ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව
ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සංරක්ෂණය කරමින් ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යන ජාතික තොරතුරු හා සන්නිවේදන විසඳුම් සැපයුම්කරු වන SLT-MOBITEL, අඛණ්ඩව 11 වැනි වසරටත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නිල තොරතුරු හා සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙස සිය හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කර ඇත.
දශකයක් පුරා ශ්‍රී දළදා මාලිගාව වෙත අඛණ්ඩ සහයෝගය ලබාදෙමින් පවත්වාගෙන යන මෙම දිගුකාලීන හවුල්කාරිත්වය, ශ්‍රී ලංකාවේ අතිශය ගෞරවාදරයට පාත්‍ර වූ ආගමික හා සංස්කෘතික ස්ථානයක් වන ශ්‍රී දළදා මාලිගාවේ වෙත නවීනතම තාක්ෂණය බාධාවකින් තොරව ලබාදීම සඳහා SLT-MOBITEL සතු කැපවීම තවදුරටත් අවධාරණය කරයි.
මෙම අඛණ්ඩ සහයෝගීතාවයේ කොටසක් ලෙස, SLT-MOBITEL හි නවීන ෆයිබර් ජාලය හරහා බලගැන්වෙන අධිවේගී ෆයිබර් අන්තර්ජාල පහසුකම්, SLT -MOBITEL PEO TV සහ හඬ සේවා ශ්‍රී දළදා මාලිගාව වෙත සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමට කටයුතු කරනු ඇත.
මෙම නවීනතම සේවාවන් මගින් මාලිගාවේ මාධ්‍ය මධ්‍යස්ථානය සවිබල ගැන්වෙන අතර, පූජනීය ආගමික උත්සව සහ සංස්කෘතික වැඩසටහන් ලොව පුරා සිටින සැදැහැවතුන් වෙත බාධාවකින් තොරව සජීවීව විකාශය කිරීමට හැකියාව ලැබේ.
මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන අංගයක් වන්නේ වාර්ෂික මහනුවර ඇසළ පෙරහර සජීවීව විකාශය කිරීම සඳහා SLT-MOBITEL ලබාදෙන සහයෝගයයි. සිය ශක්තිමත් ICT යටිතල පහසුකම් උපයෝගී කරගනිමින්, ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ට රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ මෙම අති උත්කර්ෂවත් වාර්ෂික පෙරහර සජීවීව නැරඹීමට SLT-MOBITEL පහසුකම් සලසයි.
සජීවී විකාශනවලින් ඔබ්බට යමින්, SLT-MOBITEL හි තාක්ෂණික විසඳුම් මගින් වාර්තා චිත්‍රපට, ඡායාරූප සහ උත්සව අවස්ථාවන්හි විශේෂ අවස්ථා සංරක්ෂණය කර බෙදාහැරීමට ද මාලිගාවට හැකියාව ලැබේ. මෙලෙස නවීනතම සම්බන්ධතා තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංස්කෘතික උරුමය අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමට SLT-MOBITEL දායක වේ.

