August 29, 2026
ජාත්‍යන්තර මූල්‍ය තාක්ෂණ (FinTech) විප්ලවයේ ශ්‍රී ලාංකික අභිමානය සමඟින් මෙරටදී පැවැත්වෙන ප්‍රථම FinTech උළෙල නොවැම්බර් මුලදී
පුවත්

ජාත්‍යන්තර මූල්‍ය තාක්ෂණ (FinTech) විප්ලවයේ ශ්‍රී ලාංකික අභිමානය සමඟින් මෙරටදී පැවැත්වෙන ප්‍රථම FinTech උළෙල නොවැම්බර් මුලදී

Aug 29, 2026

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ සමස්ත ලෝකයේම අවදානය යොමු වෙමින් ඇති යුගයක මූල්‍ය තාක්ෂණ හෙවත් FinTech ක්ෂේත්‍රයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. තාක්ෂණය සමඟ වේගවත් ගමනක යෙදී සිටින ජාත්‍යන්තර මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ද සැලකිය යුතු වර්ධනයක් හිමි කර ගන්නට සමත්ව තිබීම ලාංකිකයන් ලෙස අප සැමට ආඩම්බර විය හැකි කරුණකි. මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන වර්ධනය පෙන්නුම් කරන්නට සහ ඒ තුළින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකික අභිමානය ඉස්මතු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම FinTech උළෙල එළඹෙන නොවැම්බර් මස මුලදී පවත්වන්නට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කෙරෙමින් පවතී. ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා FinTech Forum සංසදය එක්ව සංවිධානය කරන මෙම උළෙල, FinTech Festival 2026 ලෙස නම් කොට ඇති අතර මෙය, නොවැම්බර් 2 සහ 3 යන දිනයන්හි කොළඹ ෂැන්ග්‍රි-ලා (Shangri-La) හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා FinTech Forum සංසදයේ සභාපති චන්න ද සිල්වා මහතා, “මෙම උළෙල ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක්. ඒ වගේම මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ජාතික සන්නාමයක් ලෙස කැපී පෙනීමටත්, ජාත්‍යන්තරය හමුවේ රටට වටිනාකමක් එකතු කරන්නටත් අප දක්වන උනන්දුව පෙන්නුම් කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස මේ උළෙල හඳුන්වන්නට පුළුවන්.” යනුවෙන් පැවසීය.

ගෝලීය වැදගත්කම

ශ්‍රී ලංකා FinTech Festival 2026 යනු සාමාන්‍ය ව්‍යාපාරික සමුළුවකට එහා ගිය, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තලයේ පිළිගැනීමක් ලබා දෙන ප්‍රධාන පෙළේ වැඩසටහනකි. දකුණු ආසියාව සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ නැගී එන ඩිජිටල් මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සලකුණු කිරීම මෙහි අරමුණයි. ශක්තිමත් ගෙවීම් යටිතල පහසුකම්, වේගවත් නියාමන කටයුතු සහ වේගයෙන් වර්ධනය වන මූල්‍ය තාක්ෂණික ක්ෂේත්‍රය ඇතුළු බොහෝ අංශවල කැපී පෙනෙන දියුණුව පෙන්නුම් කිරීමට මෙම උළෙල ඉතා වටිනා අවස්ථාවක් වනු ඇති බව නොඅනුමානය.

“ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය පුළුල් කිරීම උදෙසා ධාරිතාව සහ අවස්ථා ප්‍රවර්ධනය” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම උළෙල මඟින්, මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත නවෝත්පාදන වේගවත් කිරීමට, මූල්‍ය අන්තර්කරණය (Financial Inclusion) ශක්තිමත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය ඉලක්කයන් සපුරා ගැනීම සඳහා සහය ලබා ගැනීමටත් අපේක්ෂා කෙරේ. මෙරට මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයට ජාත්‍යන්තරය තුළ කැපී පෙනෙන ඉඩකඩක් ලබා ගැනීමට බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන, විවිධ ජාත්‍යන්තර පාර්ශව, ශ්‍රී ලංකා රජය, කලාපීය ආයෝජකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණික පාර්ශ්වකරුවන් එක්ව කටයුතු කරමින් සිටීම සතුටට කරුණකි.

ශ්‍රී ලංකා FinTech Forum සංසදයේ අධ්‍යක්ෂ ආචාර්ය කනිෂ්ක වීරමුණ්ඩ මහතා අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාව මේ වන විටත් ශක්තිමත් ඩිජිටල් ගෙවීම් යටිතල පහසුකම් පද්ධතියක් ගොඩනගා තියෙනවා. එම දක්ෂතාවයන් ලෝකයට ගෙන යාමටත්, නවෝත්පාදන දිරිගැන්වීමට සහ අපගේ FinTech ජාලය වෙත දක්ෂ තරුණ පිරිස් හා ආයෝජන වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමට මෙම උළෙල ඉතාමත් හොඳ තෝතැන්නක් නිර්මාණය කරනවා.” යනුවෙන් පැවසීය.

උළෙලේ ක්‍රියාකාරී වැඩසටහන

දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනට විශේෂාංග රැසක් ඇතුළත්ය. නොවැම්බර් 2 වන දින විශේෂිත ‘CEOs Night’ හමුවෙන් ආරම්භ වන උළෙල, බැංකු සහ FinTech ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්, FinTech Forum සංසදයේ අධ්‍යක්ෂ මණ්ඩල සහ උපදේශක සාමාජිකයින්, සම්භාවනීය දේශකයින්, අනුග්‍රාහකයින්, රාජ්‍ය නියෝජිතයින් සහ මහ බැංකු නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සම්පත්දායකයන් 120 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වෙන ආරාධිත හමුවකින් ද සමන්විතය.

නොවැම්බර් 3 වන දිනය පුරා පැවැත්වෙන ප්‍රධාන සමුළුව වන ‘Sri Lanka FinTech Expo’ සඳහා 500කට අධික ටිකට්පත් ප්‍රමාණයක් නිකුත් වී තිබීමෙන් පෙනී යන්නේ මේ පිළිබඳ ක්ෂේත්‍රයේ ඇති ඉහළ උනන්දුවයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ වටිනා දේශන, සාකච්ඡා මණ්ඩප සහ මූල්‍ය තාක්ෂණික හා විසඳුම් සම්පාදකයින්ගේ (FinTech & Solution Provider) විශේෂ ප්‍රදර්ශනයක් ද මීට සමගාමීව පැවැත්වීමට නියමිතව ඇත.

එදින අවසානයේ පැවැත්වෙන ‘Festival Night’ විශේෂ සාදය සමඟ සමස්ත උළෙල අවසන් වන අතර, මේ සඳහා උළෙලේ සාමාජිකයින්, විශේෂ ආරාධිතයින් සහ රාත්‍රී සාදය සඳහා පමණක් ටිකට්පත් ලබාගත් පිරිස එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා FinTech Forum සංසදයේ උත්සව කටයුතු පිළිබඳ සභාපති හිතේෂ් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින්, “රජය, නියාමන ආයතන, මූල්‍ය ආයතන සහ තාක්ෂණික සේවා සම්පාදකයින් ඒකරාශී කරමින් පවත්වන මෙම උළෙල මඟින් ශ්‍රී ලංකාවේ FinTech ක්ෂේත්‍රයේ දියුණුව ඉතා හොඳින් පෙන්නුම් කෙරෙනවා. ඒ වගේම මේ තුළින් ශ්‍රී ලංකාව ගෝලීය තලයට ගෙන යාමටත් ලැබෙන අවස්ථාව ඉතාමත් වැදගත් එකක්.” යනුවෙන් පැවසීය.

උපායමාර්ගික ඉලක්කය

‘Sri Lanka FinTech Expo’ සමුළුවේදී ජාතික ඩිජිටල් මූල්‍ය ප්‍රතිපත්ති, නියාමන ක්‍රමවේද, මූල්‍ය තාක්ෂණයේ අනාගතය පිළිබඳ විශේෂ දේශනයක් සහ ප්‍රධාන තේමා 4ක් යටතේ සාකච්ඡා මාලාවක් ද පැවැත්වීමට නියමිතය. Unicorn ව්‍යාපාර ගොඩනැගීම සහ මූල්‍යකරණය, තිරසර බව සහ පද්ධති සඳහා මූල්‍ය තාක්ෂණ ඇතුළත් කිරීම, සයිබර් ආරක්ෂණ සහ වංචා වැළැක්වීම, හා ඩිජිටල් වත්කම් සහ වත්කම් ටෝකන්කරණය එම තේමාවන් වේ.

මෙම උළෙලේ සැබෑ අරමුණ මීටත් වඩා පුළුල් පරාසයකට විහිදෙන්නකි. රටේ ඩිජිටල් ගෙවීම් යටිතල පහසුකම් සහ තාක්ෂණික හැකියාවන්ට ජාත්‍යන්තර තලයේ ඉඩක් ලබා ගැනීමත්, ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳ සාකච්ඡා සහ පුරෝගාමී නායකත්වය සඳහා ඉඩක් ලබා ගැනීමත් ඒ අතරින් කැපී පෙනෙයි. එමෙන්ම රටේ සමස්ත ඩිජිටල් ආර්ථිකයට ශක්තියක් වන මූල්‍ය අන්තර්කරණය, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර (SME) සහ සංචාරක ගෙවීම් පද්ධතීන් තවදුරටත් බලගැන්වීම ඇතුළු තවත් අරමුණු රැසක් මෙම දැවැන්ත උළෙල හරහා ඉටු කරගැනීම සංවිධායකයන්ගේ බලාපොරොත්තුවයි. ශ්‍රී ලංකා FinTech උළෙල 2026 මඟින් ජාත්‍යන්තර මූල්‍ය තාක්ෂණික ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තබන්නට අපේක්ෂා කරන්නේ මෙවන් වූ පුළුල් මෙහෙවර රැසකට නායකත්වය ද ලබා දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close