July 27, 2024
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සම්ප්‍රදායේ පෙරළියක් සිදුකළ SLT-MOBITEL mCash සිය 10 වැනි සංවත්සරය සමරයි
පුවත්

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සම්ප්‍රදායේ පෙරළියක් සිදුකළ SLT-MOBITEL mCash සිය 10 වැනි සංවත්සරය සමරයි

Dec 12, 2023

2013 වසරේ ආරම්භ වූ මෙරට ජාතික ජංගම මුදල් සේවාවවන mCash, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රය විප්ලවීය වෙනසකට ලක්කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරමින්, මුදල් වෙනුවට ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතාවන අනාගතයක් කරා ශ්‍රී ලංකාවේ ගමන් මග ශක්තිමත් කිරීමට දායක වී තිබේ. දකුණු ආසියාවේ වේගයෙන් දියුණුවන මූල්‍ය-තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන mCash මෙම වසරේදී සිය 10 වැනි සංවත්සරය සමරයි.

ආරම්භයේ පටන් මේ දක්වාම mCash සේවාව මෙරට මූල්‍ය-තාක්ෂණ හා ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයන්ට අතිනවීන විසඳුම් හඳුන්වා දී ඇත. මොබයිල් වොලට්, බිල්පත් ගෙවීමේ පහසුකම්, ගෙවීම් භාරගැනීමේ පහසුකම්, ගෙවීම් ද්වාර සේවා, LankaQR ගෙවීම් විසඳුම්, නියෝජිත බැංකුකරණ සේවා, අභ්‍යන්තර ප්‍රේෂණ සහ අගය එකතුකළ මූල්‍ය සේවා වැනි සේවා රාශියක් මීට ඇතුළත් ය.

දැවැන්ත වර්ධනයක් අත්කර ගනිමින්, මේ වනවිට ජංගම ගෙවීම් වෙළඳපොළෙන් 58% ක ප්‍රතිශතයක් තමන් සතු කරගැනීමට mCash සමත් වී ඇත. මීට අමතරව බිල්පත් ගෙවීම් සේවා හවුල්කරුවන් සහ නාලිකා ජාල හවුල්කරුවන් 100කට අධික සංඛ්‍යාවක්  මේ වනවිට mCash සමග අත්වැල් බැඳගෙන සිටී.

ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත් වී ඇති mCash හි පාරිභෝගික පදනම මිලියන පහ ඉක්මවා ඇති අතර, ඒ හරහා මසකට ගනුදෙනු මිලියනයකට අධික සංඛ්‍යාවක් සිදු වේ. දිවයින පුරා නියෝජිතයන් 30,000 කට අධික සංඛ්‍යාවක් සහ පාරිභෝගික අලෙවිසැල්, සුපිරි වෙළඳසැල් සහ ඩිජිටල් හවුල්කරුවන් ඇතුළු ගනුදෙනු කිරීමේ ස්ථාන විශාල සංඛ්‍යාවක් මේ වනවිට mCash සමග එක් වී සිටී. එමෙන්ම රටේ සුළු පරිමාණ ව්‍යාපාරවලට අතිශයින් වැදගත්වන QR ගෙවීම් සේවා ප්‍රචලිත කිරීමටද mCash කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ. LankaQR සේවා මෙරට තුළ ව්‍යාප්ත කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන mCash හරහා මසකට සිදුවන QR ගනුදෙනු සංඛ්‍යාව 50,000 ඉක්මවයි. අද වනවිට QR තාක්ෂණය වැනි තාක්ෂණ නිසා කුඩා පරිමාණ ව්‍යාපාරවලට මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරවලටද අත්වන ප්‍රතිලාභ ඉමහත් ය.

එමෙන්ම බැංකු සේවා නොලබන ප්‍රජාව වෙතද මූල්‍ය සේවා හඳුන්වා දීම තුළින්, ඔවුන් ප්‍රථම වරට මූල්‍ය සේවා වෙළඳපොළ වෙත අන්තර්ග්‍රහණය කරගැනීමට mCash සමත් වී ඇත. mCash සේවාව මෙරට බැංකු සහ ඒවායෙහි ගනුදෙනුකරුවන් අතර අතරමැදියෙකු ලෙස කටයුතුකරන අතර, ජංගම දුරකථන ජාලය කුමක් වුවද සියලුම පාරිභෝගිකයන්ට මූලික මට්ටමේ බැංකු සේවා පිරිනමයි. එමෙන්ම ලොව පිළිගත් මුදල් හුවමාරු සේවා සම්පාදකයන් සමග එක් වී, මුදල් එවන්නන්ට මෙන්ම ලබන්නන්ටත් ප්‍රතිලාභ හිමිවන, අඩු වියදම් ප්‍රේෂණ සේවා හඳුන්වා දීමටද mCash පියවර ගෙන තිබේ.

මීට අමතරව mCash, තමන් සමග අත්වැල් බැඳගත් බැංකු සමග එක් වී, අලෙවිසැල්වලට අන්තර්ජාල ගෙවීම් ද්වාර (Internet payment gateway) විසඳුම් සහ Point-of-sale ගෙවීම් විසඳුම් පිරිනමයි. මෙමගින් එම අලෙවිසැල්වලට Visa සහ MasterCard වැනි ජාත්‍යන්තර ජාලයන්ට අයත් කාඩ්පත් හරහා ලැබෙන ගෙවීම් භාරගත හැකි වේ. මේ ආකාරයට mCash සපයන විශිෂ්ට සේවාව නිසා එය ප්‍රමුඛ පෙළේ සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. Asian Fintech Academy Awards 2023 හිදී ‘Outstanding Innovations in Digital Payments and Collections in Sri Lanka’ සම්මානය හිමි වීම සහ Brand Finance සහ LMD මගින් 2023 වසරේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මෙරට වඩාත්ම ආදරය දිනූ සන්නාම අතර 3 වැනි ස්ථානයට නම්කරනු ලැබීම මෙන්ම, LankaPay-Technovation Awards සහ SLIM Brand Excellence Awards යන සම්මාන උළෙලවලදී ඇගයීමට ලක්වීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

මේ ආකාරයට දශකයක ජයග්‍රහණය තුළින් පන්නරය ලබමින් වැඩි පිරිසක් වෙත ඩිජිටල් මූල්‍ය සේවා සමීප කරවීම mCash හි අරමුණ වේ. තාක්ෂණය, විශ්වාසනීයත්වය, සහ පාරිභෝගික සේවාව අතින් ක්ෂේත්‍රයට ආදර්ශ රැසක් සැපයූ mCash සේවාව, වඩාත් සුහුරු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ගමනේ පෙරමුණ ගැනීමට සූදානමින් සිටී. ඒ සඳහා, ගෝලීය ඩිජිටල් ප්‍රවණතාවන්ට සමගාමීවන සියලුම සේවා එකම විසඳුමක් තුළින් ලබාදෙන තම සේවා සමග අත්වැල් බැඳගන්නා මෙන් mCash මෙරට ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනය කරයි.

සිය 10 වැනි සංවත්සරය නිමිත්තෙන් පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් පෙළක් හඳුන්වා දීමටද mCash පියවර ගෙන තිබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන් අතරට වට්ටම්, තෑගි කට්ටල, හවුල්කාර අලෙවිසැල් මගින් නිකුත් කරනු ලබන වවුචර් සහ නොමිලේ ලබාදෙන මොබයිල් ඩේටා ඇතුළු දීමනා රැසක් ඇතුළත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *