June 13, 2026
ශ්‍රී ලකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින් ප්‍රවාහන සේවාවන් නවීකරණය කිරීමේ මෙහෙවර
පුවත්

ශ්‍රී ලකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින් ප්‍රවාහන සේවාවන් නවීකරණය කිරීමේ මෙහෙවර

Jun 13, 2026

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට ඩිජිටල් තාක්ෂණික පහසුකම් ඔස්සේ සිය දායකත්වය ලබාදීමට කටයුතු කළේය. මෙය ජාතික අවශ්‍යතා ඉටුකරලීම සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීමට සහය වීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්ම මැනැවින් නිරූපණය කළ මෙහෙවරක් ලෙස හැඳින්විය හැක.

මෙහිදී හුදෙක් ටිකට්පත් ඩිජිටල්කරණය කිරීමට සීමා නොවී, මගීන්ගේ දෛනික ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා වඩාත් පුළුල් ලෙස දායක වීම SLT-MOBITEL හි අරමුණ විය. මගීන්ගේ පහසුව සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විනිවිදභාවය මෙන්ම, දුර ගමන් බස් රථ සේවාවන් සම්බන්ධයෙන් මගීන් තුළ පවතින විශ්වාසය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන ලදි. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමට සහ පුරවැසියන් ඉලක්ක කරගත් රජයේ සේවාවන් වැඩිදියුණු කිරීමට සහයෝගය ලබාදීම සඳහා SLT-MOBITEL දරන නිරන්තර උත්සාහය මැනැවින් පිළිබිඹු කරයි.

නවීකරණය කරන ලද කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් විවෘත කරන ලදි. මෙය ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීමේ ප්‍රයත්නයන්හි සුවිශේෂී හැරවුම් ලක්ෂයක් ලෙස හැඳින්විය හැකි වේ.

මෙම නවීකරණ ක්‍රියාවලිය සඳහා තොරතුරු තාක්ෂණික පදනම බවට පත් වූයේ SLT-MOBITEL සතු උසස් ඩිජිටල් විසඳුම් පෙළයි. මගීන්ගේ පහසුව, මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාව සහ ජාතික සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සඳහා මෙම විසඳුම් භාවිතයට ගෙන තිබේ. මේ ආකාරයට දිවයින පුරා රාජ්‍ය සේවාවන් ශක්තිමත් කරන ආරක්ෂිත, විධිමත් සහ පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් වේදිකා ගොඩනැංවීමට දායක වීම සඳහා SLT-MOBITEL කැප වී සිටී.

මෙම නවීකරණ ව්‍යාපෘතිය සඳහා SLT-MOBITEL විසින් තත්‍යකාලීන කාලසටහන් සහ පොදු පණිවිඩ ප්‍රදර්ශනය කරන ඩිජිටල් පුවරුවක් ඇතුළුව තොරතුරු හා සන්නිවේදන යටිතල පහසුකම් සපයන ලදී. එමෙන්ම මධ්‍යම බස් නැවතුම්පොළ තුළ ස්ථාපිත කර ඇති ඇති Wi-Fi විසඳුමක් මඟින් එහි මගීන් ගැවසෙන සියලුම ස්ථානවලට අන්තර්ජාල සම්බන්ධතා පහසුකම් ලබා දී තිබේ. මෙම පහසුකම් මඟින් දිනපතා මෙම බස් නැවතුම්පොළ භාවිතා කරන මගීන් දහස් ගණනකට විශ්වාසනීය තොරතුරු සමඟ වඩාත් පහසු ගමනාගමන අත්දැකීමක් හිමි වනු ඇති අතර. එමඟින් පොදු ප්‍රවාහනය කෙරෙහි ඔවුන් තුළ ඇති විශ්වාසය වැඩිදියුණු වනු නිසැකය.

මෙහිදී මාකුඹුර – මාතර සහ මාකුඹුර – ගාල්ල යන ගමන් මාර්ග ආවරණය වන පරිදි ‘මාකුඹුර නියමු ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති බස් ටිකට්පත් වෙන්කරවා ගැනීමේ සේවාවක්ද දියත් කරන ලදී. මෙහි අරමුණ වී ඇත්තේ මගීන්ට දිගු පෝලිම්වල රැඳී සිටීමෙන් තොරව, කල්තබා බස් රථවල ආසන වෙන්කරවා ගැනීමට අවස්ථාව සලසා දීමය. මෙමඟින් මගීන්ගේ පහසුව මෙන්ම සමස්ත ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවද වැඩිදියුණු වේ. එමෙන්ම බස් රියදුරන් සහ නියාමකවරුන් සම්බන්ධයෙන් ගත් විට එය කාලසටහන් සැකසීම සහ පිටත්වීම් සම්බන්ධ විනිවිදභාවය, මෙහෙයුම්වල විවෘතභාවය සහ විධිමත් බව වැඩිදියුණු කරයි.

ඉදිරියේදී මගීන්, රියදුරන් සහ මධ්‍යම බස් නැවතුම්පොළේ කාර්යමණ්ඩලය වෙතින් අදහස් හා ප්‍රතිචාර විමසීමටද SLT-MOBITEL සැලසුම් කර තිබේ. එම ප්‍රතිචාර අනුව මෙම ක්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කිරීම, බස් ගමන් මාර්ග දීර්ඝ කිරීම සහ ඉදිරියේදී මෙම තාක්ෂණයන් ජාතික මට්ටමින් ක්‍රියාවට නැංවීම ආදිය සලකා බැලෙනු ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත්තේ සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, නියාමන බලධාරීන්, රියදුරන්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ SLT-MOBITEL යන සියලු පාර්ශ්වයන්ගේ සාමූහික දායකත්වය තුළිනි. මෙම පාර්ශ්ව සියල්ල ඉමහත් කැපවීමෙන් යුතුව සුවිශාල වැඩ කොටසක් කෙටි කාලයක් තුළ අවසන් කරමින්, ජාතික වැදගත්කමකින් යුත් විසඳුමක් රටට දායාද කිරීමට සමත් වූහ.

විශේෂයෙන්ම උත්සව සමයන්හිදී මගීන්ට වඩාත් පහසුවෙන් සහ විශ්වාසයෙන් යුතුව පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීම සඳහා මෙම විසඳුම් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු නිසැකය. www.busticket.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්, මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති යන්ත්‍ර භාවිතා කිරීමෙන් සහ 011 200 1266 ක්ෂණික ඇමතුම් සේවාව ඇමතීමෙන් මගීන්ට දැන් ඉතාමත් පහසුවෙන් දුරගමන් බස්රථ සේවාවල ආසන වෙන් කරවාගත හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close