February 9, 2025
සාර්ව ආර්ථික අභියෝගවලින් SLT සමූහයේ 2023 වර්ෂයේ සහ එහි 4 වැනි කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵලවලට බලපෑම්
පුවත්

සාර්ව ආර්ථික අභියෝගවලින් SLT සමූහයේ 2023 වර්ෂයේ සහ එහි 4 වැනි කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵලවලට බලපෑම්

Mar 8, 2024

SLT සමූහයේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ සහ 4 වැනි කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵලවල අවප්‍රමාණය වීමක් පෙන්නුම් කරයි. රටේ සාර්ව ආර්ථික අස්ථාවරත්වය මෙයට මූලික වශයෙන් බලපා ඇත.

2023 වර්ෂයේ 04 වන කාර්තුවේ SLT සමූහයේ ඒකාබද්ධ ආදායම, 2022 වර්ෂයේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 28 ට සාපේක්ෂව 7.5% කින් පහළ ගොස් රු. බිලියන 26 ක් ලෙස වාර්තා වී තිබේ. පිරිවැය ප්‍රශස්තකරණය සඳහා දරන ලද උත්සාහ හමුවේ මෙහෙයුම් පිරිවැය 5.9% කින් පහළ ගොස් තිබුණද, මූලික වශයෙන් ආදායම අඩු වීම නිසා මෙලෙස සමූහ ලාභයේ පහළ යාමක් වාර්තා වී ඇත. සමූහයේ මෙහෙයුම් ලාභයද පහළ ගොස් ඇති අතර, බදු-පෙර ලාභය සහ බදු-පසු ලාභයද කාර්තුව තුළ පහළ යාමක් පෙන්නුම් කරයි.

SLT සමාගම මට්ටමින් ගත් විට, 2022 වසරේ 4 වැනි කාර්තුවට සාපේක්ෂව 2023 වසරේ 4 වැනි කාර්තුවේදී මෙහෙයුම් පිරිවැය 3.6% කින් පහළ ගොස් තිබේ. පිරිවැය මැනවින් කළමනාකරණය කරගැනීම සහ කාර්ය මණ්ඩල මට්ටමේ පිරිවැය අඩු වීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. එමෙන්ම දැන්වීම්කරණ සහ ප්‍රචාරණ වියදම් අවම කරගැනීම සහ, 2023 අවසාන භාගයේදී අලුත්වැඩියා සහ නඩත්තු වියදම් පහළ යාම නිසා තවත් අංශ කිහිපයකින් වියදම් අවම කරගැනීමට SLT සමාගමට හැකි වී තිබේ. කෙසේ වෙතත් ආදායම පහළ යාම සහ ක්ෂයවීම්  වැඩි වීම නිසා මෙම ඉතුරුම් අභිබවා සමස්ත අලාභයක් කරා සමාගම ගමන්කර ඇත.

සමස්තයක් ලෙස, ප්‍රධාන වශයෙන් විදුලි ගාස්තු ඉහළ යාම හේතුවෙන්, 2022 වසරේදී වාර්තා වූ රු. බිලියන 68 ට සාපේක්ෂව 2023 මූල්‍ය වර්ෂයේදී සමූහයේ මෙහෙයුම් පිරිවැය 9.4% කින් වර්ධනය වී රු,. බිලියන 74 ක් ලෙස වාර්තා වී තිබේ. එමෙන්ම වාර්ෂික නඩත්තු ගිවිසුම් වියදම්, රථවාහන කුලී ගාස්තු, ඉන්ධන පිරිවැය සහ අලුත්වැඩියා ගාස්තු ඉහළ යාමද පෙර වසරට සාපේක්ෂව පිරිවැය ඉහළ යාමට බලපා ඇත.

තවද, 2023 වර්ෂයේ මාස 12 ක කාලය තුළ, සමූහයේ අලාභය රු. බිලියන 3.9 ක් විය. මෙය 2022 වර්ෂයේදී වාර්තා වූ රු. බිලියන 4.8 ක ලාභයට සාපේක්ෂව 182.3% ක අඩු වීමකි . එමෙන්ම වර්ෂය තුළ SLT සහ Mobitel පිළිවෙළින් රු. බිලියන 1.1 ක සහ රු. බිලියන 3.6 ක අලාභ වාර්තාකර තිබේ. මීට අමතරව 2022 වසරේදී වාර්තා වූ රු. බිලියන 107.7 ට සාපේක්ෂව සමූහයේ ආදායම රු. බිලියන 106.4 ක් දක්වා 1.2% ක ආන්තික පහළ යාමක් වාර්තාකර ඇත.

2023 වසරේ 3 වැනි කාර්තුවට සාපේක්ෂව 4 වැනි කාර්තුවේදී සමූහ මෙහෙයුම් වියදම් 13.2% කින් අඩුකර ගැනීමට හැකි වූ අතර, 3 වැනි කාර්තුවේදී රු. බිලියන 1.5 ක් වූ සමූහ ශුද්ධ අලාභය 4 වැනි කාර්තුවේදී රු. බිලියන 1.2 ක් දක්වා අඩු විය.  එමෙන්ම 2023 වසරේ 3 වැනි කාර්තුවේදී රු. මිලියන 549 ක මෙහෙයුම් ලාභයක් ලැබූ සමූහය, 2023 4 වැනි කාර්තුවේදී එය රු. බිලියන 1.2 දක්වා වර්ධනය කරගැනීමට සමත් විය. මෙය සමූහයේ අනාගතය පිළිබඳ යහපත් ප්‍රවණතාවකි.

පෙර වසරට සාපේක්ෂව කාර්යසාධනය පහළ ගියද, 2023 වසරේ ප්‍රථම අර්ධයට සාපේක්ෂව දෙවැනි අර්ධයේදී ආදායම 3% කින් වර්ධනය කරගැනීමටත්, ලාභදායීත්වය වැඩි කරගැනීමටත් Mobitel අංශය සමත් විය. සමාගමේ ආදායමේ වර්ධනය සහ පිරිවැය ප්‍රශස්තකරණ ප්‍රයත්න හේතුවෙන් එහි මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 9% කින් වර්ධනය වූ අතර, මෙහෙයුම් අලාභය 54% කින් අඩු වී ඇත.

“ඉදිරියටත් මෙම සාර්ව ආර්ථික අවිනිශ්චිතතා පවතීවි. ලාභදායීත්වය පසුගිය වසරට සාපේක්ෂව පහළ ගොස් තිබුණත්, 2024 වසර සම්බන්ධයෙන් අප දිරිගන්වනසුලු තත්ත්වයන් අපට පෙනෙන්නට තිබෙනවා. අපගේ පිරිවැය පදනම නිරන්තරයෙන් සමාලෝචනයට ලක්වෙන අතර, වෙළඳපොළ තත්ත්ව අනුව ගැලපීම් කරනු ලබනවා. මේ මූලික ශක්තීන් දෙස බලන විට, මේ අභියෝගකාරී වෙළඳපොළ තත්ත්ව තුළ පවතින දුෂ්කරතා ජයගැනීමට අපට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි. ඒ වගේම, සමූහය දීර්ඝකාලීනව ලාභදායී මට්ටමකට පත්කිරීමට අපට හැකියාව ලැබේවි.” SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා පැවසී ය.

අනාගතයේදී වඩාත් යහපත් ආර්ථික තත්ත්ව ඇතිවනු ඇතැයි අපේක්ෂාකරන අතරම, මූල්‍ය විචක්ෂණශීලීත්වය ඔස්සේ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට SLT සමූහය කැප වී සිටී.

1 Comment

  • Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close