October 18, 2024
SLT-MOBITEL හරිත බලශක්ති භාවිතය පුළුල් කිරීමට පියවරගනී
පුවත්

SLT-MOBITEL හරිත බලශක්ති භාවිතය පුළුල් කිරීමට පියවරගනී

Jul 11, 2024

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන  SLT-MOBITEL, සිය කාබන් පියසටහන ක්‍රමානුකූලව අවම කිරීමේ උත්සාහය යටතේ, තම යටිතල පහසුකම්  ජාලය සඳහා සූර්ය බලශක්තිය භාවිතා කිරීම වැඩි කිරීමට පියවර ගෙන තිබේ. ‘Co-Connection’ යන ප්‍රධාන තේමාවට සමගාමීව පාරිසරික, සමාජීය හා ආයතනික යහපාලනය (Environment, Social, and Governance – ESG) සම්බන්ධ ක්‍රමෝපායික ප්‍රවේශය යටතේ මෙය සිදුකෙරේ.

SLT-MOBITEL ප්‍රථම වරට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මකවන යටිතල පහසුකම්  ජාලයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලද්දේ 2018 වසරේදී ය. වගකීම් සහගත සමාගමක් ලෙස SLT-MOBITEL සැමවිටම පරිසර හිතකාමී බලශක්තිය භාවිතා කිරීම සඳහා ප්‍රමුඛත්වය දී තිබේ. සෑම විටම පාරිසරික,සමාජීය සහ යහපාලන මූලධර්මවලට මුල් තැන දෙමින් කටයුතුකරන SLT-MOBITEL, තම ව්‍යාපාර කටයුතු මගින් ලෝකයට සහ එහි වෙසෙන මිනිසුන්ට අහිතකර බලපෑමක් ඇති නොවිය යුතු බව තරයේ විශ්වාස කරයි.

මෙම උත්සාහයේ ප්‍රථම අදියර යටතේ SLT-MOBITEL දැනටමත් රටේ ප්‍රධාන ස්ථාන රාශියක ව්‍යාපෘති සම්පූර්ණකර ඇති අතර, නුදුරු අනාගතයේදී එලෙස සම්පූර්ණ කළ ව්‍යාපෘති සංඛ්‍යාව 1,000 ඉක්මවනු ඇත.

ලෝකයේ සහ එහි වැසියන්ගේ යහපත වෙනුවෙන් පරිසර හිතකාමී වෙනස්කම් කඩිනමින් සිදුකළ යුතු බව SLT-MOBITEL දැඩි ලෙස විශ්වාස කරයි. එබැවින්, විවිධාකාර වූ පරිසර හිතකාමී මැදිහත්වීම් හරහා කාබන් පියසටහන අවම කරගනිමින්, දේශීය හා ජාත්‍යන්තර තිරසර ඉලක්ක සපුරා ගැනීමට දායකවන ඵලදායී හරිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට SLT-MOBITEL කැප වී සිටී.

එමෙන්ම පරිසරයට හානියක් නොවන පරිදි ප්‍රජාව සඳහා සන්නිවේදන පහසුකම් සැපයීම සඳහා, රටේ සංචාරක ආකර්ෂණය දිනූ ස්ථානවල සහ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සූර්ය බලශක්තිය භාවිතාවන යටිතල පහසුකම්  ජාලය ස්ථාපිත කිරීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. මෙම ප්‍රවේශය මගින් පූර්ණ කාලීන ජනක යන්ත්‍ර ක්‍රියාත්මකවන විශාල භූමි ප්‍රදේශයක ස්ථාපිතකර ඇති එහි දෙමුහුන් බැටරි පද්ධති තවදුරටත් ශක්තිමත්කර ඇති අතර, සූර්ය බලශක්තිය භාවිතයට ගැනීම හේතුවෙන් මෙම ස්ථානවල විදුලි ජනක යන්ත්‍ර භාවිතාවන කාලසීමාව අවම කරමින් ඉන්ධන පරිභෝජනය අඩු කිරීමටත්, ඒ ඔස්සේ සමාගමේ කාබන් පියසටහන අවම කිරීමටත් හැකි වී තිබේ.

මෙබඳු පරිසර හිතකාමී වැඩසටහන්වලට අමතරව SLT-MOBITEL පරිසරයේ යහපත වෙනුවෙන් විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම, සූර්ය බලශක්තිය සහිත කාර්යාල පරිශ්‍ර නිර්මාණය කිරීම සහ හරිත බලශක්ති සහතිකලත් ගොඩනැගිලි ඉදිකිරීම වැනි විවිධාකාර වූ පරිසර හිතකාමී වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *