October 20, 2026
ශ්‍රී ලංකාවේ නැව් සඳහා වන පර්යන්ත ගාස්තු අයකර ගැනීමේ ක්‍රමවේදය ආපස්සට යා යුතුද?
පුවත්

ශ්‍රී ලංකාවේ නැව් සඳහා වන පර්යන්ත ගාස්තු අයකර ගැනීමේ ක්‍රමවේදය ආපස්සට යා යුතුද?

Oct 20, 2026
Sean Van Dort විසිනි

නැව් සමාගම්වල අතරමැදියන් පිරිසක්, වරායෙන් බහාලුම් බෑම් සහ පැටවීම් සඳහා අය කරන පර්යන්ත ගාස්තුව ප්‍රධාන නැව් ගාස්තුවෙන් වෙන් කර, පාරිභෝගිකයාගෙන් වෙනම අය කර ගැනීමට උත්සාහ කරමින් සිටිති.  වර්තමාන නීතියට අනුව මෙම සියලු ගාස්තු එකම ගාස්තුවක් ලෙස පැමිණිය යුතු අතර එය වෙනස් කර වෙනම ගාස්තු අය කිරීමට අවස්ථාව ලබා දීමෙන් සිදු වන්නේ භාණ්ඩ ආනයනය සහ අපනයනය කිරීමේ පිරිවැය ඉහළ යාමයි. මේ හේතුවෙන් පාරිභෝගිකයා වෙළෙඳපොළෙන් එදිනෙදා මිලදී ගන්නා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සිදුවේ. 

THC යනු කුමක්ද සහ එය පාරිභෝගිකයාට බලපාන්නේ කෙසේද?

වරාය පර්යන්ත මෙහෙයුම් ගාස්තුව (Terminal Handling Charge – THC) යනු නැව් බහාලුමක් වරාය තුළ එහා මෙහා කිරීම, එය නැවට පැටවීම සහ නැවෙන් බෑම, මෙන්ම එහි මීළඟ ගමනාන්තය සඳහා සූදානම් කිරීම වෙනුවෙන් අය කරන ගාස්තුවකි. ඉතා සරල අයකිරීමක් ලෙස පෙනන්නට තිබූවද මෙය සුවිශේෂී ගාස්තුවක් ලෙස සඳහන් කළ හැකිය. 

ශ්‍රී ලංකාවේ නීතියට අනුව, වරාය ගාස්තු සියල්ලම නැව් සමාගමට ගෙවන ප්‍රධාන ගාස්තුවටම ඇතුළත් කළ යුතුය. මෙම මිල කලින්ම එකඟ වන බැවින් පසුව කිසිදු සැඟවුණු ගාස්තුවක් එකතු නොවේ. නමුත් දැන් ඇතැම් පිරිස් උත්සාහ කරන්නේ එම නීතිය වෙනස් කර, කලින් එකඟ වූ මුදලට අමතරව ‘වරාය පර්යන්ත ගාස්තුව‘ වෙනමම අය කර ගැනීමටය.

පාරිභෝගිකයා විසින් මිලදී ගන්නා සහල්, ඖෂධ, සිමෙන්ති, ඇඳුම් පැළඳුම් ඇතුළු සියලු දේ රටට පැමිණෙන්නේ වරාය හරහා වන බැවින් මෙම ක්‍රියාවලිය සඳහා කිසිඳු සම්බන්ධයක් නැති පාරිභෝගිකයින්ටද මේ තුලින් සුවිසල් බලපෑමක් ඇතිවීම වැළැක්විය නොහැකි වනු ඇත. මෙහිදී එකතු වන අමතර ගාස්තු නැව් සමාගමේ සිට ආනයනකරුටත්, ඉන්පසු තොග වෙළෙන්දාට සහ සිල්ලර වෙළෙන්දාටත් ගොස්, අවසානයේදී භාණ්ඩයේ මිලට එකතු වේ. නැව් ගිවිසුමක ඇති එක් කුඩා අමතර ගාස්තුවක් , අවසානයේ සහල් කිලෝවක හෝ දරුවෙකුගේ පාසල් සපත්තු ජෝඩුවක මිල ඉහල නංවන්නේ මේ අයුරිනි. වසරකට සිදුවන මිලියන සංඛ්‍යාත ගනුදෙනු හරහා මෙසේ එකතුවන මුදල ඉතා විශාලය.

වසර ගණනාවක විවාදයන්ගෙන් පසුව, ගිවිසුමට එළඹෙන පාර්ශවය විසින් ගෙවනු ලබන ‘සියල්ල ඇතුළත් ප්‍රවාහන ගාස්තු’ (all-inclusive freight) ක්‍රමය 2013 දෙසැම්බර් මාසයේදී අංක 1842/16 දරන ගැසට් පත්‍රය යටතේ නීතිගත කරන ලදී. පසුව 2017 වසරේදී අංක 2041/10 දරන ගැසට් පත්‍රය මගින් එය තවදුරටත් ශක්තිමත් කෙරුණි. මේ අනුව, පසුගිය දශකයකට ආසන්න කාලයක් තිස්සේ බහාලුම් පිරිවැය දැක්විය යුතුව තිබුණේ සියලුම ගාස්තු ඇතුළත් එකම මුදලක් ලෙස වන අතර, එය අය කළ හැකි වූයේ එම සේවාව සඳහා සැබවින්ම ගිවිසුම්ගත වූ පාර්ශවයෙන් පමණි.

2022 ඔක්තෝබර් මාසයේදී, නැව්ගත කිරීමේ අංශය විසින් දේශීය සේවා සපයන්නන්ගේ ඉල්ලීම මත නව ගාස්තු ක්‍රමයකට අවසර දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. එය පවතින නැව් පනත උල්ලංඝනය කිරීමකි. 1972 අංක 52 දරන නැව් නියෝජිතයන් පනත යටතේ මෙවැනි ගාස්තු නියම කිරීමට අමාත්‍යවරයාට නීතිමය බලයක් නොමැති බව පැහැදිලි වූ විට, අමාත්‍යාංශය උත්සාහ කළේ පාර්ලිමේන්තුව හරහා එම බලය ලබා ගැනීමටයි. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ කවුන්සිලය (SLSC) සහ ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය (SLAMERP) එක්ව මෙයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන ලදී. එහිදී අධිකරණය තීන්දු කළේ එවකට සිටි අමාත්‍යවරයා තම බලතල ඉක්මවා කටයුතු කර ඇති බවත්, එම ගැසට් පත්‍රය අවලංගු කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් පමණක් බවත්ය.

එසේ වුවද, බලපෑම නතර වූයේ නැත. සති කිහිපයකට පසු, අමාත්‍යාංශය විසින් එම ගැසට් පත්‍රය සංශෝධනය කළ අතර, අදාළ සේවා සපයන්නන්ගේම බලපෑම මත 2017 වසරේදී පාරිභෝගිකයන්ට ලබා දී තිබූ ආරක්ෂාවද අවලංගු කරන ලදී. නමුත් මහජනතාවගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් දින කිහිපයක් ඇතුළත එම නීතිය නැවත බලාත්මක කිරීමට රජයට සිදු විය. ඒ අනුව 2023 මාර්තු 31 දිනැති අංක 2334/26 දරන ගැසට් පත්‍රය මගින් පැරණි ආරක්ෂිත නීති රීති නැවත ස්ථාපිත කරන ලද අතර එය අදටත් වලංගු වේ. 2022 සහ 2023 යන වසර දෙක තුළ පමණක් මෙම නීතිය දුර්වල කිරීමට අවස්ථා හතරක් උත්සාහ කර ඇත.

2013 වසරේ සිට ලංකාවේ ආණ්ඩු වෙනස් වන සෑම අවස්ථාවකදීම මෙම පාරිභෝගික ආරක්ෂාව අභියෝගයට ලක් කිරීමට අලුත් උත්සාහයන් දරන ලදී. නමුත් සෑම අවස්ථාවකදීම එම ආරක්ෂිත නීතිය රැක ගැනීමට හැකි විය. ඒ, මෙම නීතිය පවතින්නේ රටේ පොදු යහපත සඳහා මිස අතරමැදියන් කිහිප දෙනෙකු පොහොසත් කිරීමට නොවන බව පැමිණි සෑම රජයක්ම වටහා ගත් බැවිනි. වසර දහයකට වඩා වැඩි කාලයක් තිස්සේ උත්සාහ කළද මෙම නීතිය වෙනස් කිරීමට ඉදිරිපත් කළ කරුණු වලංගු නොවන බව ඔප්පු වී තිබියදීත්, මෙම උත්සාහය නැවත නැවතත් කරළියට පැමිණෙන්නේ මන්දැයි අප ප්‍රශ්න කළ යුතුය.

සැබවින්ම මෙහිදී ආරක්ෂා කෙරෙන්නේ කුමක්ද?

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල ගාස්තු ලේඛනයේ ‘වරාය පර්යන්ත මෙහෙයුම් ගාස්තු’ යනුවෙන් සඳහන් නොවේ.  එහි පැහැදිලිවම සඳහන් වන්නේ, නැවකින් භාණ්ඩ බෑම සහ පැටවීම සඳහා යන පිරිවැය නැව් සමාගම විසින් සෘජුවම වරායට ගෙවිය යුතු බවයි. එය නැව් සමාගම් විසින් ආනයනකරුවන් හෝ අපනයනකරුවන් ගෙන් වෙනම ගාස්තුවක් ලෙස අයකරගත නොහැකි අතර අනෙකුත් සියලුම වියදම් සහ ලාභ පියවා ගැනීම් ද සමඟින් එකම ප්‍රවාහන ගාස්තුවකට ඇතුළත් කළ යුතුය.

රජයේ ගැසට් නිවේදනය මගින් කිසිම සේවා සපයන්නෙකුට තමන්ට සාධාරණව ලැබිය යුතු මුදල් අය කර ගැනීම වළක්වා නැත. එයින් සිදු කර ඇත්තේ එම ගනුදෙනු සියල්ල ඇතුළත් එකම රාමුවක් තුළ සිදුවිය යුතු බවට නියම කිරීම පමණි. එවිට පාරිභෝගිකයා තමන්ට කැමති නැව් සේවාවක් තෝරා ගන්නේ තමන්ට ඇති කෝටා බලය සහ සාකච්ඡා මට්ටම මත මිස, පසුව මවාපාන දේශීය අමතර ගාස්තු නිසා නොවනු ඇත.

මෙම ආරක්ෂිත නීතිය ක්‍රියාත්මක වීමට පෙර, ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට වෙන වෙනම ගාස්තු 50කට ආසන්න ප්‍රමාණයකට මුහුණ දීමට සිදු විය. ඉන් බොහොමයක් නිරන්තරයෙන් වෙනස් වන ඒවා වූ අතර, බොහෝ විට ආනයනකරුවන්ට එම ගාස්තු නියම වන ආකාරය ගැන කිසිදු අයිතියක් තිබුණේ නැත. ආනයනවලට පමණක් අය කළ වරාය පර්යන්ත ගාස්තුව 1995 වසරේදී පැවති ඩොලර් 55 සිට අද වන විට ටොන් එකකට ඩොලර් 155ක් දක්වා ඉහළ ගොස් තිබේ.

JAAF හි ස්ථාවරය

කොළඹ වරාය හරහා ශ්‍රී ලංකාවේ සමස්ත ඇඟලුම් අපනයනවලින් වැඩි කොටසක් මෙහෙයවන ප්‍රධානතම ආයතනය ලෙස, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයට මේ පිළිබඳව සෘජු අයිතිවාසිකමක් සහ වගකීමක් ඇත. අප පෙනී සිටින්නේ අංක 2334/26 දරන ගැසට් නිවේදනය සහ ඒ පිටුපස ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්පූර්ණයෙන්ම එලෙසින්ම ආරක්ෂා කිරීම වෙනුවෙනි.

මෙය නැවත විවාද කළ යුතු හෝ ප්‍රශ්න කළ යුතු මාතෘකාවක් නොවේ. අධිකරණය මේ පිළිබඳව පැහැදිලි තීන්දුවක් ලබා දී ඇති අතර, පසුගිය දශකයකට වැඩි කාලයක් තිස්සේ පැමිණි සෑම රජයක්ම මෙම ආරක්ෂිත නීතිය නැවත නැවතත් පරීක්ෂා කර බලා එය තහවුරු කර ඇත. මෑතකදී වරාය අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවට JAAF සංවිධානය රැගෙන ගියේ මෙම ගැටලුව නැවත ආරම්භ කරන ලෙස කරන ඉල්ලීමක් නොවේ; මෙයින් සිදු කෙරුණේ මෙම ගැසට් නිවේදනය මගින් සමස්ත මහජනතාවද ආරක්ෂා වන බැවින්, එය කිසිසේත්ම සංශෝධනය කිරීම හෝ අවලංගු කිරීම නොකළ යුතු බවට අමාත්‍යවරයාට මතක් කර දීමක් පමණි.

සැබෑ අවදානම

විනිවිදභාවයකින් යුත්, සියල්ල ඇතුළත් වරාය පර්යන්ත ගාස්තු ක්‍රමවේදය මගින් අපනයනකරුවන්, ආනයනකරුවන් මෙන්ම පාරිභෝගිකයන්ද ආරක්ෂා කරනු ලබයි.. මෙම පැහැදිලි නීතිමය තත්ත්වය තහවුරු කර ගැනීමට දශකයකට ආසන්න කාලයක් තිස්සේ නොයෙකුත් උත්සාහයන් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්ද අවශ්‍ය විය. එබැවින් මෙම නීතිය වෙනස් කිරීමට කෙතරම් උත්සාහයන් පැමිණියද, එය කිසිසේත්ම රහසිගතව හෝ නිහඬව වෙනස් කිරීමට ඉඩ නොදිය යුතුය.

2013 වසරට පෙර පැවති, විවිධ නම්වලින් වෙන වෙනම අසාධාරණ අමතර ගාස්තු අය කළ පැරණි යුගයට රට නැවත ගෙන යෑමට අප කිසිසේත්ම ඉඩ නොදෙමු. මන්ද, වරාය හරහා රටට පැමිණෙන භාණ්ඩ සඳහා අවසානයේදී වැඩි මිලක් ගෙවීමට සිදු වන්නේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම බැවිනි. එම නිසා, මෙම නීතිය ආරක්ෂා කිරීම නැව්ගත කිරීමේ හෝ වෙළෙඳ ක්ෂේත්‍රයේ නිරත පිරිස් වෙනුවෙන් පමණක් නොව, මුළු රටේම ජනතාව වෙනුවෙන් ස්ථිරවම කළ යුතු සටනකි.

Sean Van Dort මහතා ඒකාබද්ධ ඇඟලුම් සංසදය වෙනුවෙන් මෙම ලිපිය රචනා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close