නිවේදනය කළේය. ශ්‍යාම් සතාසිවම් මහතා මීට පෙර සන්ෂයින් හෝල්ඩින්ග්ස් හට අනුබද්ධිත සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සහ සන්ෂයින් කන්සියුමර් ලංකා යන සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

වසර 21කට වැඩි ආයතනික පළපුරුද්දක් ඇති සතාසිවම් මහතා නායකත්ව කුසලතා, විධායක කළමනාකරණ ප‍්‍රවීනත්වය මෙන්ම සුව සේවා සහ පාරිභෝගික අංශවල පුළුල් දැනුමක් සහිත අයෙකි. ඔහු ලංකා වාණිජ මණ්ඩලයේ (CCC) කමිටු සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ (SLCPI) හිටපු සභාපතිවරයෙකි. ශ්‍යාම් තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ආයතනික මූල්‍ය පිළිබඳ කීර්තිමත් එක්සත් රාජධානියේ ආතර් ඇන්ඩර්සන් ආයතනයේදී ය. ඔහු එහිදී මධ්‍යම පරිමාණයේ සමාගම් සඳහා ප‍්‍රාග්ධනය රැස් කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළේය. ඔහු 2005 දී Sunshine Holdings සමඟ සම්බන්ධ විය. එක්සත් රාජධානියේ London School of Economics හි උපාධිධරයෙකු වන සතාසිවම් මහතා ඇමරිකා එක්සත් ජනපදයේ Northwestern විශ්වවිද්‍යාලයේ Kellogg School of Management වෙතින් MBA උපාධියක් ද ලබා ඇති අතර දැනට Harvard Business School හි Owner/President Management (OPM) වැඩසටහනට ඇතුළත්ව සිටී.

ශ්‍යාම් සතාසිවම් මහතාගේ පත්වීම පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ විශ් ගෝවින්දසාමි මහතා සඳහන් කළේ, ‘‘සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ශ්‍යාම් පත්වීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා. අපගේ ව්‍යාපාරය පිළිබඳ ඔහුගේ ගැඹුරු දැනුම, ඔහුගේ උපායමාර්ගික දැක්ම සහ නායකත්ව ගුණාංග සන්ෂයින් හෝල්ඩින්ග්ස් නව තලයකට ගෙනයාමට ඔහුට උපකාර වන බවට මට විශ්වාසයි. සුව සේවා සහ පාරිභෝගික අංශවල ඔහුගේ පුළුල් අත්දැකීම් සන්ෂයින් සමූහයට අනුබද්ධිත විවිධ ආයතන සමඟ හොඳින් ගැලපෙන අතර ඔහුගේ පත්වීම අපගේ අඛණ්ඩ සාර්ථකත්වයට සහ වර්ධනයට සැලකිය යුතු ලෙස දායක වනු ඇතැයි මා විශ්වාස කරනවා. ශ්‍යාම්ගේ මෙම පත් වීම පසුගිය වසර කිහිපය තුළ අප හොඳින් සැලසුම් කරනු ලැබුවා. නිසැකවම සන්ෂයින් සමූහයට නායකත්වය දීමට ඔහුට ඇති හැකියාව ඔහු හොඳින් පෙන්නුම් කර තිබෙනවා. අපගේ සමූහය නියෝජනය කරනු ලබන අනෙක් ප‍්‍රධාන විධායක නිලධාරීන් කිහිප දෙනෙකුගේම සහයෝගය ශ්‍යාම් හට හිමි වේවි. ඔහුගේ නව භූමිකාවට මම ඔහුට හෘදයාංගමව සුබ පතනවා.” යනුවෙනි.

පවුලේ ව්‍යාපාරයක් ලෙස පවත්වා ගෙන ආ සන්ෂයින් ව්‍යාපාරය 2009 වසරේ සිට, ‘‘ශ‍්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් සමූහයක්” බවට පත්වීමේ දැක්ම සහිතව වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කරන ලද විවිධාංගීකරණය වූ සමාගමක් බවට පරිවර්තනය වී ඇත.

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී යනු ශ‍්‍රී ලංකා ආර්ථිකයේ සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල උපායමාර්ගික ආයෝජන සමඟ වටිනාකමක් ඇති කරමින් ”ජාතිය ගොඩනැගීමට” දායකත්වයක් දක්වන සමූහ ව්‍යාපාරයකි.

වසර 56 කට පෙර 1967 දී ආරම්භ කරන ලද මෙම සමූහය සේවකයින් 2,000කට අධික සංඛ්‍යාවකින් සහ FY23 සඳහා රු. බිලියන 51ක ආදායමක් සමඟින් මේ වන විට Zesta Tea, Watawala Tea, Ran Kahata, Daintee Confectionary සහ Healthguard Pharmacy වැනි ප‍්‍රමුඛ පෙළේ ශ‍්‍රී ලාංකේය සන්නාමවලට නිවහන සපයයි. සමූහයේ ව්‍යාපාරික ඒකකවලට Sunshine Healthcare Lanka, Sunshine Consumer Lanka සහ Watawala Plantations PLC ඇතුළත් වන අතර, ඒවා අදාළ අංශවල පුරෝගාමීන් වේ. ඒවායින් බොහොමයක් ආයතන 2023 දී ද  “Great Place to Work” සහතිය හිමි කරගෙන තිබීම විශේෂත්වයකි.

අපගේ දැක්ම වන ”යහපත් දේ ජීවිතයට ගෙන ඒම”යටතේ අපි සියලූ ශ‍්‍රී ලාංකිකයින්ට ගුණාත්මක ඖෂධ සහ පාරිභෝගික නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා දීමට කටයුතු කරන අතර එමගින් සැමට වඩා හොඳ ජීවන තත්වයක් සහතික කිරීමට හැකියාව ලැබී ඇත. අපගේ අඛණ්ඩ වර්ධනයට පදනම වී ඇත්තේ අපගේ ව්‍යාපාරය තුළ පවත්වා ගෙන යන සදාචාරාත්මක වටිනාකම් සහ දිනා ඇති පාරිභෝගික විශ්වාසයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *