June 22, 2026
මෙරට ටෙනිස් ක්‍රීඩාවේ අනාගතය වෙනස් කිරීමට ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීග් තරගාවලිය සූදානම්
පුවත්

මෙරට ටෙනිස් ක්‍රීඩාවේ අනාගතය වෙනස් කිරීමට ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීග් තරගාවලිය සූදානම්

Jun 22, 2026

මෙරට ටෙනිස් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් වැදගත් පියවරක් තබමින් ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීග් (SLTPL) තරගාවලිය නිල වශයෙන් හඳුන්වා දී ඇත. මුළු දිවයින පුරාම ටෙනිස් ක්‍රීඩාව වර්ධනය කිරීමට සහ ප්‍රචලිත කිරීමට අවශ්‍ය ස්ථාවර පසුබිමක් නිර්මාණය කිරීම මෙම සුවිශේෂී නව වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණයි.

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ (SLTA) පූර්ණ අනුමැතිය සහ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන මෙම පළමු ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීග් තරගාවලිය, 2026 අගෝස්තු 27 වනදා සිට 30 වනදා දක්වා කොළඹ පිහිටි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීග් තරගාවලිය යනු හුදෙක් තවත් එක් තරගාවලියක් පමණක් නොව, මෙරට ටෙනිස් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් කරනු ලබන දිගුකාලීන ආයෝජනයක් ලෙස හැඳින්විය හැකිය. ලාභය අරමුණු කර නොගත් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම තරගාවලියෙන් ලැබෙන ලාභය, විශේෂ ටෙනිස් සංවර්ධන අරමුදලක් වෙත බැර කෙරේ. එම මුදල් ක්‍රීඩා යටිතල පහසුකම් නැංවීමට, ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට, පුහුණුකරුවන්ගේ වෘත්තීය මඟ පෙන්වීමට මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට සම්පූර්ණයෙන්ම යොදවනු ඇත.

මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් අයිසැක් මහතා ප්‍රකාශ කළේ, ජයග්‍රහණය සඳහා අවශ්‍ය දක්ෂතාවය, කැපවීම සහ ක්‍රීඩා සංස්කෘතිය මෙරට ක්‍රීඩකයන් සතු වුවත්, ටෙනිස් ක්‍රීඩාවේ දිගුකාලීන වර්ධනය උදෙසා ස්ථාවර මූල්‍ය ප්‍රතිපත්තියක අවශ්‍යතාවයක් පැවති බවයි. රට පුරා ටෙනිස් ක්‍රීඩාවට ඉහළ පිළිගැනීමක් ලබා දෙන අතරම, අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන උපයා ගත හැකි සාර්ථක වාණිජමය වටපිටාවක් නිර්මාණය කරමින් මෙම අභියෝගයට ස්ථිර විසඳුමක් ලබා දීම SLTPL තරගාවලියේ මූලික ඉලක්කය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ හුදෙක් එක් ක්‍රීඩා තරගාවලියකට පමණක් සීමා නොවී, රට පුරා සිටින ක්‍රීඩකයින්, ප්‍රේක්ෂකයින්, අනුග්‍රාහකයින් මෙන්ම සමස්ත ප්‍රජාවම එකම අරමුණකට එක් කරන ප්‍රබල සමාජයීය පිබිදීමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව SLTPL අධ්‍යක්ෂ රොෂාන් සිල්වා මහතා පෙන්වා දුන්නේය. මෙම ලීග් තරගාවලිය මගින් දැනටමත් ප්‍රායෝගික ප්‍රතිලාභ රැසක් ලැබෙමින් පවතින අතර ඒ හරහා ස්ථාපිත කෙරෙන ප්‍රථම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය ලෙස කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ක්‍රීඩා පිටියේ ජාත්‍යන්තර මට්ටමේ විදුලි ආලෝක පද්ධතියක් සවි කිරීමේ මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

ක්‍රීඩකයන්ගේ දක්ෂතා නැංවීමට අමතරව, මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන සතු ආයෝජන අවස්ථා ටෙනිස් ක්‍රීඩාව වෙත ආකර්ෂණය කර ගැනීමට ද SLTPL තරගාවලිය මනා පිටුවහලක් වනු ඇත. විශේෂයෙන්ම, සමාජය තුළ කැපී පෙනෙන සහ බලපෑමක් කළ හැකි ඉහළ ප්‍රේක්ෂක පිරිසක් ටෙනිස් ක්‍රීඩාව වටා රොද බැඳ සිටිති. මේ හේතුවෙන්, වාණිජ සන්නාමයන් වෙනුවෙන් සිය ව්‍යාපාරික අරමුණු ඉටු කරගන්නා අතරම, ක්‍රීඩාවේ උන්නතිය උදෙසා සෘජුව දායක විය හැකි ජාතික මට්ටමේ සුවිශේෂී අවස්ථාවක් මෙම තරගාවලිය හරහා උදාවේ.

ප්‍රබල පාලන ව්‍යුහයක් සහ ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ බහුතර අයිතිය ඇතිව ස්ථාපිත SLTPL තරගාවලිය, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ස්ථාවර සහ දිගුකාලීන බලපෑමක් කිරීමට නිර්මාණය කර ඇත. නව පරපුරේ ක්‍රීඩකයන් බිහි කිරීම, පහසුකම් නැංවීම සහ සමාජ දිරිගැන්වීම හරහා, එය ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාව වඩාත්ම ප්‍රගතිශීලී සහ තිරසාර ක්‍රීඩාවක් බවට පත් කිරීමට කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close