November 25, 2024
SLT-MOBITEL නව ESG තේමාවවන ‘Co-Connection’ දියත් කෙරේ
පුවත්

SLT-MOBITEL නව ESG තේමාවවන ‘Co-Connection’ දියත් කෙරේ

May 16, 2024

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය නව පාරිසරික, සමාජයීය සහ ආයතනික යහපාලන තේමාවවන ‘Co-Connection’ පසුගියදා නිල වශයෙන් හඳුන්වා දුන්නේ ය. මෙය මානව ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන අයහපත් බලපෑම් අවම කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයන් මැනැවින් සංකේතවත් කරන්නකි.

තිරසර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා SLT-MOBITEL මගින් ඉටුකරනු ලබන තීරණාත්මක කාර්යභාරය ‘Co-Connection’ මගින් මැනවින් නිරූපණය වේ. එමෙන්ම එය SLT-MOBITEL හි ව්‍යාපාර කටයුතු සහ පාරිසරික හා සමාජයීය යහපැවැත්ම අතර සම්බන්ධතාව අවධාරණය කරයි.

‘Co-Connection for the Environment’ මගින් මූලික වශයෙන් පාරිසරික බලපෑම් අවම කිරීම සහ පරිසර සංරක්ෂණ පරිචයන් ප්‍රවර්ධනය කිරීම සඳහා SLT-MOBITEL විසින් දරනු ලබන උත්සාහයන් අදහස් වේ. හරිතාගාර වායු විමෝචනය අවම කිරීම, බලශක්තිය හා ස්වාභාවික සම්පත් සුරැකීම සහ තිරසර අනාගතයක වැදගත්කම අවධාරණය කිරීම ආදිය ඊට ඇතුළත් ය.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL සමස්තයක් ලෙස තම මෙහෙයුම් තුළ හරිතාගාර වායු විමෝචනය මෙට්‍රික් ටොන් මිලියන 18 කින් අඩු කිරීමට සමත් වී ඇත. එමෙන්ම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 300 ක් පමණ විධිමත් ලෙස කළමනාකරණය කිරීමටද සමාගම පියවර ගෙන තිබේ.

‘Co-Connection for Society’ උප තේමාව යටතේ සමාගම සිය සේවක සේවිකාවන්ගේ සහ ප්‍රජාවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇත. අධ්‍යාපන හා සෞඛ්‍ය ආධාර ලබාදීම, විවිධත්වය හා අන්තර්කරණය තහවුරු කිරීමට සහය වීම සහ දරිද්‍රතාව හා අසමානතාව අවම කිරීමට කැපවීම ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් රටට සිදු වූ දැවැන්ත බලපෑම හමුවේ රටේ ජනතාවට අඛණ්ඩව සම්බන්ධතා පහසුකම් පිරිනැමීම සඳහා අර්බුද කාලසීමාව තුළ රු. මිලියන 350 කට වැඩි ආයෝජනයන් සිදුකිරීමට SLT-MOBITEL පියවර ගත්තේ ය. එමෙන්ම දීර්ඝකාලීන වැදගත්කම සැලකිල්ලට ගනිමින් සමාගම විසින් තමන් සතු අක්කර 15 කට වැඩි ඉඩම් ප්‍රමාණයක කෘෂි භෝග වගා කිරීමටද පියවර ගන්නා ලදී.

‘Co-Connection for Governance’ උප තේමාව යටතේ අවධානය යොමුකරනු ලබන්නේ, ආයතනයේ විනිවිදභාවය, වගවීම සහ අවංකභාවය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙනි. ශක්තිමත් ආචාරධාර්මික ප්‍රමිතීන් හඳුන්වා දීම, වගකීම්සහගත ආයතනික මෙහෙයුම් ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීම, පාර්ශ්වකරුවන් සමග විධිමත් සම්බන්ධතා පවත්වා ගැනීම සහ තිරසර අනාගතයක් ගොඩනැංවීම ඉලක්ක කරගත් ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීම යනාදිය එම උත්සාහය තුළ ප්‍රධාන තැනක් ගනී.

මීට අමතරව තම ආයතනික සමාජ වගකීම් ප්‍රයත්නයන් සඳහා ආදර්ශයක් වශයෙන් තිරසර සංවර්ධන ඉලක්ක භාවිතයට ගැනීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. තිරසර සංවර්ධන ඉලක්ක යනු ලෝකය සහ ජනතාව වෙනුවෙන් තිරසර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා භාවිතා කළ හැකි විධිමත් ගෝලීය ඉලක්ක එකතුවකි.  

එමෙන්ම SLT-MOBITEL විසින් සිය ආයතනික පාලන විධිවිධාන යටතේ දුෂ්කෘත නිවේදන ක්‍රියාවලියක් (Whistleblowing Procedure) හඳුන්වා දීම නිසා සමාගමේ සේවකයන්ට, හවුල්කරුවන්ට මෙන්ම මහජනතාවට, සමාගම සම්බන්ධයෙන් නිරීක්ෂණයවන ගැටලු වාර්තා කිරීමට අවස්ථාව සැලසී ඇත. එමෙන්ම ක්‍රමෝපායික ආයෝජන, නිෂ්පාදන, ව්‍යාපෘති සහ තොරතුරු තාක්ෂණය ආදිය සම්බන්ධයෙන් පාලන මණ්ඩලද පිහිටුවා තිබේ.

වර්තමානයේදී ලොව සමාගම් හා ආයතනවලට ශක්තිමත් පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන පදනමක් තිබීම අතිශයින් වැදගත් ය. එය මැනැවින් හඳුනාගත් SLT-MOBITEL ඒ සම්බන්ධයෙන් සක්‍රීය ප්‍රවේශයක් අනුගමනය කරමින් සිටී. ඒ ඔස්සේ තම කාර්ය මණ්ඩලය, ව්‍යාපාරික හවුල්කරුවන් සහ පොදු සමාජය යන සියලු පාර්ශ්වවල යහපත උදාකරමින්, ගෝලීය තිරසරත්වය වෙනුවෙන් අර්ථවත් දායකත්වයක් දැක්වීම සඳහා SLT-MOBITEL දරන උත්සාහය ‘Co-Connection’ තේමාව මගින් මැනැවින් සංකේතවත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *