July 27, 2024
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මානයන්හි YouthCan! වැඩසටහන නව මුහුණුවරකින් දියත් කරයි
පුවත්

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මානයන්හි YouthCan! වැඩසටහන නව මුහුණුවරකින් දියත් කරයි

Dec 11, 2023

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන, YouthCan! වැඩසටහන නව මුහුණුවරකින් දියත් කිරීමට පියවර ගෙන තිබේ. තරුණ පරපුරේ කුසලතා වැඩිදියුණු කරමින්, ඔවුන්ට රැකියා සොයාගැනීම පහසු කිරීම ඉලක්ක කරගත් මෙම වැඩසටහනේ නවතම අදියර, 2023 දෙසැම්බර් 07 දින කොළඹ රමාඩා හෝටලයේදී දියත් කරන ලදී.  ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ සන්නාම තානාපති රොෂාන් මහානාම මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේය.

YouthCan! යනු අනෙකුත්  රටවල   SOS ළමා ගම්මාන වැඩසටහන් සහ පෞද්ගලික අංශය අතර ඇතිකරගත් ගෝලීය හවුල්කාරීත්වයකි. තරුණ පරපුරට පාසල් අධ්‍යාපනය අවසන් කර රැකියාවන්ට සහ ස්වාධීන ජීවිතයකට පිවිසීමට අත්වැලක් වීම එහි මූලික අරමුණයි. තම වෘත්තීය හා ජීවන කුසලතා වැඩිදියුණු කිරීමට අවශ්‍ය මගපෙන්වීම, සහයෝගය හා පුහුණුව අපේක්ෂා කරන, අවුරුදු 14 වැඩි දරු දැරියන්ට සහ තරුණ තරුණියන්ට YouthCan! සමග සම්බන්ධ විය හැක.

වෘත්තීය කුසලතා හා නිපුණතා සංවර්ධනය, පුද්ගල වර්ධනය සහ උපදේශනය ඇතුළු මැදිහත්වීම් හරහා තරුණ පරපුර සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ කේන්ද්‍රීය මෙහෙවරයි. මෙහිදී දෙමාපිය රැකවරණය අහිමි දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකෙරේ.

අතීතයේ සිටම මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා, මෙහි ප්‍රධාන ආයතනික හවුල්කරුවන් වන Akzonobel සහ DHL වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබේ. මේ යටතේ පින්තාරු කිරීමේ හා යටිතල සංවර්ධන ව්‍යාපෘති, නායකත්ව පුහුණු හා දිරිගැන්වීමේ වැඩසටහන්, වෘත්තීය මාර්ගෝපදේශන සේවා, සේවක දායකත්ව වැඩසටහන් සහ අත්දැකීම් ලැබීමේ සංචාර ඇතුළු වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබේ.

රට තුළ ආර්ථික අභියෝග පවතින වාතාවරණයක් තුළ මෙම වැඩසටහන නව මුහුණුවරකින් දියත් වීම අතිශයින් වැදගත් ය. ආර්ථික අර්බුද මධ්‍යයේ තරුණ පරපුරේ සේවා නියුක්තියට බලපාන ගෝලීය සාධක සම්බන්ධයෙන් මැදිහත් වීම, අවදානමට ලක්විය හැකි තරුණ තරුණියන්ගේ ජීවන තත්ත්වය නැංවීමට උපකාරී වන වාතාවරණයක් සකස් කිරීම, සහ තරුණ පරපුර සවිබල ගැන්වීම අරමුණු කරගත් අන්තර්- සහයෝගීතා ජාලයන් ශක්තිමත් කිරීම යන ප්‍රධාන අරමුණු තුන කෙරෙහි මෙහිදී මූලික වශයෙන් අවධානය යොමුකෙරේ.

එමෙන්ම ඉදිරියේදී නව හවුල්කරුවන් සම්බන්ධ කරගනිමින් මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමටද සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන මගින් මෙලෙස YouthCan! නව මුහුණුවරකින් දියත් කිරීම, තරුණ පරපුරේ ස්වාධීනත්වය හා රැකියා නියුක්තිය තහවුරු කිරීම සඳහා දීපව්‍යාප්ත වශයෙන් සහයෝගය ලබාගැනීමට අගනා පදනමක් සපයනු නිසැක ය.

“මේ දක්වා තරුණ පරපුර සවිබල ගැන්වීම සම්බන්ධයෙන් YouthCan! අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අපට නිහතමානීව සතුටු වන්නට පුළුවන්. මෙය නව මුහුණුවරකින් දියත් කිරීම තුළින්, ඇතිකරන යහපත් බලපෑම ලොවට පෙන්වා දීමටත්, මේ සඳහා තවතවත් හවුල්කරුවන් සම්බන්ධ කරගැනීමටත් අප බලාපොරොත්තු වනවා. අලුත් වැඩසටහන් පෙළක් ඔස්සේ, රටේ තරුණ පරපුරට වඩාත් යහපත් අනාගතයක් උදාකර දීම සඳහා පෙරමුණ ගැනීමට අපට හැකියාව ලැබේවි.” ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන, මෙරට දෙමාපියන් අහිමි හෝ දෙමාපියන් අහිමි වීමේ අවදානමක් සහිත දරුවන්ට, දිවයිනේ ප්‍රදේශ 8 ක පවුල් නිවාස 172 ක් හරහා පවුල් මූලික කරගත් රැකවරණයක් ලබාදෙයි. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.soschildrensvillages.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *